Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘භික්ෂුත්වය නිසි මඟ රඳවන අධ්‍යාපන පිළිවෙතක් ඕනෑ’

අද අප රටේ කොතැනක හෝ ත්‍රිපිටකය පමණක් උගන්වන පිරිවෙන් සොයා ගැනීමට නොමැත. මේ නිසාම භික්ෂූ අධ්‍යාපනය අයාලේ ගොස් ඇතැයි සිතේ. පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමවත් භික්ෂූ අධ්‍යාපනයක් ලෙස වර්ධනය වීමට අවශ්‍ය ප්‍රධානම පසුබිම සූත්‍ර, විනය, අභිධර්මය පමණක් උගන්වන ආයතනයක් බවට එය පත් කිරීම ය. මේ අනුව ධර්මය සම්බන්ධව පමණක් වන උපාධියක් පිරිනැමීමට විධිමත් , ආයතනයක් නිර්මාණය කළ හැකි ය.

වර්තමානයේ වැඩ වෙසෙන ඇතැම් භික්ෂූන් වහන්සේගේ ඇතැම් පිළිවෙත් නිසා එම භික්ෂූන් වහන්සේ සමාජය විසින් විවිධ නම් වලින් හඳුන්වනු ලබන බව අසන්නට ලැබෙයි. ඇතැම් භික්ෂූන් වහන්සේ කෙනෙකු හඳුන්වනු ලබන්නේ ‘වෙද හාමුදුරුවෝ’ යන නමිනි. තවත් භික්ෂූන් වහන්සේ නමක් ‘කේන්දර බලන හාමුදුරුවෝ’ නමින්ද ‘ඉස්කෝලේ හාමුදුරුවෝ’ නමින්ද හැඳින්වෙති.

මෙවැනි ව්‍යවහාර, භික්ෂූන් වහන්සේ හැඳින්වීමට යෙදෙන්නේ, භික්ෂූන් වහන්සේගේ විවිධ වෘත්තිමය කටයුතු සහ වැරැදි පිළිවෙත් නිසා බව පෙනෙයි. කවි, සෙත්කවි, ආදිය කීමේ කටයුතු වලදී ද භික්ෂූන්වහන්සේ මුල් තැන ගෙන සිටින බව දක්නට ලැබෙයි.

මෙබඳු විෂය තිරිසන් විද්‍යා ලෙසට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ හඳුන්වා දී තිබේ. මෙවැනි තිරිසන් විද්‍යාවන්හි නිරතවන භික්ෂූන්ගේ ජීවිත මිච්ඡා ආජීවයෙන් පිරී යයි.

මෙබඳු වාතාවරණයක් නිර්මාණය වීමට හේතුව නිරවුල්, ක්‍රමවත් භික්ෂූ අධ්‍යාපන ක්‍රමවේදයක් නොමැති වීමයි. පිරිවෙන් වල් වැදීමය.

බොහෝ දෙනක් පිරිවෙනක් ආරම්භ කිරීමට බෙහෙවින්ම කැමැති වෙති. ඊට හේතුව ඒ සඳහා රජයෙන් මුල්‍යමය ප්‍රතිපාදන වෙන්කරන බැවිනි. එබැවින් කුඩා පිරිසක් හෝ (ශිෂ්‍යයන් විස්සක පමණ) රැස්කැර ගෙන ජීවත්වීමට සුදුසු ක්‍රමයක් සේ පිරිවෙනක් ආරම්භ කරනු බොහෝ තැන් දැක තිබේ.

