Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාර්ථකත්වය තහවුරු කරන දැහැමි පිළිවෙත

තම රැකියාව හෝ ධනෝපායත මාර්ග අතරමඟ කඩාවැටීමට හේතුවන කරුණු කීපයක් මච්ඡරිය සූත්‍රයේ සඳහන් වෙයි. එම කරුණු මනාව දැන ඒවායින් මිදීමට ඇති හැකියාව මත මිනිසාට තම ව්‍යාපාර පිරිහීමට ලක් නොකොට පවත්වාගෙන යා හැකි ය.

මේ සම්බන්ධ පළමු කරුණ වන්නේ ‘නිද්දාරාමතාව‘ යි. මෙයින් අදහස් කරනු ලබන්නේ නින්දේ ඇලීගැලී වාසය කිරීමයි. එනම් තමා තුළ ඇති අලස බවයි. නින්දාසීලි බව, අලසබව පරිහානියේ ලක්ෂණයක් බව පරාභව සූත්‍රයේ දී ද සඳහන් වෙයි. සිඟාලෝවාද සූත්‍රයේ ද වස්තු විනාශ මුඛ ගැන සඳහන් කිරීමේදී අලසකම එකකි. පරිසරයේ ඇතිවන සීත, උෂ්ණ උදේ සවස යන වෙනස්කම් නිසා පුද්ගලයා දක්වන අලස භාවයද, කුසගින්න, වෙහෙස ආදී ලෙස කායික වශයෙන් තමාට ලැබෙන ශාරීරික අපහසුතාද නිසාද රැකියාව අඛණ්ඩව කරගෙන යෑමට පුද්ගලයා අසමත් වෙයි. මෙවැනි නින්දාශීලි පුද්ගලයකු තුළ තම ඉදිරි ජීවිතය සඳහා ධනය ඉපයීමට හෝ රැකියාවේ උසස් වීම් ලබා ගැනීමට හෝ ධෛර්යයක් ඇති නොවෙයි. ජීවිතයේ පරම සුවය වන නිර්වාණය ලබා ගැනීමට ද වීර්යය (විරිය සම්බොජ්ඣංගය) අවශ්‍ය ය. එසේම, ලෞකික දිවිය සාර්ථක කර ගැනීමට ද වීර්යය අවශ්‍ය ය. එහෙයින් තම රැකියාව අතරමඟ කඩා වැටීමේ කරුණක් වන ‘නිද්දාරාමතාවයෙන්’ තොරව කටයුතු කළ යුතුව ඇත.

පුද්ගලයකුගේ රැකියාව හෝ ව්‍යාපාරය ඇදවැටීමේ දෙවන කරුණ වන්නේ ‘ගණ සංසරිකාරාමතා’වයි. එනම් පුද්ගලයා සමාජයේ අවැඩකාරී පුද්ගලයන් සමග ඇලී ගැලී වාසය කිරීම යි. තම රැකියාව හෝ ව්‍යාපාරය කිරීමට ඇති කාලය තුළදී විවිධ විනෝදවීම් සමාජ ශාලාවලට ගොස් පසිඳුරන් පිනවීම ආදි කටයුතු නිසා තම ව්‍යාපාර කටයුතු අඩාල වේ. එසේම එමගින් ධන පරිහානියද සිදුවේ. මෙවැනි අවැඩකාරී කටයුතුවල යෙදීමෙන් සිදුවන අනෙක් බරපතලම කරුණ වනුයේ තම අඹුදරු නෑදෑ හිතවත් මිතුරන් ආදි සම්බන්ධාවලින්ද දුරස්ථ වී තමාගේ සමාජමය ජීවිතයෙන්ද පරිහානියට පත්වීමයි. එහෙයින් පුද්ගලයා, තම සමාජ ජීවිතයද ගොඩනගා ගත යුත්තේ ධර්මානුකූලව යි. රැකියා, ව්‍යාපාර සමග ධර්මානුකූලව ගොඩනගාගත් පුද්ගල ජීවිතය කිසිසේත් පිරිහීමකට පත් ‍ෙනාවෙයි.

පුද්ගලයා විවිධ පුද්ගලයන් සමග සමාජානුයෝගී විය යුතුය. බුදු දහම මෙම තත්ත්වය අනුමත කරනු ලබන්නේ ධර්මානුකූල නම් පමණකි. එහි හුදු ‘සබාසීලී’ බවකින් යුක්ත වන්නේනම් (පරාභව සූත්‍රය) පරාභවයට කරුණකි. එහෙයින් ප්‍රමාණයෙන් තොර සමාජශීලි බවෙහි නියුක්ත වීම, ලෞකික අපේක්ෂණ සියල්ල කඩාකප්පල් කරන සාධකයක් බව බුදු දහම පැහැදිලි කරයි. ‘ගණසංසනිකාරාමතා’ වෙහි අනෙක් මහත් දුර්විපාකයක් නම් ඔහු උපදෙස් පිළිපදින්නෙක් නොවේ නම්, ඔහුගේ අත්තනෝමතික අදහස් නිසා තමා සමාජ විරෝධී කටයුතුවල යෙදීමේ ප්‍රවණතාවට හසු වී යෑමයි. එහෙයින් මෙම දුර්ගුණයට යටත්වීම නිසා, එවැනි පුද්ගලයකුට තම රැකියාව හෝ ව්‍යාපාරය තමාට අහිමි වීමේ අවදානමකටද මුහුණදීමට සිදු වෙයි.

