Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම පවසන නිවීමේ සැපත ‘කල් දැමීමක්’ අවශ්‍ය නෑ!

සමහර විද්වත් භික්ෂූන් වහන්සේ පවා ගිහියන්ට ආශිර්වාද කරන අවස්ථා වලදී “දෙව් මිනිස් සැප කෙළවර මෛත්‍රී බුදුන් දැක නිවන් සැප ප්‍රාර්ථනා කරනවා දැක ඇත. මෙහිදී මතුවන ප්‍රශ්න ගණනාවකි, එනම්අති විශිෂ්ට ප්‍රඥා ගෝචර සදාකාලයටම ගැලපෙන සත්‍ය ධර්ම දේශනා කළ ගෞතම හිමියන් ගේ දේශනාව අනුව මෙකල බෞද්ධයන්ට නිවන් දැකීමට බැරිද?මෛත්‍රී බුදුරදුන් දැක නිවන් දැකීමට බෞද්ධයන් පොළඹවා “නිවන” කල් දමන්නේ ඇයි?යහපත් නුවණ ඇත්තේ, පමා වූවන් අතරෙහි නොපමා වූයේ, කෙළෙස් නින්දෙන් නිදි ගත්තවුන් අතරෙහි බොහෝ කොට නිදි වැරුම් ඇත්තේ, ඒ පමා වූ නිදිගත් පුද්ගලයන් පසුකොට නිවන් පුරයට යයි. ඒ අනුව මෙකල නිවන් දැකිය හැකි ය.

මෛත්‍රී බුද්ධ සංකල්පය පිළිබඳ වර්තමානයේ බොහෝ බෞද්ධයන් සාකච්ඡා කිරීමට සිතීමට, කියවීමට,දේශන වලට ඇහුම්කන්දීමට උනන්දු වන බව පෙනෙන්නට ඇත. එසේම විවිධ විද්වත් භික්ෂූන් වහන්සේ පවා මේ සම්බන්ධ විවිධ ආගමික වැඩසටහන්, ධර්ම දේශනා විවිධ මාධ්‍ය තුළින් ප්‍රචාරය කරනු දැක ඇත.

මෛත්‍රී බුද්ධ සංකල්පය පිළිබඳ කිසිඳු විවාදයක් නැත. අනාගතයේ දී මෛත්‍රී නමින් බුදුවරයකු පහළ වන බව ගෞතම බුදු හිමියන් විසින් ම දේශනා කර තිබේ. මෙහිදී මතුවන වැදගත්ම ප්‍රශ්නය නම් අප වත්මන් බෞද්ධයන්ට නිවන් දැකීම සඳහා මෛත්‍රී බුදුන් පහළ වන තුරුම සිටීම අවශ්‍යද? යන්නයි.

සමහර විද්වත් භික්ෂූන් වහන්සේ පවා ගිහියන්ට ආශිර්වාද කරන අවස්ථා වලදී “දෙව් මිනිස් සැප කෙළවර මෛත්‍රී බුදුන් දැක නිවන් සැප ප්‍රාර්ථනා කරනවා දැක ඇත. මෙහිදී මතුවන ප්‍රශ්න ගණනාවකි, එනම්

අති විශිෂ්ට ප්‍රඥා ගෝචර සදාකාලයටම ගැලපෙන සත්‍ය ධර්ම දේශනා කළ ගෞතම හිමියන් ගේ දේශනාව අනුව මෙකල බෞද්ධයන්ට නිවන් දැකීමට බැරිද?

මෛත්‍රී බුදුරදුන් දැක නිවන් දැකීමට බෞද්ධයන් පොළඹවා “නිවන” කල් දමන්නේ ඇයි?

ලොව නිවන් නොදුටු පුද්ගලයන්ගේ ප්‍රමාණය අතිවිශාල ය. නිවන් දැකීම පහසු සරල දෙයක් වුවා නම් ලෝකය ජනතාවගෙන් හිස්වනු ඇත. ලෝක සත්වයෝ අනන්ත ය, අප්‍රමාණ ය. මෙහි සත්වයෝ යනු දේව, බ්‍රහ්ම, මිනිස් , තිරිසන්, භූත, පේ‍්‍රත ආදි සියල්ලෝ ය. එක් බුදුවරයකුගේ කාලයේ නිවන් දකිනා අය උපමා කර ඇත්තේ මහා සාගරයට කෙස් ගසක් දමා එහි අගට එන දිය බිංදුවකටයි. නිවන් නොදැක ලොව ඉතිරිවන සත්ව සමූහයා මහා සාගරයේ ඉතිරිවන ජලස්කන්ධයට සමාන බවයි.

බිංදුව බිංදුව ඉවත් කිරීමෙන් සාගරයේ ජලයෙහි අඩුවක් නොපෙනෙන්නා සේ නිවන් නොදකින සත්වයින්ගේ අඩුවක් නොපෙනෙන බවයි. ප්‍රශ්නය නිවන් දැක සසරින් එගොඩ වන පුද්ගලයන් ගැන නොව, නිවන් දැකීමට නොහැකිව සිටින පිරිස ගැන ය.