අද අප රටේ කොතැනක හෝ ත්‍රිපිටකය පමණක් උගන්වන පිරිවෙන් සොයා ගැනීමට නොමැත. මේ නිසාම භික්ෂූ අධ්‍යාපනය අයාලේ ගොස් ඇතැයි සිතේ. මේ නිසා ශ්‍රද්ධාවන්ත භික්ෂූ පිරිසක් වෙනුවට ආඥාද්ධාවන්ත භික්ෂුන් පිරිසක් බිහිවනු නොවැළැක්විය හැකි ය. මෙසේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වෙතින් සීලවන්ත බව පලා යයි. විනය පිරිහෙයි. මේ ආකාරයට පිරිවෙන් අධ්‍යාපනය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ධර්ම ඤාණය ඇති භික්ෂූ පිරිසක් බිහිවෙනවා වෙනුවට වෙනත් අරමුණු පෙරදැරි කරගත් භික්ෂූන් කණ්ඩායමක් බිහි වේ. විදර්ශනාව පිළිබඳ ස්කන්ධ, ධාතු, ආයතන පිළිබඳ ගැඹුරු ප්‍රඥා සහිත භික්ෂූ පිරිසක් බිහි වෙනවා වෙනුවට, ධර්මය පිළිබඳ අවබෝධයෙන් තොර, චතුරාර්ය සත්‍ය අවබෝධයට නොවෙහෙසෙන පිරිසක් බිහිවනු ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ, පිරිවෙන් අධ්‍යාපනය පවත්නා ලෙසට පැවතීමත්, ගෞතම බුදු සසුන අන්තයට පිරිහී යෑමත් ය.

පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමවත් භික්ෂූ අධ්‍යාපනයක් ලෙස වර්ධනය වීමට අවශ්‍ය ප්‍රධානම පසුබිම සූත්‍ර, විනය, අභිධර්මය පමණක් උගන්වන ආයතනයක් බවට එය පත් කිරීම ය. මේ අනුව ධර්මය සම්බන්ධව පමණක් වන උපාධියක් පිරිනැමීමට විධිමත් , ආයතනයක් නිර්මාණය කළ හැකි ය. උගත් ධර්මධර විනය ධර භික්ෂුන්වහන්සේ තෝරා වැටුපක් නොලබමින්, පිරිවෙනෙහිම උගැන්වීමට අවස්ථාව ලබා දීමට හැකි ය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි ලිච්ඡවි රජ දරුවන් ගේ නොපිරිහීමට හේතූන් ලෙස බුදුරදුන් දක්වා ඇති කරුණු රැසකි. ඉන් එක් කරුණක් වනුයේ එම රජ දරුවන් බුදුරාජණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට සිව් පසයෙන් උපස්ථාන කිරීමයි. රජයක් බැබළීමට නම් ඒ රජය එම රටේ සිටින සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ඉහත ආකාරයට සැලකීම වැදගත් වෙයි.

භික්ෂූ අධ්‍යාපන ආයතනයක් වන පිරිවෙන විනය ගරුක, ගුණ ගරුක ස්ථානයක් ලෙසට ගොඩනංවා ගැනීම අවශ්‍ය ය. එමෙන් ම එහි ප්‍රධානාචාර්යවරයා, ප්‍රධානාචාර්ය භික්ෂූව ශ්‍රද්ධාවන්ත කෙනෙක් විය යුතුය. ඉන් අනතුරුව අනුපිළිවෙළින් තනතුරු දරන සියල්ලන් ද අධ්‍යාපනය ලබා දෙනා සියලු ගුරුවරයා ද යන මේ හැම දෙනාම ශ්‍රද්ධාවන්ත විය යුතු ය.

මෙසේ නොවන්නේ නම්, එය සසුන පිළිබඳ භයානක අනතුරකි. වගකීව යුත්තන්ට හා බලධාරීනට මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කළ හැකිව තිබේ. සැලකිය යුතු භික්ෂු අධ්‍යාපන අයතනයක් පිහිටුවා එහි මේ ජීවිතයේ දීම මාර්ග ඵල ලබන පිරිසක් ඇතිවීමට අවස්ථාව සැලසෙන්නේ එය භික්ෂු ජීවිතයේ මූලික පරමාර්ථය කරා ළඟා වීමට දරන ප්‍රයත්නයකි.

