Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිථ්‍යාව හා යථාර්ථය

මිනිස් ජීවිතයක් බොහෝම දුර්ලභව ලබන, දුක්ඛිතව ලැබෙන අවස්ථාවක්. මිනිස් ජීවිතය යම්කිසි ඇදහිල්ලක් නිසා විනාශය කරා යනවා නම්, ආධ්‍යාත්මික පරිහානිය කරා යනවා නම් ඒ ඇදහිල්ල සැබවින්ම අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. සිතට සැනසිල්ල සොයා යන ඕනෑම කෙනකුට බෝධි පූජාව තුළින්, සෙත් පිරිත් සජ්ඡායනය තුළින්, සීල සමාදානය තුළින් වන්දනා ගමන් යෑම මඟින්, ඒ වගේම දන් දීම මගින්, පැන් වැඩීම මගින්, පින්දීම තුළින් ලොකු මානසික සුවයක් අත් විඳින්නට අවස්ථාව සැලසෙනවා.'

යම්කිසි දෙයක් මිථ්‍යා විශ්වාසයක් ලෙස බුදුදහම හඳුන්වන්නේ, යථාර්ථවාදී මධ්‍යස්ථ පදනමක පිහිටා සිට ය. එසේ නැතිව බුදු දහම නොවන සියල්ල මිථ්‍යා ලෙස අර්ථකථනය කිරීමක් බුදු දහම මගින් සිදු නොවෙයි. එසේ යමෙක් පවසනවා නම් එය බුදු දහමට විරුද්ධ අර්ථකථනයක් බව අප පළමුවෙන්ම අවධාරණය කරගත යුතු ය. බුදු දහම තුළ සාකච්ඡා වී ඇති ඇතැම් දේ ගැන මේ ලෝකයේ මේ මොහොත වන විට සාකච්ඡා කරනු තබා ඒ පිළිබඳ සිතන්නටවත් පෙළඹී නොමැති බව අපට දැක ගැනීමට හැකියි.

කෙසේ වුවත් සාමාන්‍යයෙන් සමාජයේ මිථ්‍යා විශ්වාස යන නමින් අර්ථකථනය කරන්නේ සාම්ප්‍රදායික පුද පූජා සහ අභිචාර විධි ය. මේ ‘අභිචාර විධීන්ට; මේ ඇදහිලි වලට; මේ පුද පූජාවන්ට මිථ්‍යා විශ්වාස යන අර්ථකථනය ලබා දුන්නේ බටහිර ජාතීන් විසින්. නමුත් බෞද්ධ දර්ශනය අනුව එවැනි පුද පූජා සිරිත් විරිත්වල හරයක් නොමැති බව අප සත්‍ය වශයෙන් ම දන්නවා. ඒත් අමතක නොකළ යුතුයි ආසියාතික සම්ප්‍රදායෙහි පැවැති බොහෝ චාරිත්‍ර බොහෝ පුදපූජා, ඇදහිලි හා විශ්වාස මිථ්‍යා හෙවත් බොරු දේ ලෙස හඳුන්වා දෙනු ලැබුවේ, බුදුරජාණන් වහන්සේ නොවන බව; බටහිර ජාතීන් විසින් බව. බුදුරජාණන් වහන්සේ යම්කිසි දෙයක වැරැදි සහගත බව පෙන්වා දුන්නා නම් යම්කිසි දෙයක් මිථ්‍යා දෘෂ්ටියක් බව හැඳින්වූවා නම් ඒ සඳහා හේතු සාධක උන්වහන්සේ නොඅඩුව ඉදිරිපත් කළා. නමුත් අපේ සම්ප්‍රදාය පිළිබඳ විවේචන ඉදිරිපත් කළ යුරෝපා ජාතීන් හේතු යුක්ති ඇතිව සිදුකළ විවේචනයක් අපට දැකගන්නට ලැබෙන්නේ ඉතා ස්වල්ප වශයෙන්. විශේෂයෙන්ම මිථ්‍යා විශ්වාස බල තිබෙන්නා වූ හානිකර පැත්ත පිළිබඳ සාකච්ඡාව ලංකා සමාජයේ වරින් වර ඉස්මතු වනවා. එයට හේතුව වන්නේ විවිධ අදහිලි වලට ගිය ඇතැම් පුද්ගලයින් නොයෙක් ආකාරයේ ප්‍රශ්නවලට මුහුණපාන ආකාරය ප්‍රවෘත්ති මගින් හෙළිදරව් වීමෙන්; ජීවිත හානිකර ගන්නා ආකාරය ප්‍රවෘත්ති මගින් හෙළිදරව් වීමෙන්. එවිට අපි වඩ වඩාත් වේගයෙන් මිථ්‍යා විශ්වාස සමග ගැටෙන්නට පටන් ගන්නා බව ඔබ හොඳින් අවබෝධයෙන් සිතා බැලුවහොත් දැකගන්නට පුළුවන්කම තිබෙනවා.

