Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇස යොමු විය යුතු තැන් බෝතොට පුරාණ විහාරය

පුංචි දඹුල්ල නමින් ප්‍රකට බෝතොට පුරාණ විහාරස්ථානයට අයත් චිත්‍ර මූර්ති සහ ගලින් නෙළන ලද නිර්මාණ විනාශ වී යෑමේ අවදානමක් පවතින බව කියයි.

හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝතොට ග්‍රාමවරයේ පිහිටා ඇති එම පුරාණ විහාරස්ථානය මහනුවර යුගයට අයත් දුර්ලභ ගණයේ නිර්මාණ රැසකින් සමන්විතය. සුවිශේෂි මන්දිර තුනකින් සමන්විත විහාරස්ථානයේ දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සැතපෙන ආකාරයෙන් නිමවා ඇත.

එහෙත් අද වන විට දහඅට රියන් බුද්ධ ප්‍රතිමාවද විනාශ වී යාමේ අවදානමක් ඇත. සිරස්පත සහිත සමාධි බුද්ධ ප්‍රතිමා තුනද, විනාශ වී යෑමේ අනතුරක් දක්නට තිබේ. තවද හිටි පිළිම මෙන්ම බෝසත් පිළිමද සංරක්ෂණය කිරීමේ විශාල අවශ්‍යතාවක් පෙන්නුම් කරයි.

විහාර මන්දිරය අභ්‍යන්තරයේ බිත්ති සහ ඉහළ සිවිලිමේ ඇඳ ඇති අටවිසි බුදුවරුන්ගේ චිත්‍ර මෙන්ම ජාතක කතා ආශ්‍රිත නිර්මාණද වැහි වතුර කාන්දුවීම නිසා අනතුරට ලක්ව ඇති බවද විහාර මන්දිරයට පිවිසෙන දොරටු තුනට ඉහළින් ඇති මකර තොරණ කළුගලින් නිමවන ලද කුළුණු හුණු පිරී වැදීමෙන් මෙන්ම වෙනත් ආපදා තත්ත්වයන් යටතේ ද අනාරක්ෂිත බවට පත්ව තිබෙන බව කියයි. මෙම විහාරස්ථානයට අයත් නිර්මාණ රන්ගිරි දඹුලු විහාරස්ථානයේ නිර්මාණවලට සමානකමක් පෙන්නුම් කරන බවද කියයි.

මේ නිර්මාණ සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවධානය යොමු නොකළහොත් මහනුවර යුගයේ සිටි කලාකරුවන් ගේ හැකියාවන් බෝතොට පුරාණ විහාරස්ථාන නිර්මාණ මඟින් යළි දැකගැනීමට නොහැකිවේ යැයි විහාරවාසී හීහැටියන්ගල මහින්ද හිමියෝ පවසති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.