Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

 

ප්‍රශ්නය
සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරන ලද බුදු රජාණන් වහන්සේගේ අකුධාතුව නිදන්කොට අනුරාධපුර යුගයේ කරවන ලද ස්ථූපය කුමක්ද?

පිළිතුර
අනුරාධපුර පූජනීය පෙදෙසේ පිහිටි ථූපාරාමය වේ.

ප්‍රශ්නය
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ආරම්භ වී සත්මසකින් පමණ අවසන් වූ ධර්ම සංගායනාව කුමක්ද?

පිළිතුර
‍අජාසත් රජු දවස රජගහනුවර “වේහාර පර්වත පාමුල පිහිටි “සප්ත පර්ණී” ගුහාද්වාරයෙහි ඉදි කරන ලද ශාලාවෙහි පවත්වන ලද පළමුවන සංගායනාවයි. එහි මුලසුන තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උසුලන ලදී.

ප්‍රශ්නය
පහත සඳහන් වන ප්‍රකාශය බුද්ධ කාලීන ශ්‍රාවක භාසිතයකි.

ඇවත්නි! බුදුන් පිරිනිවියහයි ශෝක නොකරව් නොහඬව් ඒ හැඬීම් ශෝක කිරීම් වලින් පලක් නැත. “සුමුත්තා මයං තෙන මහා සමණෙන” අපි ඒ මහා ශ්‍රමණයාගෙන් සැපසේ මිදුණේ වෙමු.මේ කැපය. මේ අකැපය. යන නියමයන්ගෙන් අපි පීඩිත වූවෝ වෙමු. “ඉදං වො කප්පති ඉතං වො නකප්පති” දැන් වූකලී අපි යමක් කැමැත්තෝ නම් එය කරම්හ. යමක් නොකැමැත්තෝ නම් එය නොකරම්හ” එම භාෂිත කළ තැනැත්තා කවුද?

පිළිතුර
බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත්වන දින ශෝකයෙන් වැලපෙන පුහුදුන් භික්‍ෂුන් වහන්සේ අමතා “සුභද්‍ර” නම් මහළු පැවිද්දෙකුගේ ප්‍රකාශයකි.

ප්‍රශ්නය 
දෙවියන් උදෙසා මුල්කාලයේ පවත්වන ලද ඇසළ මහා පෙරහර බුදු පුද පෙරහරක් බවට පත්කළ රජතුමා කවුද?

පිළිතුර
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

ප්‍රශ්නය
දසබලධාරී බුදුගුණ මවාපාමින් ධාතුසේන රජතුමා විසින් කරවන ලද අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන පැහැදිලි කරන්න.

පිළිතුර
ලක්දිව ප්‍රතිමා ශිල්පීන් නෙලූ හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ අතරෙන් ඉතා විශිෂ්ට නිර්මාණය ලෙස සලකනු ලබන්නේ අවුකන හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේය. මෙම ප්‍රතිමාව නවවන සියවසෙහි දී ඊට ආසන්න කාලයක දී නෙලන ලද්දක් වශයෙන් සැලකේ.

පිහිටි ගලෙන් මනා ලෙස මතුකොට පටු තීරයකින් පමණක් ගලට සම්බන්ධ වන අයුරින් නිර්මාණය කොට තිබේ. පිහිටි පර්වතයකට සම්බන්ධ කොට මෙසේ නෙලූ ප්‍රතිමා “ආබද්ධ ප්‍රතිමා යනුවෙන් විද්වතුන් හඳුන්වා තිබේ. ඉතා විශාල ආබද්ධ ප්‍රතිමාව දක්නට ලැබෙන්නේ වැල්ලවාය අසල “බුදුරුවගලෙහිය”

ප්‍රශ්නය
ශ්‍රී ලංකා භික්‍ෂුණී ශාසනයට ඇතුළුවූ පළමුවන කාන්තා පිරිස කවුද?

පිළිතුර
අනුලා දේවිය ඇතුළු පන්සියයක් පමණ කාන්තාවන්, පැවිදි බිමට ඇතුළත් ව ශ්‍රී ලාංකික මෙහෙණි සසුන ආරම්භ වීය.

ප්‍රශ්නය
“සඳකඩපහණ” ශ්‍රී ලාංකික විශිෂ්ඨ කලා කෘතියකි. පැහැදිලි කරන්න.

