Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දිවි මඟ සරසන පෝ දා පිළිවෙත

ශ්‍රද්ධාව, දැහැමි පිළිවෙතෙහි අඩිතාලම යි. සැදැහැ නැත්තෝ කිසි දින පින් නොකරති. පිනට ඇලුම් නොකරති. දස පින් කිරියවතෙන් දුරස් වෙති. සසර දුක නිම වන නිවන් රසට රිසි වැ පැවිදිබිමට පා තබන කුඩා දරුවකුට වුව සැදැහැ සිත් තිබිය යුතු ම ය. සැදැහැ නැත්තා හැමතින් ම පිරිහෙයි.

උතුම් මැදින් පුණු පොහෝ දිනය අදයි. සුදොවුන් පිය මහ රජතුමන් ඇතුළු සිය නෑ සමූහයා බැහැ දකිනු වස් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට කිඹුල්වතට ගමන් අරඹති. ජාත භූ®මි සංචාරයට පූර්විකාවක් ලෙස කාළුදායී මහ රහතන්වහන්සේ රමණීය මාර්ග වර්ණනාවකින් ද සංග්‍රහ කරති. මෙකී සිදුවීම් හා බැඳුණු මේ පුන් පෝ දින ද පින් සිතිවිලි වඩන්නට වෙන් කර ගැනීම ඉතා අගනේ ය.

දාන, ශීල, භාවනා පුණ්‍යක්‍රියා මගින් අගුණ දුබලකම්, මුලිනුපුටා දමා සරු මිනිසකු වීම කළ හැකි උසස් ම ප්‍රතිපත්ති පූජාවක් වන්නේය. එය ප්‍රතිවේදයට - නිර්වාණාවබෝධයට මඟකි. ප්‍රතිපත්තිගරුක වීම, උසස් ගුණයෙන් හෙබි වූවකු බව හඳුනා ගැනීමට ලකුණකි. උතුම් පිළිවෙතක පිහිටීම මහ සඟ ගුණයකි. දෑත් ඔසවා මහ සඟරුවනට වැඳිය හැකි වන්නේ ද සුපටිපන්නාදී ගුණ පිළිවෙතින් සරු වූ බැවිනි.

අනුත්තර පින් කෙතක් බඳු මහ සඟ රුවන ඇසුරු කරමින් සීල, සමාධි හා ප්‍රඥා ශික්ෂණ මාර්ගයෙහි අනුගත වීම බුදුරදුන් අපෙන් බලාපොරොත්තු වූවකි. අල්ප මාත්‍ර වූ වරදෙහි පවා බිය වී සුචරිතවත් වන්නැයි තථාගතයන්වහන්සේ වදාරති. බුදුරදුන් අනුව යන බොහෝ දෙනාගේ අරමුණ වන්නේ ද නිර්වාණ ශාන්තියයි. මතු භවයක ලබන සුවයකට පෙර මේ භවයේදීම සැපවත් දිවි පෙවෙතකට උරුමය ඇත්නම් එයද අප ඔබ ලබන වාසනාවකි. ධනයෙන්, නිලයෙන්, උගත්කමින් හා රූ සපුවෙන් වුව උසස් අයකු විය හැකි නම් ඒ ප්‍රමාණවත් යැ යි සිතන්නෝ ද වෙති.

තථාගත ධර්මය උපයෝගී කරගත යුතු වන්නේ ලොවුතුරු සැප සඳහා ම ය. සත්පුරුෂයන් ඇසුරු කිරීම, බණ ඇසීම, නුවණින් විමසා බැලීම හා දැහැමි පිළිවෙත පුද්ගලයා මාර්ගඵලාවබෝධයට යොමු කරවයි. හොඳම සත් පුරුෂයා බුදුරජාණන් වහන්සේ ය. ඒ උත්තම සත් පුරුෂයාගේ එක් වදනක් වුව අතිශය ශාන්ත ය, ප්‍රණීත ය, අර්ථ පුර්ණ ය. තමා පිළිබඳ හැම විටම නුවණින් සිතා විමසා බලන්නකුට හැම මොහොතකම වරදින් මිදෙන්නට, ගුණ නුවණින් පිරෙන්නට හැකියාව ලැබේ. පන්සිල් සුරැකීම පෙරටු කරගත් දැහැමි පිළිවෙත තිදොර සංවර කරයි.

