UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙනසට පත් වන දිවියක අරුමය

දිනක් බුදුරදුන් වෙත පැමිණි එක්තරා දේවතාවෙක් “ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! කාලය උදය දිවා රැය වශයෙන් ගෙවී යයි. බාල, තරුණ , මහලු සියල්ලෝම මරණය කරා පැමිණෙත්. ජීවිතයේ විඳින විඳවන බිය සංකා දුරැර සැප ලබා ගැනීම සඳහා පින් කළ යුතු නොවේදැ’යි විමැසීය. එකී බිය සංකා සෝ දුක් වලින් මිදීමට නම් ලෝකාමිසය දුරැර නිවන් අවබෝධ කරගත යුතු බව; පුණ්‍ය ශක්තියේ බලයෙන් විවිධ සැප ලැබුණද එය කර්මානුරූපව වෙනස්වන හෙයින් සදාකාලික නිවන් සුව උදෙසා තණ්හාව ක්‍ෂය කළ යුතු බව, බුදුරදුන්ගේ පිළිතුර විය.දේවතාවා සහ බුදුරදුන් අතර ඇතිවූ ධර්ම සාකච්ඡාව දෙස විමැසිල්ලෙන් බලන කල පැහැදිලි වන්නේ ජීවිතය පිළිබඳ උසස් දර්ශනයක් එයින් ගම්‍ය වන බවයි.

බුදුපියාණෝ සව් සතුන් වෙත තමන් තුළ පතළ මහා කරුණාවෙන් යුතුව තමන් වහන්සේ අවබෝධ කරගත් දම් අමා දිය දහර, පන්සාළිස් වසක් මේ මුළු මහත් දියත වෙත මුදා හළ සේක. දෙව්, බඹ, සුර,නර නා ආදී නේක දනෝ ඉන් නිවී සැනසුණහ. නොයෙක් දේවතාවෝද විවිධ ප්‍රශ්න රැගෙන බුදුරදුන් වෙත පැමිණ ඒවා නිරාකරණය කරගත්හ. දිනක් බුදුරදුන් වෙත පැමිණි එක්තරා දේවතාවෙක් “ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! කාලය උදය දිවා රැය වශයෙන් ගෙවී යයි. බාල, තරුණ , මහලු සියල්ලෝම මරණය කරා පැමිණෙත්. ජීවිතයේ විඳින විඳවන බිය සංකා දුරැර සැප ලබා ගැනීම සඳහා පින් කල යුතු නොවේදැ’යි විමැසීය. එකී බිය සංකා සෝ දුක් වලින් මිදීමට නම් ලෝකාමිසය දුරැර නිවන් අවබෝධ කරගත යුතු බව බුදුරදුන්ගේ පිළිතුර විය.

දේවතාවා සහ බුදුරදුන් අතර ඇතිවූ ධර්ම සාකච්ඡාව දෙස විමැසිල්ලෙන් බලන කල පැහැදිලි වන්නේ ජීවිතය පිළිබඳ උසස් දර්ශනයක් එයින් ගම්‍යවන බවයි. මෙම දේවතාවාගේ අදහස වූයේ උපන් සැවොම දින මාස අවුරුදු දිවා රෑ ඉක්මවා මරණය කරා ළඟාවන බවයි. කෙටියෙන් කිවහොත් එයින් පෙනී යන්නේ අනිත්‍යතාවයි.

නමුදු බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ පුණ්‍ය ශක්තියේ බලයෙන් විවිධ සැප ලැබුණාද එය කර්මානුරූපව වෙනස්වන හෙයින් සදාකාලික ලෝකෝත්තර නිවන් සුව උදෙසා තණ්හාව ක්‍ෂය කළ යුතු බව යි. (තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං)

ලොව වෙසෙන ජීවමාන සතුන්ගේ හා අජීව වස්තූන්ගේ පැවැත්මේ ලක්‍ෂණ තුනක් බුදු දහම පැහැදිලි කරයි. එනම් උප්පාද ඨිති භංග යනුයි. හට ගැනීම , පැවතීම හා විනාශවීම යන්නයි එහි තේරුම. එමෙන්ම ජීවිතයක අවස්ථා තුනකි. බාල, තරුණ, මහලු යනුවෙනි.