පිළිතුර
ඉපැරැණි බුද්ධ ප්‍රතිමා මන්දිර සහ රජ මාලිගාවල ප්‍රවේශස්ථානයේ පාපිස්නක ආකාරයට ඉදිකර ඇති ශෛලමය කැටයම් පුවරුවක් මේ නමින් හැඳින්වෙයි. අර්ධ කවාකාර ගල් පුවරුව අනුරාධපුර ශිල්පීන්ගේ කලා කුසලතාවයෙහි අගය පිළිඹිබු කරන සංකේතයකි. සඳකඬ පහන මත නෙලා ඇති අලංකාර රූ කැටයම් අතර ඇති, අශ්වයා, ගවයා හා සිංහයා සහ හංසයන්ද ඉතා කලාත්මක ලෙස කැටයම් කොට ඇත. සජීවි සතුන්ගේ හැඩය ගමන් විලාසය ආදී ලක්‍ෂණ ඉතා විශිෂ්ට නිර්මාණ ලෙස හැඳින්විය හැකිය.

ප්‍රශ්නය
මහින්දාගමනයෙන් පසු මෙරට බිහිවූ මුල්ම බෞද්ධ අධ්‍යාපන ආයතනය කුමක්ද?

පිළිතුර
අනුරාධපුර මහා විහාරයයි.

ප්‍රශ්නය
ඉපැරණි රාජසම්ප්‍රදාය අනුව දළදා වහන්සේගේ භාරකාරත්වය තිදෙනෙකුට පැවරී තිබේ. මේ තිදෙනා කවුද?

පිළිතුර
මල්වතු අස්ගිරි මහනායක හිමිපාණන් වහන්සේලා දෙනම දියවඩන නිලමේතුමා ද මහනුවර දළදාවහන්සේ ගේ භාරකාරත්වය උසුලනු ඇත.

ප්‍රශ්නය
රජගහනුවර බිම්සර මහරජුගේ අගමෙහෙසිය වූ “ඛෙමා” බුදුරජාණන් වහන්සේ වෙතින් මහා නිදාන සූත්‍රය අසා මගඵල ලබා රජුගෙන් අවසරගෙන මෙහෙණි සස්නෙහි පැවිදි වූවාය. මෙහෙණි සස්නෙහි ඇය ලැබූ තනතුර හා බුදුරදුන් වෙත පැමිණි සුවිශේෂ ශ්‍රාවිකාවකි. පැහැදිලි කරන්න.

පිළිතුර
රූප මදයෙන් මත්වූ ඛෙමා අගමෙහෙසිය බිම්සර මහරජුගේ උපක්‍රමයෙකින් දිනක වෙළුවන විහාරයට ගොස් බුදු රදුන් හමුවීම සඳහා කැමැත්තක් දැක්වූවාය.

බුදුරජාණන් වහන්සේ ඛේමාවන් එනු දැක තමන් වහන්සේට පවන් සලන රූමත් කාන්තාවක් මැවූහ. එවිට ඛේමා බුදු රදුන් වෙත පැමිණ මැවූ රූපය දෙස බලා සිටියදීම ඒ රූ සිරින් යුතු තැනැත්තිය මැදි වයස ඉක්මවා මහලු වියට පැමිණ ක්‍රමයෙන් දිරාපත්ව පවන් සෑලු විජිනි පත අතහැර පොලොව මත ඇදවැටුණු සැටි ඛේමා දුටුවාය. එයින් රූප මදය නැතිවූ බව බුදු රජාණන් වහන්සේ දැන දහම් දෙසීමෙන් මගඵල ලබා මෙහෙණි සස්නෙහි පැවිදිව මහාප්‍රාඥී භික්‍ෂුණීන් අතරෙන් අගතැන් පත් වූවාය.

ප්‍රශ්නය
“උපාදානයන්” මුළුමනින්ම නසාලූයේ “අනුපාදාය නිබ්බුත” නම්වේ. මෙහි සඳහන් උපාදාන යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
දැඩිව ගැනීම” “අල්ලා ගැනීම” උපාදාන නම්වේ. රූප ශබ්දාදී අරමුණු දැඩිව ගැණීම් වශයෙන් එහි රස විඳීම කළ බලවත්වූ තෘෂ්ණාව අරමුණෙහි නාමයෙන්ම උපාදානයන්ද හඳුන්වනු ලැබේ. එබඳු උපාදාන – 04ක් ධර්මයෙහි සඳහන් වෙයි.

1. කාමුපාදාන
2. දිට්ඨුපාදානය
3. සීලබ්බතැපාදානය
4. අත්තවාදාපාදාන
මේ උපාදානයන් සහමුලින් නසාලූයේ “අනුපදාය නිබ්බුත “ නම්වේ.