තම රැකියාව හෝ ව්‍යාපාරය, අහිමිවීමේ තෙවන කරුණු වන්නේ ධාර්මික ජීවන වෘත්තියක් කිරීම යි. ‘දහඩිය මහන්සියෙන් ධාර්මිකව උපයා සපයාගත් දෙයින් ජීවත්වීම හා අනුන් ජීවත් කරවීම’ බුදුදහමේ අනුමත ජීවන ක්‍රමයයි. ධාර්මිකව සම්පත් උපයා එමඟින් ලැබෙන සතුටත් සමග දානයෙහි යෙදෙන පුද්ගලයා මෙලොව මෙන්ම පරලොව ජයගන්නා බව (ඉණ සූත්‍රයෙහි - අංගුත්තර නිකාය) බුදුන් වහන්සේ පෙන්වා දුන්හ.

එහෙත් ධාර්මිකය ජීවත්වීමට අකමැති පුද්ගලයාගේ ධනය මෙන්ම ආයතන බොහෝ විට මෙලොවදීම පරිහානියට පත්වෙයි. අසීමිත තෘෂ්ණාවෙන් හමාගොස් අල්ලස්, දූෂණවලට සම්බන්ධ වී තම පෞරුෂයටද හානි පමුණුවමින් හිර ගෙදරින් අවසන්වන අයුරු දැකගත හැකි ය.

තම රැකියාවෙන් හෝ ව්‍යාපාර කටයුතු වලින් නිසි සාර්ථකත්වයක් ලබා ගැනීමට හෝ සතුටක් ලබා ගැනීමට නම් ජීවිතය පිළිබඳ සම්මා දිට්ඨියක් ලබාගත යුතු ය. එනම් තම සිත, කය, වචනය භාවිතයට ගන්නා වැරැදි හෝ නිවැරැදි පිළිවෙත් අනුව කර්මානුරූපව ප්‍රතිවිපාක ලැබෙන බව වටහාගත යුතුව ඇත. විශේෂයෙන් සද්ධා, බුද්ධි සම්පන්න පුද්ගලයන්ගේ් අරමුණ විය යුත්තේ අරි අටගි මඟෙහි යමින් ලෞකික. ජීවිතය සාර්ථක කර ගැනීම යි.

මේ අනුව පැහැදිලිව සකසා බැලිය යුතු කරුණ වන්නේ අපේ ජීවිකාව සම්මා ආජීවයෙන් සිදු වනවාද යන්න යි. තම රැකියාව හෝ ව්‍යාපාරය අහිමිකර ගැනීමේ සිව්වන කරුණ වන්නේ පවිටු මිතුරන් ඇසුරු කිරීමයි. මෙවැනි තත්ත්ව මත එවැනි පුද්ගලයන්ගේ මිතුරන් වන්නේ සුරාසොඬුන්, සල්ලාලයන්, සොරුන් වැනි සමාජයේ පාපී ජීවිතයකට ඇබ්බැහි වූ පුද්ගලයන් ය. මෙවැන්නන් ඇසුරු කිරීම දොලොවම පිරිහෙන බව පහත දැක්වෙන ගාථාවෙන් පැහැදිලි වන්නෙකි.

පාප මිත්තෝ පාප සඛෝ
පාප ආචාර ගෝචරෝ
අස්මා ලෝකා පරම්භාව
උභයා ධංසතෝ නරෝ

(පවිටු මිතුරන් ඇති, පවිටු යහළුවන් ඇති පහත් පැවැතුම් ඇති මිනිසා දෙලොවෙන් පිරිහෙයි)

සමාජයක ජීවත්වන මිනිසාට තම අසල්වාසීන් ඇසුරු කිරීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි. එහෙත් එම කාර්යයේදී බුදුදහම අවධාරණය කරනුයේ හොඳ පුද්ගලයන් ඇසුරු කිරීමටත්, පහත්ගති ඇති පුද්ගලයන් ඇසුරු නොකිරීමටත් ය.

මේ සම්බන්ධයෙන් මංගල සූත්‍රයේ සඳහන් වන මෙම පණිවිඩය අතිශයින් වැදගත් වූවකි.

අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවනා
පූජාච පූජනීයානං
ඒතං මංගල මුත්තමං

පාප මිත්‍ර සේවනය නිසා තම රැකියාව හෝ තම ආයතනය අනතුරකට හෙළාගෙන ජීවිත විනාශ කරගත්, නැතහොත් වැරැදි ජීවන මාර්ග නිසා නීතියේ රැහැනට අසුව සිරගෙවල ලතවෙන්නෝ කොතෙක්ද?’

අංගුත්තර නිකායේ චත්තිය සූත්‍රයට අනුවද ගිහි ජීවිතය ගත කරන පුද්ගයකුගේ කැමැත්ත විය යුත්තේ තම ජීවනෝපාය මාර්ග ධාර්මිකව හසුරවමින් තෘප්තිමත් ව ජීවත් වීමයි.

මේ අනුව තම රැකියාව හෝ ව්‍යාපාරික අවස්ථා අහිමි කර නො ගැනීමට නම් මච්ජරිය සූත්‍රයේ සඳහන් ඉහත සඳහන් අලසබවෙන් තොරවීම (නින්දාසීලිබව) විවිධ පිරිස් සමග ඇලී ගැලී සිටීමෙන් තොරවීම, ධර්මානුකූ®ලව ජීවත් වීමට ඇති කැමැත්ත ජයගැනීම, පාප මිත්‍ර සේවනයෙන් තොරවීම යන කරුණු පිළිපැදීමේ භාග්‍යය අප විසින් ළඟා කර ගත යුතුය ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.