Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහඟු මෙහෙවරක නියැළෙන

පැල්පොල විපස්සි හිමිපාණෝ

පැල්පොල විපස්සී හිමියන් වසර හතරක පමණ කාලයක් ඉන්දීය මහබෝධි සමාගමේ කල්කටා මූලස්ථානයේ නියෝජ්‍ය පාලක ධූරය ද බුද්ධගයා මහබෝධි සමාගමේ නියෝජ්‍ය පාලක ධූරය ද සාරානාථ මහාබෝධි සමාගමේ නියෝජ්‍ය පාලක ධූරය සහ පරීක්ෂක ධූරය ද බොම්බායේ මහබෝධි සමාගමේ පාලක ධූරය ද දරමින් අති විශිෂ්ඨ සේවයක් කර ඇත.

1974 වසරේ සිට ජපන් රටත් සමග උන්වහන්සේ මිත්‍රත්වයක් ඇතිකර ගන්නා ලදී. එම මිත්‍රත්වයේ ප්‍රතිඵල ලෙස ශ්‍රී පාදස්ථානයේ සාම වෛත්‍ය ඉදිකිරීමේ භාරදූර කාර්ය මැනවින් ඉටුකර ඇත. තවද ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය මනාව ගොඩනගා, අප දෙරටේ ආගමික, සංස්කෘතික දැඩි මිත්‍රත්වයක් ගොඩනගා ඇත. එම මිත්‍රත්වයේ ප්‍රතිඵල ලෙස මහවැලි ව්‍යාපාරයේ සමනලවැව, මොරගහකන්ද ව්‍යපෘති සඳහා ජපන් රජයෙන් මුදල් ආධාර ලබාගැනීම පිණිස කටයුතු සංවිධානය කරන ලද්දේ පැල්පොල විපස්සී හිමියන් විසින් ය.

පැල්පොල විපස්සි හිමියන්ගේ කළ්‍යාණ මිත්‍රයකුවන, ජපානයේ මහා දානපති රියොඉච් සසකාවා මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා, රටට විශාල වශයෙන් ආධාර ලබා ගන්නා ලදී.

එම ආධාර අතර සසකාවා ශාලාව ඉදිකිරීමත්, ඒ තුළින් දැයේ දූදරුවන්ට, තරුණ තරුණියන්ට ජපන් භාෂාව හැදෑරීමේ අවස්ථාව උදාවිය.

එකල ජනාධිපති ධූරය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන්, පැල්පොල විපස්සී හිමියන් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අරමුදල පිහිටුවන ලදී. ප්‍රථමයෙන් එම අරමුදල පිහිටුවීම පිණිස ආධාර මුදල් විපස්සී හිමියන් විසින් පරිත්‍යාග කරන ලදී. තවද උන්වහන්සේගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහල ජනාධිපති ජයවර්ධන මහතා ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස අප රටට ලබාගන්නා ලදී.

මහවැලි අරමුදලට, සෙවන අරමුදලට විපස්සී හිමියන් මුදල් ආධාර පරිත්‍යාග කර ඇත. මහනුවර ශ්‍රී‍්‍ර දළදා මාලිගාවේ රන් වියන ඉදිකිරීම පිණිස ප්‍රථම මුදල් ආධාරය එවකට ජනාධිපතිව සිටි ආර්. පේ‍්‍රමදාස මහතාට ලබාදුනි.

තවද දළදා මාලිගාවට අවශ්‍යව තිබූ ශබ්ද ෂකාශන පද්ධතිය විපස්සී හිමියන්ගේ ආධාර මත ස්ථාපනය කරන ලදී. එමෙන් ම බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීමට අවශ්‍යය ලෝහ මේස 25 ක් සාදවා දළදා මාලිගාවට පූජා කරණ ලදී. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියස ධර්ම ශාලාව ඉදිකර පූජා කරන ලදී. සීදුවේ, විජය කුමාරණතුංග රෝහලේ සම්පූර්ණ ඉදිකිරීමේ මුලු මුදල විපස්සී හිමියන් ලබාදෙන ලදී. කොළඹ කාසල් කාන්තා රෝහලේ ශල්‍යකර්ම ඒකකය සහිත වාට්ටුව විපස්සී හිමියන්ගේ සංවිධානය සහ උපදෙස් මත ජපන් රටේ ආධාර ඇතිව ඉදිකරන ලදී.

පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැයකර පොත්පත්, පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී. රණවිරු දරුවන්ගේ සුබසාධනය උදෙසා මුදල් ලබාදී ඇත. ශ්‍රී ලංකාව සුනාම් විපතට මුහුණ දුන් අවස්ථාවේ විශාල මුදලක් වටිනා ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර ඇත.

එමෙන්ම වෙහෙර විහාර දාගැබ් ඉදිකිරීම, සංඝාවාස ඉදිකිරීම, ධර්ම ශාලා ඉදිකිරීම, ඝන්ඨාර කුලුණු ඉදිකිරීම, විහාරස්ථානයන්හි මකර තොරණ ඉදිකිරීම එමෙන්ම විහාරස්ථාන, පාසල් සහ කාර්යාලයන්හි ඉතා වටිනා බුද්ධ ප්‍රතිමා ස්ථාපිත කිරීම සඳහා ද දිළිඳු පවුල්වල නිවාස ඉදිකිරීම් සඳහා ද සුනාමි විපතට පත් පවුල්වල නිවාස ඉදිකිරීම් සඳහා ද මුදල් ආධාරකර ඇත. කොළඹ, බොරැල්ලේ සුසානභූමිය වටා ඉදිකර ඇති යකඩ වැට විපස්සී හිමියන්ගේ යෝජනාවක් සහ උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් සිදු කරන ලද්දකි.

තමන් වහන්සේ සතු කෝටි ප්‍රකෝටි ධනයේ සෑම සතයක්ම රජයේ සහ ජනතාවගේ යහපතට වියදම් කරන යතිවරයාණන් වහන්සේ තරම් වෙනත් හිමිනමක් මේ ලක් දෙරණේ නොමැති බව කිව හැක. තවද පැල්පොල විපස්සී හිමියන් ලෝකයේ විවිධ රටවල නායකයින් සමග සම්බන්ධකම් පවත්වන අතර, කිසිදු භේදයකින් තොරව මානව දයාවෙන් යුක්තව මුලු ලෝකයේ මිනිස් වර්ගයාගේ යහපතට සේවය කරන උතුම් යතිවරයාණන් වහන්සේ නමකි.

මෙයට කදිම උදාහරණයක් වනුයේ අප දේශයේ යුද්ධය අවසන් කොට සාමය උදාකර ගැනීම උදෙසා 2006 මාර්තු මස, රත්නපුර ශ්‍රී සමන් දේවාලයේ දින තුනක් පුරා, තමන් වහන්සේ සතු මුදලින් විශාල මුදලක් වැය කරමින් පවත්වන ලද නවග්‍රහ බලි ශාන්තිකර්මයයි. මෙම ශාන්තිකර්මය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

එම අවස්ථාවේ පැල්පොල විපස්සී හිමියන් සපථකර සිටියේ මෙම ශාන්තිකර්මයේ බලයෙන් අවුරුදු තුනක් ඇතුලත යුද්ධය අවසන් වී රටට සාමය උදාවන බවයි.

උන්වහන්සේ එලෙස සපථකර, අවුරුදු තුනක් ගෙවුණු කළ, එනම් 2009 මැයි මස අප දේශයේ යුද්ධය අවසන් වී සාමය උදාවිය.

1989 වර්ෂයේ, ජපානයේ කෝබේ නුවර පැවති ආබාධිත පුද්ගලයින්ගේ ඔලිම්පික් තරගාවලිය නොහොත් පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ප්‍රථමවරට සහභාගි වූ 60 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩකයින් පිරිසට සහ එම උත්සවයට සහභාගි වූ උඩරට, පහතරට නැටුම් කණ්ඩායමේ පිරිසට ගුවන් ටිකට්පතේ සිට සියලුම වියදම් දැරුවේ පැල්පොල හිමියන් විසින්ය.

තවද, ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් තරගාවලි සඳහා සහභාගි වීමට අවශ්‍ය සාමාජිකත්වය ප්‍රථමවරට ලබාදීමට කටයුතු කරන ලද්දේ පැල්පොල විපස්සී හිමිපාණන්ගේ මැදිහත්වීම නිසාය.