ප්‍රශ්නය
ධම්මපද ග්‍රන්ථයෙහි බ්‍රාහ්මණ වර්ගයෙහි පළමු ගාථාවෙහි දෙවන පාදය මෙසේ සඳහන් වෙයි.

“සංඛාරානං ඛයං ඤත්වා
අකතඤ්ඤු” අසි බ්‍රාහ්මණ
“බ්‍රාහ්මණය! සංස්කාරයන්ගේ විනාශය දැන අකෘතඥයෙක් වන්න”

මෙම පාඨය ධර්මානුකූල විවරණයකින් දහම් ගැටලු කිහිපයක් අනාවරණය කර ගත හැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර
සංඛාර නම් පංචස්කන්ධ යයිද එහි විනාශය (නැතිවීම) විදර්ශනා ඥානයෙන් (අනිත්‍ය,දු:ඛ, අනාත්ම ලෙස) දැන “අකෘත” නම් වූ නිවන අරමුණු කිරීම් විසින් දැකීම හේතුවෙන් “(දැනීම් හේතුවෙන්) අකෘතඥ” නම් වන්නේය.

නිවන සංස්කාර හේතුවෙන් හටගත්තක් නොවේ. (අකතං අභූතං අසං කතං අජාතං අමතං) ආදී වශයෙන් කර්‍තෘකාරකයෙක් නැත.

එහෙයින්ම අකෘතය. ප්‍රත්‍යයන්ගේ බලයෙන් ප්‍රත්‍යයන්ගේ එක්වීමෙන් හටගත් ලොව ඇති තාක් සජීවාජීව වස්තූහු සියල්ල සංස්කාර නම් වෙයි.

සංස්කාරයන්ගේ විනාශය වනතුරුම සත්වයා භවයෙන් භවය උපත ලබමින් ගමන් කරන්නේය. සංස්කාර අකතන්ඤු යන වදන්හි ධර්මානුකූ®ල විවරණයන් නිවැරදිව වටහාගැනීම ධර්මාවබෝධයයි.

ප්‍රශ්නය
බුදු දහමෙහි “සුඛ” පාලි වචනයෙන් සැප යන්න අවධාරණය කෙරේ. ලෝකෝත්තර පරමසුවය “නිබ්බාණං පරමං සුඛං” නිවනයි. එහෙත් සාමාන්‍ය ලෞකික දිවි පෙවෙතට අනුව “සුඛ” යන්න විචිත්‍ර වූ විවිධ වූ සටහන් දේශනා පාලියෙහි ඇතුලත්ව ඇත. එබඳු අවස්ථා කිහිපයක් සටහන් කරන්න.

පිළිතුර
බුදු දහම පරම සැපත නිවන් සැප බව අවධාරණය කරතත් එතෙක් සාමාන්‍ය ජීවිතයෙහි දී හමුවන සැප ප්‍රතික්‍ෂේප කර නොමැත. එබඳු “සුඛ” හෙවත් සැප දොළොසක් මෙසේ දේශනාවන්ට ඇතුලත්ව ඇත.

1. අත්ථම්හි ජාතම්හි සුඛා සහායා
කටයුත්තක් ඇතිකල යහළුවන් සහාය සැපතකි.

2. තුට්ඨී සුඛායා ඉතරීතරෙන.
තම සන්තකයෙන් සතුටක් ලබයි.

3. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි
මරණය ළං වූවිට කළ පින් සැප පිණිස වේ.

4. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං
සියලු දුක් නැසීම සැප පිණිස වේ.

5. සුඛා මත්තෙය්‍යතා ලොකෙ
මවට සැලකීම් උතුම් සැපයකි

6. අථො පෙත්තෙය්‍යතා සුඛා
පියාට සැලකීම උතුම් සැපයකි

7. සුඛා සාමඤ්ඤතා ලොකෙ
මහණුන්ට මනාසේ පිළිපැදීම සැපයකි.

8. අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා
රහතුන් වහන්සේ කෙරෙහි මනා සේ පිළිපැදීම උතුම් සැපයකි.

9. සුඛං යාව ජරා සීලං
මහලුව මරණය තෙක් සිල්වත් වීම සැපයකි.

10. සුඛා සද්ධා පතිට්ඨිතා
ශ්‍රද්ධා වෙහි පිහිටීම සැපයකි.

11. සුඛා පඤ්ඤාය පටිලාභො
නැණවත් බව සැපයකි

12. පාපානං අකණං සුඛං
පාපයෙන් වෙන්වීම සැපයකි


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.