මේ ඉතා සරල සාමාන්‍ය ලෙස ජීවිතයක් දෙස බලන ආකාරය යි. නමුදු බුදුරජාණන් වහන්සේ යථාර්ථවාදීව ජීවිතයක් දෙස බලන අයුරු දක්වා වදාළේ දශක වශයෙන් බැලීමෙනි. මේ ඉගැන්වීම අනුව පැහැදිලි වන්නේ පරමායුෂ අවුරුදු සියයක් සළකා ඇති බවයි. මන්දා කිඩ්ඩාච වණ්ණා ච බලා ගායන යොබ්බනා ආදී වශයෙන් ඒ බව ධර්මයෙහි දැක්වේ. මන්ද, ක්‍රීඩා, වර්ණ, බල, ප්‍රඥා, කාය, පබ්බාහාර, පවංක, මෝමූහ, සයන යනු ඒ දශකයෝය. උපතේ සිට මරණය දක්වා ජීවිතයේ දැකිය හැකි වෙනස්කම් දහයක් මෙයින් පිළිබිඹු කැරේ.

උපතේ සිට අවුරුදු දහය දක්වා කාලය මන්ද දශකයයි. එනම් ළමා කාලය භ. අසන දකින සැම දෙයක්ම අනුගමනය කිරීමට පෙළඹෙන කාලයක් බැවින් ගුරු දෙගුරුන්ගේ යහපත් මාර්ගෝපදේශකත්වය යටතේ දිවි මඟ සකසා ගත යුතු කාලයයි. කෑම බීම ඉඳුම් හිටුම් ආදී චර්යාධර්ම මැනවින් පවත්වාගෙන යාමට හොඳින් උගත යුතු කාලය මෙයයි.

අවුරුදු එකොළහේ සිට විස්ස දක්වා කාලය ක්‍රීඩා දශකයයි. පෞරුෂ වර්ධනය පිළිබඳ වඩාත් සැළකිලිමත් වන කාලය ලෙස මෙය හැඳීන්විය හැකිය. අධ්‍යාපන කටයුතු මෙන්ම සම වයසේ මිතුරන් සමඟ ක්‍රීඩා වෙහි නිරතවන කාලය යි. ගුරු දෙගුරුන්ගේ අවධානය වඩාත් යොමු කළ යුතු කාලයද මෙය වන්නේ ය. මන්ද? ඇසුර අනුවත් අසන දකින දේ අනුවත් ජීවිතයේ බොහෝ වෙනස්කම් ඇතිවන කාලයක් බැවිනි. යහපත් ඇසුර ලදොත් යහපත් වන්නාසේම අයහපත් ඇසුරට පත්වුවහොත් කිසිවෙකු කෙදිනක හෝ බලාපොරොත්තු නොවූ අයුරු ආගාධවලට ඇද වැටෙනු ඇත. මෙම කාලය තුළ දී හොඳ නරක, මඟ නොමඟ , යහපත , අයහපත , ආදර්ශයෙන් හා අවවාදයෙන් පෙන්වා දිය යුතු ය.

යොවුන් විය ලෙස හඳුන්වන අවුරුදු 21 -30 දක්වා කාලය වර්ණ දශකයයි. මුල් දශක දෙක තුළින් ලද අත්දැකීම් අනුව යහපත් හෝ අයහපත් ජීවන මාර්ගයකට ප්‍රවේශ වන කාලය යි. අදූරදර්ශී ඉක්මන් තීරණ ගන්නා කාලයකි මේ. බොහෝ ස්වාධීන මත දරයි. ශරීරාලංකාරය ජීවනාලංකාරය පිළිබඳ සැළකිලිමත් වෙයි. ආවාහ විවාහ කටයුතු වල නියැළෙයි. ඇතැම් අය මත්පැන්, මත්ද්‍රව්‍ය පානය, දුරාචාරය සොරකම් වැනි දුසිරිත් වලට ද පෙළඹී ප්‍රශ්නවලට මුහුණ දිය නොහැකිව අතරමං වන අවස්ථාද දුර්ලභ නොවේ.

බල දශකය අවුරුදු 31 -40 දක්වා කාලයයි. ජීවිතයේ හොඳම කාලය මෙය බව දැක්වෙයි. කායික හා මානසික ශක්තියෙන් මෙන්ම යෞවන මදයෙන් ද යුක්ත කාලයයි.

