UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩරට අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය තනතුර සහිත අභිනව අනු නායක පදවි ප්‍රාප්ත  හරන්කහව හේනේගම ශ්‍රී සංඝානන්ද පරිවේණාධ්‍යක්ෂ, සාහිත්‍යාචාර්ය, රාජකීය පණ්ඩිත

අත්තරගම වජිරජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

පිළිගැනීමේ මහෝත්සවය මෙම 14 වන දා පස්වරු 2.30 ට හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන් විද්‍යායතනයේ දී


අභිනව අනු නා හිමි

උඩරට අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත, ග්‍රන්ථ විශාරද තෙරිපැහැ සෝමානන්ද මහා නාහිමියන් ප්‍රධාන විනයවාදිනී කාරක මහා සංඝ සභාව මගින් මහෝපාධ්‍යාය තනතුර සහිත උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය හේනේගම ශ්‍රී සංඝානන්ද පරිවේණාධ්‍යක්ෂ සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති ප්‍රධාන සංඝනායක හිමියන් වෙත පිරිනමා ඇත.

උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය අත්තරගම වජිරජෝති මාහිමිපාණන් වහන්සේ කීර්ති ධර ප්‍රාචීන පඬිවරයෙකි.

1923 දී මුන් වහන්සේ හාරිස්පත්තුව අත්තරගම ග්‍රාමයෙහි ජන්ම ලාභය ලැබුහ.

කුඩා අවදියෙහි අඹතැන්නේ බැප්ටිස් විද්‍යාලයෙහි ඉගෙනීම ලබා අතිපූජ්‍ය පැළව ශ්‍රී සංඝානන්ද අනුනායක මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1933 පැවිදි බිමට ඇතුළත් වූයේ වයස අවුරුදු දහයේදීය.

විසි වයස් සම්පූර්ණ වත්ම 1943 දී උපසම්පදාව ලැබූහ. පැවිදි වීමෙන් පසු කඩුගන්නාවේ ශාස්ත්‍රාලංකාර පිරිවෙනෙහි මූලික අධ්‍යාපනය අවසන් කොට, උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් ව එහිදී පිරිවෙන් අවසාන සහතිකය හා සාහිත්‍යාචාර්ය පණ්ඩිත උපාධිය ලබා ගත්හ.

1947 විද්‍යාලංකාර පිරිවෙනෙහි මධ්‍යම පන්තියේ දක්ෂම ශිෂ්‍යයාට පිරිනැමෙන ශ්‍රී ධම්මානන්ද ශිෂ්‍යත්වය දිනා ගත් මුන් වහන්සේ ඒ මගින් තම ඉගනීමේ කුසලතාවය පැහැදිළි කළ අතර, 1950 දී සිංහල, පාලි, සංස්කෘත, හින්දි යන භාෂාවන්ගෙන් රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත්හ.

පශ්චාත් අධ්‍යාපනය සාර්ථකව නිම කළ ගරු නාහිමිපාණන් වහන්සේ 1951 සිට 1955 දක්වා මහනුවර ධර්මරාජ විදුහලේ දි තම ඉංග්‍රීසි දැනුම වඩාත් පුලුල් කර ගත් අතර, එම විදුහලෙහි සම්මානනීය ධර්මාචාර්ය ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළහ.

එවකට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ අනුබද්ධායතනයක් වූ ශ්‍රී සංඝානන්ද පිරිවෙනෙහි පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් වසර විසි පහක් පමණ කටයුතු කළ නාහිමියෝ දැනට එම ආයතනයේම කෘත්‍යාධිකාරීන් වහන්සේ වශයෙන් ක්‍රියා කරති. පසුව උන් වහන්සේගේ මූලිකත්වයෙන් සාමණේර භික්‍ෂූන් වහන්සේලාගේ පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් තවත් කාලෝචිත ක්‍රියා මාර්ගයක් ගත්හ. එනම් හරන්කහව, පතිරාජ ශ්‍රී සංඝානන්ද මූලික පිරිවෙන ආරම්භ කිරීමයි. මෙම පිරිවෙනෙහි දේශීය මෙන්ම විදේශීය භික්‍ෂූන් වහන්සේ ද අධ්‍යාපනය හදාරති.

1981 සිට 1984 දක්වා සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමාධිපතිව වැඩ වෙසෙමින් ශ්‍රී ලාංකික ධර්ම දූත භික්‍ෂූන් වහන්සේ අතර අතිශය ජනප්‍රිය වූහ.

තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර ආචාර්ය රඹුකේවෙල ඤාණසීහ නායක ස්ථවිරයන්ගේ ආධිපත්‍යය යටතේ පවත්නා සිංගප්පූරුවේ ‘ජූ වියට් ලේක්හි’ සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ආරම්භයේ පටන් ම මුන් වහන්සේ අනුශාසකත්වය දරති.ජාත්‍යන්තර ධර්ම දූත හා සමාජ සේවාවක් ඉටු කරන මහනුවර වට්ටාරන්තැන්නේ සමාධි සංස්කෘතික කේන්ද්‍රය ඇතුළු විහාරස්ථාන දහයක ආධිපත්‍යය උසුලන නාහිමිපාණන් වහන්සේට මෙම උදාර ලෝක ශාසනික කර්තව්‍යයන් සිදු කිරීම සඳහා අපවත් වී වදාල තම පැවිදි සහෝදර හිඟුල්වල පඤ්ඤාජෝති නායක මහස්ථවිරපාදයන් වහන්සේගෙන් ලද මාර්ගෝපදේශකත්වය කෘතඥතා පූර්වක ව සිහිපත් කළ යුතුය.

මෙවැනි ලෝක ශාසනික සේවාවක් ඉටු කළ වදාළ අත්තරගම වජිරජෝති මාහිමිපාණන් වහන්සේ වෙත උඩරට අමරපුර මහා නිකායේ මහානායක මා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විනය වාදිනී කාරක සංඝ සභාව මගින් උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනමන ලදී. ඒ නිමිත්තෙන් උන්වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2010 පෙබරවාරි 14 වෙනි ඉරු දින සවස 2.30 හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන් විද්‍යායතනයේ දී පැවැත්වේ. හාරිස්පත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍යය, දේශීය වෛද්‍ය පරිවාස ළමාරක්ෂක අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතාගේ ඇරැයුමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඇතුළු මැති ඇමැතිවරුද එම අවස්ථාවට සහභාගි වෙති.


කාලෝචිත පියවරක්

හරන්කහව හෙනේගම ශ්‍රී සංඝානන්ද පරිවේණාධ්‍යක්‍ෂ මධ්‍ය ප්‍රදේශීය උඩරට අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජොති නායක ස්ථවිරයන් වහන්සේ සමස්ත උඩරට අමරපුර නිකාය නියෝජනය වන සේ අනුනායක පදවියකින් පුදනු ලැබීම අප කාගේත් සතුටට හේතුවන්නකි.

උන්වහන්සේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදු කර ඇති හා සිදු කරනු ලබන ධර්ම ශාස්ත්‍රීය හා සමාජ සේවාවන් මේ අවස්ථාවේ දී සිහිපත් කළයුතුව ඇත. විශේෂයෙන් උන්වහන්සේ ආරම්භ කර ඇති මෙම ශාසනික, සාමාජික සේවාවන් අඛණ්ඩව ඉදිරියටත් ගෙනයාමට සුදුසු ශිෂ්‍ය පිරිසක් බිහිකර තිබීම ද අගය කළ යුත්තකි.

ගිහි පැවිදි හැමදෙනාගේම ගෞරවයට හා සම්මානයට පාත්‍ර වී ඇති අත්තරගම වජිරජොති නායක ස්ථවිරයන් වහන්සේට මෙම අනුනායක පදවිය පත්කිරීමට තත්නිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව ගත් තීරණය කාලෝචිත වැදගත් පියවරක් බව සඳහන් කරන අතර උන්වහන්සේගේ ලෝක ශාසනික සේවය තවදුරටත් කරගෙන යාමට තෙරුවන් සරණින් හා දළදා සමිදු පිහිටෙන් ශක්තිය ධෛර්යය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරම්හ.