ශ්‍රී ලංකාවත් ජපානයත් අතර සෘජු ගුවන් ගමන් සේවාව ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ පැල්පොල විපස්සී හිමිපාණන්ගේ උපදෙස් මතය. එහි මංගල ගුවන් ගමනේ ගිය, ගිහි පැවිදි සියලු දෙනාහට, ටෝකියෝ නුවර නිව් ඔතානි හෝටලයේ විශේෂ උත්සවයක් පවත්වා දහවල් ආහාරයෙන් සංග්‍රහ කර ඉතාමත් උසස් අන්දමින් පිළිගත්තේ පැල්පොල විපස්සී හිමිපාණන් විසින් ය.

තවද ශ්‍රී ලංකාව සමග ජපන් රටේ ප්‍රධාන විහාරස්ථානවල සම්බන්ධීකරණය ඇතිවූයේ පැල්පොල විපස්සී හිමිපාණන් ගේ සම්බන්ධතාව නිසාය. අගොන්සු නිකාය, සිකොකු ෂෝකන්ජි විහාරස්ථාන සෝදෂිමා දයිකොන්ජි විහාරස්ථාන මෙන්ම, තවත් එවැනි විහාරස්ථාන විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සම්බන්ධ කිරීමට මූලික්වය ගෙන ක්‍රියා කරන ලද්දේ පැල්පොල විපස්සී හිමිපාණන් විසින්ය.

ජාති ආගම් භේද ගැන කිසිදු දිනක තැකීමක් නොකළ පැල්පොල විපස්සී හිමියන් ක්‍රිස්තියානි පල්ලි, මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල් තැනීමට මෙන් ම එම සිද්ධස්ථානවල සංවර්ධනය උදෙසා රුපියල් කෝටි ගණනින් මුදල් ආධාර දී ඇත.

එමෙන්ම වතුකරයේ දෙමළ ජනතාවගේ සුබසාධනය උදෙසා නිවාස පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් නංවාලීම පිණිස අතිමහත් මුදලක් වැය කරමින් මහඟු සේවාවක් කළ උන්වහන්සේ ඔවුගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය පාසල් උපකාරණ ලබාදීම පිණිසද රුපියල් කෝටි ගණනින් වැය කරන ලදී. මුස්ලිම් ජනතාව ජීවත්වන දිවයිනේ අනිකුත් ප්‍රදේශ මෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා අති විශාල වැඩකොටසක් කළ යතිවරයාණන් වහන්සේ නමක් වේ නම් ඒ පැල්පොල විපස්සී හිමිපාණන් පමණි.

පැල්පොල විපස්සී හිමියන් පාසල් සහ පාසල් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉමහත් සේවාවක් කර ඇත.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුදල් ආධාරද, පාසලේ ප්‍රයෝජනය සඳහා ත්‍රීවිලර් රථයක් සහ විවිධ ආධාරද, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට මුදල් ආධාරද කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ ඉදිකරන ලද බුදු මැදුරේ උළු සඳහා මුදල් ආධාරද, මොරටුව, තෙලවල රාහුල විද්‍යාලයට ගොඩනැගිල්ලක්, ජපාන දානපතියන්ගේ ආධාර ඇතිව ඉදිකර පරිත්‍යාග කිරීමද, මිලාගිරිය ශාන්ත පාවුල් බාලිකා විද්‍යාලයේ බුදු මැදුර ජපාන දානපතියන්ගේ ආධාර ඇතිව ඉදිකර පරිත්‍යාග කිරීමද, කොළඹ රාජකීය විද්‍යාලයට තායිලන්තයෙන් වැඩමකරවන ලද වටිනා බුදු පිළිමයක්ද, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට පරිඝණක යන්ත්‍රද ආධාර වශයෙන් ලබා දී ඇත.

තවද කලුතර දිස්ත්‍රික්කයේ පාසල් සඳහා තූර්ය වාදන කට්ටල පරිත්‍යාගකර ඇත.

පැල්පොල විපස්සී හිමියන් විසින් කළ සහ කරන උදාර මෙහෙවර සඳහා මෙරට මුදල් සතයකුද යොදා නැති අතර, සියල්ලම විදේශ මුදල් මගින් සිදුකිරීම සුවිශේෂි වූ කාරණයකි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.