Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාර පරාජය

සසන්ධ්‍යා භාගයෙහි බෝසතුන් බෝ සෙවණ කරා ගමන් කරන්නේ අතර මඟ සොත්ථිය නම් බමුණා මුණ ගැසිණ. ඔහු විකිණීම සඳහා කුස තණ මිටි බැඳ, ගෙනයමින් සිටියේය.සංසුන් ඉඳුරන්ගෙන් යුත් බෝසතුන් දුටු හේ බෝසතුනට හිඳීම පිණිස කුසතණ අටමිටක් පුදා ගියේය.

බෝමුල කරා ගිය බෝධිසත්වයන් වහන්සේ එම කුසතණ අටමිට එහි අතුරා එහි පැන නැගී විදුරසුනෙහි අපරාජිත පර්යංකයෙන් වැඩහිඳ, චතුරංග වීර්යය ඉපදවූහ. එනම්,

1. සිරුරෙහි සම් ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.
2. සිරුරෙහි නහර ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.
3. සිරුරෙහි ඇට කටු ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.
4. සිරුරෙහි මස් ලේ විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.
යන දැඩි දෘඪතරවූ අධිෂ්ඨානයෙන් යුතුව වැඩ සිටීමය.

බෝසත්හු දුෂ්කර ක්‍රියා සමයෙහි ඇතැම් ධ්‍යානයන් වැඩීමෙහිදී සිරුර ක්ලාන්තවී වැටුනද එම ක්‍රියා මාර්ගය අත්දැක නිමකරණ තුරුම දැඩි අදිටනින් යුතුව ක්‍රියා කළ බව දුෂ්කර ක්‍රියා සමය පිළිබඳ විස්තරයේදී කියැවිණි.එබැවින් මෙහිදී උන්වහන්සේ බුදුවී මිස නොනැගිටීමේ අධිෂ්ඨානය දිවිගියද අත්නොහරින බව පිළිබඳ ස්ථිරසාරවූ අදහසෙහි පිහිටා ක්‍රියා කිරීම අත්භූත වූවක් ලෙස කිසිවකුට බැහැර කරන්නට හේතුවක් නැත.


මාර පරාජය - ඉන්දියාවේ චිත්‍රයක්

උන්වහන්සේ එබඳු ස්ථිරසාරවූ මහා අධිෂ්ඨානයෙන් යුතුව බෝමැඩ සෙවනෙහි හිඳ වීර්ය වැඩීම ආරම්භ කළ බව පැහැදිලිය. මෙම උදාර වූ විශිෂ්ඨවූ උත්සාහය පිළිබඳව දැඩිසේ ප්‍රසාදයට පත් දේව සේනාවෝද, බ්‍රහ්ම සේනාවෝද බුදුරදුන් වටා ඒකරාශිව සම්බුද්ධත්වය සාක්‍ෂාත් කිරීමේ එම අසිරිමත් සිද්ධිය දකිනු රිසිව නොඉවසිල්ලෙන්හ.

සිද්ධාර්ථ ගෞතමයන් වහනසේගේ මෙම මහා උත්සාහය තමාගේ විෂය ඉක්මවීමට වෙරදැරීමක් ලෙස කල්පනා කළ වසවර්ති මාරයා එම උත්සාහය අධෛර්යවත් කරවනු පිණිස තම මර සෙනඟ පිරිවරා මහත් බියකරු ඝෝෂාවක් ඇති කරමින් අහස මහත් හඬින් ගුගුරුවන්නාසේ වේගයෙන් එහි පැමිණියේය. මරුගේ බියකරු බව දුටු දෙව් බඹ සේනාවෝ තැති ගෙන හිස් ලූ ලූ අත දිවගිය බව සඳහන්වේ. ගිරිමේඛලා ඇතුපිට නැගි මාරයා බෝසතුන් අභියසට ගොස්, මහා සුළඟක් මැවීය.