දේශීය හා විදේශීය වශයෙන් සේවාව විශාල යි

“ පරපට්බද්ධා මේ ජිවකාතී පබ්බජිතෙන අභිණහං පච්චචේක්‍ඛිතබ්බං” යනුවෙන් දසධම්ම සූත්‍රයෙහි දක්වා තිබෙනුයේ සම්බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත් භික්‍ෂුවක් විසින් තම ජීවිතය අනුන් ගෙන් යැපෙන හා ඒ මත රඳා පවතින්නක් බව නිරන්තරයෙන් සිහිපත් කළ යුතු බවය. මේ නිසා තමා පෝෂණය කරන සමාජ ප්‍රජාවට නිස්සරණාධ්‍යශයෙන් කැපවීමෙන් උතුම් සේවාවක් ඉටුකිරීම හා පූර්වාදර්ශී චරිතයක් මඟින් ජනතාවට මඟපෙන්වීම මේ සිංහල බෞද්ධ රටෙහි මුල් බැසගත් කරුණකි. අනුරපුරයෙන් ආරම්භ වූ මහින්ද සංස්කෘතිය තුළ පැවති මෙම සංකල්පනාව සිංහල දේශය පුරා පැතිර ගිය අතර මෙරට බෞද්ධ රටක් බවට පත් වූදා සිටම භික්‍ෂූන් වහන්සේලා මෙම කාර්ය මනාව අවබෝධ කොට ගෙන කාර්ය සාධනයෙහි නිරත වූහ. අදත් මෙරට මහා සංඝයා වහන්සේ ස්වකීය යුතුකමක් ලෙස සලකා මෙය ඉටුකරන අතර වර්තමාන ශ්‍රී ලංකාවේ දස දෙස පිහිටි විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් භික්‍ෂූන් වහන්සේ විසින් ඉටු කරන එම සේවය බෞද්ධ අබෞද්ධ සියලු ජනතාවගේම අභිවෘද්ධියට කෙතරම් ඉවහල් වී ඇතිදැයි ප්‍රකට වී පවතී.

ජාතික, ආගමික, සාමාජික වශයෙන් කුදු මහත් කටයුතු ඉටුකරමින් ශාසන සංරක්‍ෂණය සඳහා පැවිදි ශිෂ්‍යයන් ද ඇති කරමින් කටයුතු කරන මේ රටේ මහා සංඝයා වහන්සේ පිරිවෙන් වැනි ආයතනද පවත්වාගෙන යමින් ගිහි පැවිදි දෙපක්‍ෂයටම අධ්‍යාපනික වශයෙන් ද මහඟු සේවයක් සිදු කරති. මෙම කාලීන අවශ්‍යතාවය මැනවින් අවබෝධ කොට ගෙන මහනුවර හාරිස්පත්තුව හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන හා තදනුබද්ධ විහාරස්ථාන කිහිපයකම ආධිපත්‍යය දරන පණ්ඩිත අත්තරගම ශ්‍රී වජිරජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට පමණක් නොව විදේශ රටවල පවා එබඳු වටිනා සේවාවක් සිදු කරන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. වත්මන් භික්‍ෂූවගේ කාර්ය භාරයද අවබෝධ කරගෙන නිරහංකාරව සමාජ මෙහෙවරක නිරත වන උන්වහන්සේ මෙතෙක් සිදු කර ඇති සේවයද බෙහෙවින් අගය කළ හැකි වේ.

කිසිදු භේදයකින් තොරව සියලු මහා සංඝයා වහන්සේම ආශ්‍රය නිශ්‍රය කරමින් ගිහි පැවිදි දැන උගත් විශාල ශිෂ්‍ය පිරිසක්ද ගොඩ නඟා ඇති උන්වහන්සේ මෙතෙක් සිදු කර ඇති එම සේවාව වටහාගත් උඩරට අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව විසින් උන්වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවියක් පිරිනමා ඇත. ඉතා දීර්ඝ කාලයක් පෞද්ගලිකවම මා දන්නා හඳුනන උන්වහන්සේට එබඳු තානාන්තරයක් ලැබීම අපගේ බලවත් චිත්ත ප්‍රසාදයට හේතු වනඅතර එම පදවි ලාභය මගින් තවදුරටත් ලෝක ශාසනික වශයෙන් මහත් සේවාවක් සිදු කිරීමට උන්වහන්සේට ආයුරාරෝග්‍යාදී සම්පත් සැලසේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.


වියත් පඬි රුවනක්

අත්තරගම වජිරජෝති ස්ථවිරයන් වහන්සේ උඩරට අමරපුර මහානිකායේ මහෝපාධ්‍යාය පදවිය සහිත අනුනායක පදවියෙන් පිදුම් ලැබීම පිළිබඳව අසා මම අතිශය සතුටට පත්වීම්. පුරා දශක තුන හතරකටත් වැඩි සමීප ඇසුර තුලින් මා උන්වහන්සේ හැඳින ගන්නා ලද්දේ බුද්ධ පුත්‍රයෙකුට අවැසි ශීලාදි ගුණයෙන් ආත්ම දමනයෙන්ද සංඝ ශෝභන ලක්ෂණයන්ගෙන් ද පරිපූර්ණ භික්ෂුවක් ලෙසිනි. ආරෝහ පරිනාහ දේහ සම්පත්තියෙන්ද දුටුවන් පිනවන ශ්‍රමණ දර්ශනයෙන් ද කරුණා මෛත්‍රියාදි උත්කෘෂ්ඨ මානව ලක්ෂණයන්ගෙන්ද සුපෝෂිත මුන් වහන්සේ ශාසනානුලෝමික මහා තෙර නමකි.