මුල සිට මනා කළමනාකරණයෙන් යුතුව සකසා ගත් යහපත් ජීවන රටාවක් පැවතියේ නම් දියුණුව අභිවෘද්ධිය සළසා ගත හැකි වෙයි.

ප්‍රඥා දශකය යනු බුද්ධි වර්ධන අවස්ථාවයි. අවුරුදු 41 -50 දක්වා කාලයයි. ජීවිත කාලය තුළ මෙතුවක් උගත් බොහෝ දේ පිළිබඳ යථාර්ථවාදීව සිතා විමසා ක්‍රියා කරන, ලෝකය පිළිබඳව විමසිල්ලත් අවබෝධයෙන් කටයුතු කරන වගකිවයුතු පුද්ගලයෙකුගේ අවස්ථාව උදාවන්නේ මේ කාලය තුළදීය.

අවුරුදු 51 සිට 60 දක්වා කාලය හායන දශකයයි. සිරුරේ අනිත්‍ය ලක්‍ෂණ ප්‍රකට කරන කායික මානසික පසුබෑම් වලට ලක් වන, නෑ හිත මිතුරන්ගෙන් තරමක් ඈත් වන කාලයයි. මේ සියල්ල සිදුවන්නේ ස්වභාවිකව ය. මේ නිසා මානසික තත්ත්වයද වෙනස් වෙයි. එබැවින් ධර්මානුකූ®ලව කටයුතු කිරීම ඉතා වැදගත් වෙයි.

මීළඟට උදාවන්නේ සිරුරේ විනාශ ලක්‍ෂණ ප්‍රකට කැරෙන පබ්බාහාර දශකයයි. එහි ආයු කාලය 61 - 70 දක්වා වේ. ඇස් කන් ආදි ඉඳුරන් දුර්වල වෙයි. නිතර විවිධ රෝගාබාධ වලට ලක්වෙයි.

පවංක දශකය උදාවන්නේ අවුරුදු 71 - 80 අතරය. අනිත්‍යතාව මොනවට පැහැදිලි කරන ඉඳුරන් පවා තමන්ට අවසඟ කාල ය යි. අත්පා ආදී ඉඳුරන් අවසඟ නිසාත් නොයෙක් රෝග තත්ත්ව නිසාත් තමන්ට තමන්ම එපා වෙයි. කරදරයක් වෙයි.

අවුරුදු 81 - 90 කාලය මෝමුහ දශකය යි . කුඩා දරුවෙකු මෙනි.

සිහි කල්පනාව අඩු වෙයි. මුලාවට පත්වෙයි. තම කටයුතු ස්වාධීනව කරගත නොහැකි වෙයි. විවිධ කායික මානසික පීඩා වලට පත්වෙයි.

ජීවිතයේ අග කොටස ‘සයන දශකය’ යනුවෙන් ව්‍යවහාර කෙරේ. අවුරුදු 91 - 100 දක්වා කාලය යි. සයනයෙහි හිඳින කාලය, මෙනමින් හැඳින්වෙයි. ඉතාම අසරණ කාලය යි. මේ කාලයේදී යාම් ඊම් පවා කරගත නොහැකි බොහෝ අය දැකිය හැකිය. මළ මුත්‍රාදිය පහ වීම පවා සයනයේදීම සිදුවෙයි.

මෙම දශ යුග වලදී ඇති වන ජීවිත ස්වභාව පිළිබඳ හොඳින් සිතා බලමු. මෙයින් පලා යා හැකි වන්නේ කවරකුට ද? මේ අනිත්‍යතාවයෙන් පලා යා හැකි කෙනෙක් නැත්තේ ම ය. යහපත, සහනය, සැනසුම ලැබීමට නම් අප කළ යුතු වන්නේ ජීවිතයේ ස්වභාවය, යථාර්ථය හොඳින් තේරුම් ගෙන, සහජීවනයෙන් යුතුව, දහමට නැඹුරුව ක්‍රියා කිරීමයි.

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 13 වන දා පූර්ව භාග 05.41 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 08.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 22 වන දා සඳුදා ය..


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]