එබඳු භික්ෂුන් වහන්සේ පිරිසක් බිහිවන්නේ නම් එය අපේ රටට සමාජයට බෙහෙවින් වැඩදායක වනු ඇත. එවිට රටවැසි සියලු දෙනාට මෙලොව හා පරලොව සුපවත් වීමට කටයුතු සැලසෙනවා මෙන්ම, භික්ෂූන් වහන්සේ ගෞරවණීය පූජනීය තත්ත්වයට පත් වෙති. ගිහියන් ඉගෙන ගන්නා සකල විධ ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමට වෙහෙසෙනවාට වඩා භාෂා ඉගෙන ගැනීම භික්ෂූන් වහන්සේට වැදගත් වෙයි. එය ධර්ම ප්‍රචාරය කිරීම සඳහා ද අත්‍යවශ්‍ය කරුණකි. මෑත කාලයේ අප රටේ ජීවත් වූ උත්තරීතර මහ තෙර නමක් වූ බලංගොඩ ආනන්ද මෛත්‍රීය නා හිමියන් භාෂා දැනුම ලබාගත් හෙයින් සකල සමාජයටම සිදු වූ යහපත සුළුපටු නැත. සැමවිටම පිරිවෙන් අධ්‍යාපනයට ඇතුළත් කොට සිංහල, පාලි, සංස්කෘති මෙන්ම ඉංගී‍්‍රසි, ප්‍රංශ, ජර්මන් ආදී භාෂා ද ඉගැන්විය හැකි නම් එයින් ලද හැකි ප්‍රයෝජන අපමණය. පරිගණක දැනුම ලබාදීම ද වැදගත්ය. මේ සියල්ල භික්ෂුත්වයේ ගෞරවය සුරැකෙන පරිදි කළ යුතුය.

දැනට පවතින අධ්‍යාපන රටාව ඔස්සේ ඉගෙනුම ලබන බොහෝමයක් භික්ෂූන් වහන්සේගේ අරමුණ වනුයේ රැකියාවක් ලබා ගැනීමය. බොහෝ භික්ෂූන්වහන්සේ ගුරු පත්වීම් ලබා ගැනීමේ කැමැත්තෙන් සිටින බව පෙනෙයි. භික්ෂූන් වහන්සේ වැටුප් ලබති. රාජ්‍ය සේවකයන් බවට පත්වෙමින් සිටිති.

එහෙත් භික්ෂූන් වහන්සේ කිසි විටෙකත් රාජ්‍ය සේවකයන් නොවිය යුතු ය. භික්ෂූන් වහන්සේ බුදු සසුන පමණක් නියෝජනය කරන්නන් විය යුතුය. දැන් පවතින ආකාරයට කටයුතු සිදුවීමෙන් භික්ෂුව වෙතින් ඉටු වියයුතු බොහෝ දේ අතපසු වෙයි. රජුට පවා අනුශාසනා කළ හැකි භික්ෂූත්වයේ ගෞරවය වැනසී යන කුමන හෝ වැඩපිළිවෙලක්, දුබලකමක් වේ නම්, උන්වහන්සේ ඉන් මුදා සසුන පවිත්‍ර කිරීම, වගකිව යුත්තන් අතින් ඉටුවිය යුතු කාලීන වගකීමකි.

අප සමාජයේ ගරු බුහුමනට ලක් වූ සෑම භික්ෂූන් වහන්සේ නමක් ම රජයේ රැකියා කරන හිමිවරු නොවෙති.

ප්‍රසිද්ධ වී තිබෙනුයේ ගරු බුහුමනට පාත්‍ර වී තිබෙනුයේ ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේය.

මෙයින් ප්‍රකටව පැහැදිලි වන කරුණක් ඇත. එනම් මහජනතාව ගරු කරනුයේ භික්ෂූන් වහන්සේගේ් රැකියාවට නොව උන්වහන්සේගේ අනුශාසනාවට බව ය. එසේම භික්ෂූත්වයෙහි අරුත නිසි ලෙස අවබෝධ කර ගැනීමෙන් අපට අතිවිශාල ශාසනික සේවාවක් ඉටු කළ හැකි වනු ඇත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.