හැරමිටිගල ශාසත්‍රාලංකාර පිරිවෙන කැලණිය විද්‍යාලංකාර පිරිවෙන අධ්‍යාපන නිකේතන වශයෙන් යොදා ගත් මුන් වහන්සේ එවකට සුප්‍රකට ආචාර්ය ප්‍රාචාර්යන් වහන්සේලාගෙන් අධ්‍යාපනය ලැබූ උතුමෙකි. අධ්‍යාපනය තුළින් ලැබූ අධ්‍යාත්මික ශික්ෂණයත් නැණ නුවණත් අනාගත භික්ෂු පරපුරටත් සුවහසක් දරු දැරියන්ටත් ලබා දෙනු වස් හේනේගම සංඝානන්ද පිරිවෙන තුළින් ඉටු කළා වූ මෙහෙය ශාසනයේ වීර පැවැත්මටද අධ්‍යාපනයේ පුනරුදයටද ශක්තියක්ම වූ බව මාගේ් හැඟීමය.

මුන් වහන්සේ වියත් පඬිරුවනකි. ධර්ම විනයධර මහා තෙර නමකි. විහාරස්ථාන රැසක් ආරම්භ කොට ස්වකීය ගම් දනව්වල ජනී ජනයාගේ් ශ්‍රද්ධාදී ගුණ පෝෂණයට වඩාත් යෝග්‍යය ප්‍රති බලසම්පන්න ශිෂ්‍ය පරපුරක්හදා වඩා පෝෂණය කළ මහා යතිවරයාණන් කෙනෙකි. උන් වහන්සේ අසූවන දශකයේ පමණ සිංගප්පුරුවේ ශ්‍රී ලංකාරාමයේ ආධිපත්‍යය උසුලමින් ඇරඹූ ධර්මදූත මෙහෙවර වඩාත් අර්ථවත් ලෙස බෞද්ධ රටවල ව්‍යාප්ත කිරීමට ශිෂ්‍ය පිරිසක් බෞද්ධ ලෝකයාට දායාදකළ උතුමෙකි. භික්ෂුවකට අවැසි භාෂා ඥානය ද බුදු වදන පිළිබඳ මනා දැනුම ද අපේ වජිරජෝති ස්ථවිරයන් වහන්සේට සහජයෙන්ම ලැබුණු දායාදයෝය. ඒ තුළින් ලෝ සසුන් දෙක්හි සිදු කරනු ලබන ශාසනික මෙහෙවර මාගේ අතිශය ගෞරවාදරයට පත් වූ කරුණුය.

වජිරජෝති ස්ථවිරයන් වහන්සේට සියලු ශාසනික සේවාවන් වඩාත් උසස් අන්දමින් පවත්වාගෙන යාමට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා .


භාෂා දැනුම විශේෂ යි

ලෝක ශාසනික සේවාවෙහි නිරත වන භික්‍ෂුව ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්ගෙන් උපශෝභන විය යුතු ය.

එවන් භික්‍ෂුවගේ සේවාව සසුනේ අභිවෘද්ධියට, චිර ජීවනය පිණිස මෙන්ම ව්‍යාප්තිය පිණිස ද වන්නේ ය.

එකී කාර්යාවලියෙහි අතිශය සාර්ථකව නිරත වූ යතිවරයාණන් කෙනෙකුන් ලෙස උඩරට අමරපුර මහා නිකායේ අභිනව අනුනායක මහා ස්ථවිරයන් වහන්සේ හඳුන්වා දිය හැකි ය.

මහනුවර හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන් විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ධූරය හොබවන අප ස්ථවිරයන් වහන්සේ සිංහල, පාලි, සංස්කෘත හා හින්දි භාෂාවන්ගෙන් රාජකීය පණ්ඩිත උපාධිය ලබා ඇති අතර සාහිත්‍යාචාර්ය විභාගය ද සමත් වී ඇත.

සිංහල, හින්දි, ඉංගී‍්‍රසි භාෂාවන්ගෙන් චතුර ලෙස කථා කළ හැකි අප ස්ථවිර පාදයන් වහන්සේ සිංගප්පූරුවේ ද ධර්මදූත සේවයේ යෙදෙමින් ලෝක ශාසනික සේවයේ නිරත වූහ.