එම මහා සුළිසුළඟින් පෙදෙස කම්පාවට පත්වූ නමුත් බෝසත්හු නොසැලී සිටියහ. කෝපවූ මරහු ඝර්ජනා සහිත මහා වර්ෂාවක් ඇති කරවූහ. එම වර්ෂාවෙන් පොළොව සිදුරු වී ගියද බෝසතාණෝ නොසැලී සිටියහ, බලවත් සේ කෝපවූ මාරයා අනතුරුව ගිනිගෙන දිලියෙන පර්වත වර්ෂාවක්ද ආයුධ වර්ෂාවක්ද, වැලි වර්ෂාවක්ද, උණුඅළු වර්ෂාවක්ද, අන්ධකාර පටලයක්ද වශයෙන් නව විධ වර්ෂාවන් ඇතිකළ නමුත් උල්කාපාත බඳුව වැටුණු අව්වැසි පවා බෝසතුන් ලඟ පිදෙන මල් මෙන් පතිත වූ නමුත් කිසිදු හානියක් නොවීය. බෝසත්හු අකම්ප්‍යව නොසෙල්වී සිටියහ. අවසන මාරයා ගිරිමේඛලා ඇතුපිට සිට චක්‍රායුධයෙන් බෝසතුනට දමා ගැසුවේය. එය බෝ සතුන් මුදුනේ වියනක් මෙන් සිටියේය.

“ සිද්ධාර්ථය, තොපට ඔය වජ්‍රාසනය හිමිනැතැ” යි මාරයා කෝපයෙන් හඩගා කී විට, “”එම්බල මාරය පිරූ සමත්‍රිංසත් පාරමී දම් බලැති, ඥානාර්ථ චරියා, ලෝකාර්ථ චරියා, බුද්ධි චරියා සපුරා ඇති මට මිස තට මෙය උරුම නැතැ” යි බෝසත්හු ප්‍රකාශ කළහ. එවිට පාරී දම් පිරූ බවට සාක්ෂි කවරේදැයි මාරයා ප්‍රශ්න කළේය.

මේ මහා පෘථවිය ඊට සාක්ෂි දරණු ඇතැයි බෝසත්හු වජ්‍රාසනයේ සිටම දකුණත මහ පොළොවට දිගුකළහ. මහ පොළොව මහ හඩින් ගුගුරන්නට විය. මාරයා සහ සේනාවද බියපත්ව අත තිබූ දෑ එහිම දමා හිස් ලූ ලූ අත දිව ගියහ. ගිරි මේඛලා ඇතු බෝසතුන් ඉදිරියේ දණ නමා සිටියේය.මාරයා පැරද පලා ගිය බව දුටු දේව, බ්‍රහ්ම සේනාවෝ සාධුකාර දෙමින් එහි පැමිණියහ. මෙම මාර යුද්ධය පිළිබඳ දීර්ඝ විස්තරයක් ජාතක අටුවා නිදානයෙහිද, බුද්ධ වංශ අටුවාවෙහිද ඇතුලත් වන අතර භාරතයේ සාංචි හා නාගර්ජුන කොණ්ඩ මෙන්ම, ගන්ධාර කැටයම්වලද නිරූපනය කර තිබේ.

බුදුවීමට පෙර බෝසතුන් 1. කාමය, 2. අරතිය, 3. සාපිපාසාව 4. තෘෂ්ණාව, 5. ථිනමිද්ධය, 6. භය, 7. විචිකිච්ඡාව (එනම් සැකය,) 8. ගුණමකුබව හා දැඩිබව, 9. ලාභ, සත්කාර හා වැරදි මාර්ගයන්ගෙන් ලබන යසස, 10. තමන් උසස් කොට සලකමින් අනුන් පහත් කොට තැකීම යන දස මරසෙන් පලවා හැරි බවත්, ගිරිමෙවුල් ඇතු පිට නැග පැමිණ මාරයා ඉදිරියෙහි නොසැලී සිට ඔහු පරාජය කෙළේයැයි සුත්තිනිපාතයේ ප්‍රධාන සූත්‍රය විස්තරවේ.

මෙය වනාහි බෝසතුන් බුදුවීමට පෙර කෙලෙස් මුලිනුපුටා දැමීම ලෙස ඇතැම් උගතකු විසින් විස්තර කරණු දැකිය හැකිය. එහෙත් වසවර්ති මාරයා නම් දිව්‍ය පුත්‍රයා බුදුරදුන් පසු පස බුදුවීත් කලක් යන තුරු නොයෙක් සතුරුකම් කරමින් ගමන් කළ බව සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ ඇතුලත් සමහර සූත්‍රයකින් කියැවේ. පංච මාරයන් ගැනද තවත් තැනෙක විස්තර වේ.

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා වන බුද්ධ චරිතය කෘතියෙනි.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.