මූලධර්මවාදී ක්‍රිස්තියානි ආගමික නිකාය මේ යුගයේ ආසියාතික සමාජ තුළ ඉතා ප්‍රබල ලෙස ඔවුන්ගේ ධර්මය ව්‍යාප්ත කිරීම උදෙසා යොදාගනු ලබන ක්‍රමවේදය වන්නේ රෝග සුවකිරීම හා විවිධ දුක්වලින් ගලවා ගැනීම උදෙසා විවිධ ආකාරයේ යාඥා ආදිය සිදු කිරීමයි. නමුත් නූතන තාක්ෂණය සහ විද්‍යාව දියුණු වී ඇති යුගයක, ඕනෑම රෝගයක් පිළිබඳ නිගමනවලට පැමිණීමට යාන්ත්‍රෝපකරණ දියුණු වී ඇති යුගයක; ඖෂධ නිෂ්පාදනය දියුණු වී ඇති යුගයක; දෙවියන් වහන්සේ වෙතින් එම රෝගවලට හේතු සොයන්නට යෑම සහ ඒවාට සුවය සොයන්නට යෑම අවශ්‍ය ද?

මෙවැනි ක්‍රියා නිසා ජීවිත විනාශ වන බව අපට දැකගන්නට පුළුවන්. මෙවැනි විශ්වාස නිසා බුදු දහම නමැති ශ්‍රේෂ්ඨ දර්ශනය අත්හැර විවිධ ආකාරයේ මිථ්‍යා වැළඳගන්නා අයුරු අපට දැකගන්නට පුළුවන්. මෙම අවාසනාවන්ත තත්ත්වය නිසයි අප මෙවැනි මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි විශ්වාස ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ. මිනිස් ජීවිතයක් බොහෝම දුර්ලභව ලබන, දුක්ඛිතව ලැබෙන අවස්ථාවක්. මිනිස් ජීවිතය යම්කිසි ඇදහිල්ලක් නිසා විනාශය කරා යනවා නම්, ආධ්‍යාත්මික පරිහානිය කරා යනවා නම් ඒ ඇදහිල්ල සැබවින්ම අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. බෞද්ධ සම්ප්‍රදාය තුළ, සිංහල සම්ප්‍රදාය තුළ මෙවැනි ගැටලු පැන නැගුණු පසුව ඒවාට විකල්ප ලෙස යම් යම් අභිචාර විධි සහ ක්‍රමෝපාය භාවිතා කරන බව අමතක නොකළ යුතුයි. සිතට සැනසිල්ල සොයා යන ඕනෑම කෙනකුට බෝධි පූජාව තුළින්, සෙත් පිරිත් සජ්ඡායනය තුළින්, සීල සමාදානය තුළින් වන්දනා ගමන් යෑම මඟින්, ඒ වගේම දන් දීම මගින්, පැන් වැඩීම මගින්, පින්දීම තුළින් ලොකු මානසික සුවයක් අත් විඳින්නට අවස්ථාව සැලසෙනවා. බුදුරජාණන් වහ්නසේ සඳහන් කළා, මිනිස්සු බයෙන් තැතිගත්තට පස්සේ ඕනෑම තැනකින් සරණ සොයන්නට පටන් ගන්නා බව.

බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනානිච
ආරාම රුක්ඛ චේත්‍යානි
මනුස්සා භය තජ්ජිතා

බියෙන් තැතිගත්තට පස්සේ තමයි ගස්ගල් පර්වත වනාන්තර ආරාම චෛත්‍ය ආදී බොහෝ ස්ථානයන්හි වැඩි වශයෙන් ගැවසෙමින් තමන්ගේ දුකට පිළිසරණක් සොයන්නට පෘතක්ජනයා පෙළඹෙන්නේ. මෙවැනි දේ තුළින් පුද්ගල ජීවිතයටත් ඔවුන්ගේ ආර්ථිකයටත් ආධ්‍යාත්මයටත් හානියක් සිදුවන්නේ නැතිනම් සැබවින්ම ඔවුන් ගසක් යට, පර්වතයක් පාමුල, වෙහෙරක් පාමුල වන්දනා කරමින් සැනසිල්ල සෙව්වාට ගැටලුවක් නැහැ. බුදු දහම එවැනි දේට තදින් විරුද්ධ වන්නේ නෑ. නමුත් මේ පුද පූජා මඟින් වංචනික මිනිස්සු ඔහුගේ ආර්ථිකය විනාශ කරනවා නම් එවැනි දේට හසුවීම නම් ලොකු මුළාවක්.

රෝග පීඩාවලට ගොදුරු වී සිටින අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර නොලබා විවිධ ඇදහිලි ක්‍රමවලින් හෝ යාඥා මධ්‍යස්ථාන වෙතින් හෝ එම ලෙඩවලට නිරෝගී සුව අපේක්ෂා කරනවා නම් එය වැරැදි පිළිවෙතක්. අපේ සම්ප්‍රදාය තුළත් බලිතොවිල් ශාන්තිකර්ම ආදී යම් යම් අභිචාර විධි අපට දැකගන්නට පුළුවන්. ඒවා යම්කිසි ඉපැරැණි චාරිත්‍ර මත සිදුකරන ශාන්තිකර්ම. ඒවායේ යම් විද්‍යාත්මක පදනමකුත් අපට දැකගන්නට පුළුවන්. ආසියාතික සමාජයේ පවතින ශාන්තිකර්ම මගින් කායික ලෙඩ සුව කළ නොහැකි වුණත් ඇතැම් මානසික ලෙඩ සුව කළ හැකි බවත්, ඇතැම් මානසික ආතතික තත්ත්ව නැතිකර දැමීම උදෙසා සිතිවිලි සමථයකට පත්කිරීමට භාවනාව මෙන්ම මෙම ශාන්තිකර්ම ද ප්‍රයෝජනවත් වන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ මොහොත වන විට පිළිගනිමින් තියෙනවා. ඔවුන් ඒ පිළිබඳ විශේෂ සමීක්ෂණ සිදුකරමින් ඉන්නවා.

ආසියාතික සමාජය පැරැණි අභිචාරයන්ගෙන් කෙලෙස ද මානසික සුවය ලබාගත්තේ කියලා. නමුත්, අපගේ අභිචාර විධි පිළිබඳ බටහිර ජාතීන් ගෞරවයෙන් කතා කරන්නට ආරම්භ කර ඇති මේ මොහොත තුළ අපට දැකගන්නට ලැබෙන්නේ එම අභිචාර විධි වැරැදි අරමුණු වෙත යොදාගන්නා පිරිසකුත්, ඒවාට හසුවන පිරිසකුත් සිටින බවයි. අවබෝධයකින් තොරව මුදල් රැස්කිරීමේ පරමාර්ථය මුල්කරගත් යම් යම් කණ්ඩායම් විසින් සිදුකරන බලිතොවිල් ආදී ක්‍රියාකාරකම් වලට; වංචනික කපටි මිනිසුන් විසින් සිදුකරන වැඩසටහන්වලට බෞද්ධ සමාජය ගොදුරු වෙමින් තිබෙන බවයි. ඒ තත්ත්වය ඔබ අවබෝධ කරගත යුතුයි. මේ තත්ත්වය හොඳින් වටහාගෙන ඔබ ඔබගේ ජීවිතයටත් අධ්‍යාත්මයටත් හානියක් නොවන ආකාරයට හැසිරීමට වගබලාගත යුතු බවයි, මා මෙහිදී සිහිපත් කර සිටින්නේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.