ධර්ම ශාස්ත්‍රීය සේවාවට අමතරව ස්ව නිකායික ප්‍රවර්ධනය සඳහා අමරපුර විහාරවංශය නමින් ග්‍රන්ථයක් ද ලියා පළ කොට ඇති අප ස්ථවිරයන් වහන්සේ එකී නිකායෙහි අතිශය සම්භාවනීය වූ අනුනායක ධූරයෙන් සම්භාවනාවට පාත්‍රව ඇත. රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය අත්තරගම වජිරජෝති අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ ද සුභාශිංසනය පළ කරන අතර ශත වර්ෂ අධික කාලයක් චිරජීවනය කෙරේවායි ද මෙයින් ආශිර්වාද කරම්හ.


වගකීම් ඉටු කළ අයුරු ප්‍රශංසනීය යි

උඩරට අමරපුර මහා නිකායේ අභිනව අනුනායක පදවිය සහිත මහෝපාධ්‍යාය පදවියක් හේනේගම ශ්‍රී සංඝානන්ද පරිවේනාධ්‍යක්‍ෂ සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති මහා ස්ථවිර පාදයන් වහන්සේට පිරිනැමීමට ලැබීම පිළිබඳ මම පෞද්ගලිකව අතීශය සතුටට පත්වෙමි.

ගරු නායක මහා ස්ථවිර පාදයන් වහන්සේට උක්ත පදවිය යෝජනා වෙත්ම විනයවාදිනි කාරක සංඝ සභාවේ ඒකමතිකත්වය ඒ සඳහා ලැබුනේම උන්වනහන්සේ වෙතින් සිදු කෙරෙන ජාතික ආගමික, ශාසනික හා සාමාජිය කර්තව්‍යයන් තත් නිකායික මහා සඟරුවන මැනවින් හැඳින සිටි බැවිනි.

මධ්‍යම පළාත හා තදනුබද්ධ ප්‍රදේයෙහි ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ කාරක සභිකයෙකු ලේකම්වරයෙකු, අධිකරණ සංඝනායක, ද්විතිය සංඝනායක හා ප්‍රධාන සංඝනායක වශයෙන් ශාසනික පදවිත් අනුක්‍රමයෙන් දැරූ ගරුතර මහා ස්ථවිර පාදයන්වහන්සේ තමන් වෙත පැවරුන වගකීම නිලයේ ගෞරවයද ශාසනික සම්ප්‍රදායද ආරක්ෂා කර ගනිමින් හෙබවූ විලාශය මාගෙ ප්‍රශංසාවට බඳුන්වේ.

උන්වහන්සේ ශ්‍රී සංඝානන්ද පිරිවෙන් විද්‍යායතනය හා ප්‍රදේශයේ පාසල් රැසක් ආරම්භ කරමින් අධ්‍යාපනයේ පුනරුදයට ඉටුකළ මෙහෙවර ප්‍රශංසනීයයි. මේ තුළින් අධ්‍යාපනය ලැබූ දහස් ගණනක් ගිහි පැවිදි උතුමෝ ද වෙති. තමන් වහන්සේ විසින් ඇරඹූ ජාතික ආගමික, සාමාජීය හා ශාස්ත්‍රීය සේවාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඇවැසි ප්‍රතිඵල සම්පන්න වියත් ශිෂ්‍ය පරපුරක් හදා වඩා පෝෂණය කිරීම ද මාගේ නොමද ගෞරවාදරයට කරුණකි. සිංහල, පාලි, සංස්කෘත, හින්දි හා ඉංගී‍්‍රසි යන භාෂාවන් රැසක් මැනවින් හැසිරවීමට හැකි ශාක්‍යතාවය හේතුවෙන්ම දෙස් විදෙස් හි ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැලීමට ද උන්වහන්සේට අවස්ථාව උදාවුණි. උදාර සංඝශෝභන ගුණ වලින්ද කරුණා මෛත්‍රීය ආදී මානුෂීය ගුණ වලින්ද පෝෂිත මහා ස්ථවිර පාදයන් වහන්සේ අමරපුර විහාර වංශය නමින් කෘතියක් රචනා කොට අමරපුර විහාරිය ඉතිහාසය ද සිද්ධස්ථාන පිළිබඳ තොරතුරුද අනාගත භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා ලියා පල කොට ඇත. ප්‍රාදේශීය මහා සඟ රුවනේ මෙන්ම ලෝ වැස්සන්ගේ ප්‍රසාදයට පත් අප වජිරජෝති මහා ස්ථවිර පාදයන් වහන්සේට තෙරුවන් බෙලෙන් සසුන්කෙත බබුළුවන්නට ශක්තිය ලැබේවා යි මම ප්‍රාර්ථනා කරමි.

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 13 වන දා පූර්ව භාග 05.41 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 08.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 22 වන දා සඳුදා ය..


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]