ශ්‍රද්ධාව, දැහැමි පිළිවෙතෙහි අඩිතාලම යි. සැදැහැ නැත්තෝ කිසි දින පින් නොකරති. පිනට ඇලුම් නොකරති. දස පින් කිරියවතෙන් දුරස් වෙති. සසර දුක නිම වන නිවන් රසට රිසි වැ පැවිදිබිමට පා තබන කුඩා දරුවකුට වුව සැදැහැ සිත් තිබිය යුතු ම ය. සැදැහැ නැත්තා හැමතින් ම පිරිහෙයි. සැදැහැ නැත්තකු දකින්නට ලැබීමත් අභාග්‍යයකි. අජාත සත්තු - අජාත ශත්‍රැ- අජාසත් රජ සැදැහැති උවසුවන් අතර අග තැන ගත්තෙකි. පියා මරා ගරුක (ආනන්තර්ය) අකුසල කර්මයකට දායක වූවත් පසුව වරද වටහා ගත්තෙකි. පළමු ව පමා වී, දෙවනුව නොපමා වූවෙකි. හෙතෙමේ පසු ව බුදුරදුන්ගේ සමීපතම ශ්‍රාවකයකු ද විය. අමාවතුර කතුවර ගුරුළුගෝමී අජාසත් රජ පිළිබඳ බුදු මුවට නගා මෙසේ පවසයි.

මහණනි, මෙරජ පියා නොමැරුයේ වී නම් දැන්මෙහි මැ හිඳැ සෝවාන් වූයේ යැ. පාප මිත්‍ර සංසර්ගයෙන් එයට අන්තරාය වී යැ’’

සැදැහැ සිත පිරිහී ගිය බැවින් මෙ රජ එදා බුදු සසුනට මහත් අන්තරායකර වූවත්, සාමඤ්ඤඵල සූත්‍ර දේශනාව ඇසීම හා ජීවක මිත්‍ර සමාගමය නිසා බුද්ධ පරිනිර්වාණ සමයෙහිත් ප්‍රථම ධර්ම සංගායනාවේදීන් ශාසන අනුග්‍රහ සැලසූ ශ්‍රේෂ්ඨයා බවට සම්මානිත විය.

කවර තරමේ පිනෙන් ගුණ දහමෙන් පිරී ගිය ද පුහුදුන්කම නිසා ම අයෙක් වරෙක මුලා වෙති. ගුණ නුගුණ නොහඳුනති. වරද නිවරද නිසි සේ නොදකිති. මහත් විපත් සිදුකර ගනිති. කරුණු වටහා ගන්නා විට සියල්ල සිදු වී හමාර ය. ඉතිරි වනුයේ පසුතැවිල්ල පමණකි. මැණික් සැට්ටරා සියලු තතු අවබෝධ කරගන්නා විට මණිකාර කුªලුපග තිස්ස තෙරුන් වහන්සේගේ ජීවිතය අවසන් වී තිබිණි. දස වධ විඳිමින් දුක් ගොහොරුවක ගිලී සිටි තෙරුණුවෝ මෙසේ පැවසූහ.

‘මැණික ලිහිණියාගේ කුස තුළ බව මම මුල සිට ම දතුයෙමි. එහෙත් ඒ සතාගේ දිවි තොර වන බැවින් මුනිවත රැකීමි. දැන් මළ කුරුල්ලාගෙන් මැණික ගෙන රාජ උදහසින් මිදෙනු මැනව. මේ මගේ සසර දොසකි. පමණ ඉක්මවා යන කුලුපග වාසය ද මට විපත් ගෙන දුනි. පිඬුසිඟා වනු විනා, නිවසක් තුළට වැද දන් වැළඳීම ද නුසුදුසු බව දැන ගතිමි’.

මෙබඳු පුන් පෝ දිනක තථාගත සද්ධර්මය වෙනුවෙන් උපරිම කාලයක් යෙදවීමට අදිටන් කර ගැනීම ඉතා වැදගත් ය. ඒ බුදු බණ, බව දුකට මහඟු ඔසුවකි. පෝ දින අසන කියන - කියවන සිතන බණ, කයත් මනසත් සුවපත් කරයි. විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය පවා පෝ දින සිය ඉඩ. මේ උතුම් දහම වෙනුවෙන් කැපකර තිබීම ද අගය කළ යුත්තකි. පන්සලක පවා ජීවය වඩාත් පිරී පවතිනුයේ පොහෝ දිනයේදී ය. පායන මැදින් පුන් සඳ ද සිතට සිසිලකි. එබැවින් මේ පුණු පොහෝ දින ද විහාරස්ථාන ඇසුරු කරමින් බණ අසා, දෙසා, සිල් රැක දහම් නුවණින් සරුවන්නට අදිටන් කිරීම මනාය. බුදුරජාණන් වහන්සේගේ ඤාතී සංග්‍රහයෙහි අරමුණ වූයේ ද එයම ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.