ගෞතම බුදු හිමියන්ට සවන් දෙමු

අප්පමත්තෝ පබත්තේසු
සුත්තේසු බහු ජාගරෝ
අබලස්සබච සීඝස්සෝ
හිත්වා යාති සුමේධසෝ

යහපත් නුවණ ඇත්තේ, පමා වූවන් අතරෙහි නොපමා වූයේ, කෙළෙස් නින්දෙන් නිදි ගත්තවුන් අතරෙහි බොහෝ කොට නිදි වැරුම් ඇත්තේ, ඒ පමාවූ නිදිගත් පුද්ගලයන් පසුකොට නිවන් පුරයට යයි. එසේම මෙකල නිවන් දැකිය හැකි ය.

නිවන් දැකීමට පෙර අවබෝධ කරගත යුතු මාර්ගඵල හතර බෞද්ධයන්ට අලුත් දෙයක් නොවේ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන්න ඒ මාර්ග ඵල හතරයි. නිවන් අපේක්ෂා කරන්නන් මේ මාර්ග ඵල හතර අවබෝධකරගත යුතුය. සම්පූර්ණ කළ යුතුය. ඉතාම සරලව දක්වතොත් සෝවාන් වීමෙන් සිදුවන්නේ කුමක්ද? මේ සසර බැඳ තබන සංයෝජන තුනක් නැතිකර ගැනීමයි. කුමක්ද මේ සංයෝජන ධර්ම මමය , මාගේය යන ගන්නා වූ සක්කාය දිට්ඨියද , සසර පැවැත්මත් නිර්වාණයත් ගැන සැක සිතන විචිකිච්ඡාව ද සීල සහ ව්‍රත පිළිබඳ වැරැදි නිගමන සහිත සීලබ්බත පරාමාසය ද සෝවාන් වීමෙන් අවසන් වෙයි.

සකෘදාගාමි වීමේදී කාම තෘෂ්ණාව ද ද්වේෂය තුනී වෙයි. මෙහි කාම තෘෂ්ණාව යනු ඇස, කණ , දිව , නාසය , ශරීරය යන පංච ඉන්ද්‍රියන් පිනවීම සඳහා කරන විවිධ ආකාරයේ ක්‍රියායි.

අනාගාමී වීමේදී ඉහත තත්ත්වය සම්පූර්ණයෙන් නැති වෙයි. සෝවාන් සකෘදාගාමි අනාගාමී උතුමෝ සසර බැඳ තබන භව තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහීන නොකළ හෙයින් තවදුරටත් සසර වෙසෙති. එහෙත් අපායගාමි නොවෙති. එතුමෝ රහත් වී පිරිනිවීමට නියත වුවෝය. රහත් වීමේදී තණ්හාවේ ඉතිරි කොටස් වන රූප , රාග, අරූප රාග සහ ඉතිරි සංයෝජන වන මාන, උද්ධච්ඡ , අවිජ්ජා , දුරු කර ගනිති. මෙවැනි උතුමෝ මරණින් මතු නිවනට පත්වන උතුමෝයි.

මේ තත්ත්වය අවබෝධ කරගෙන මෙකල මිනිසුන්ට මාර්ග ඵල ලැබීම හෝ නිවන් දැකීම කළ නොහැකිද? අසවල් කාලයේ මාර්ග ඵල ලැබිය හැකිය. අසවල් කාලයේ නොලැබිය හැකිය. යනුවෙන් මඟ ඵල ලැබීම පිළිබඳ කාල විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර නැත. උන්වහන්සේ පිරිනිවන් පාන දිනයේ සුභද්‍ර නම් තරුණයාට මෙසේ පැවසූහ. සුභද්‍රය මේ භික්ෂූන් මනා කොට වෑයම් කෙරෙත් නම් ලෝකය රහතන්ගෙන් හිස් නොවූවක් වන්නේය මේ දේශනාවේ හැටියට තේරුම් ගත යුතු වන්නේ මඟ ඵල ලබන ප්‍රතිපත්තිය හරියට පිළිපදින ගිහියනට හෝ පැවිදි පක්ෂයට මඟ ඵල වලට පැමිණිය හැකි බවයි.

බෞද්ධයන්ට අලුත් දෙයක් නොවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව පිළිවෙත් පුරා මග ඵල ලබන පුද්ගලයින් කලින් කලට අඩු වැඩි වන බව නම් කිව හැකිය. මඟ ඵල ලබන අය යම් කාලයක නැති වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැතිවීමෙන් නොව ඒ අනුව පිළිපදින අය නැතිවීමෙනි.

අංගුත්තර නිකායේ අට්ඨක නිපාත වර්ණනා වේ සඳහන් පරිදි මේ කාලයේදී අනාගාමි ඵලයට පැමිණිය හැකිය. එසේම ඉදිරි වසර වලදී සකෘදාගාමි සෝවාන් මඟ ඵල ලාභීන් බිහිවිය හැකිය. සෝවාන් ඵල ලැබූ අයෙකු ට ආත්ම හතකින්ද සකෘදාගාමි මඟ ඵල ලාභීන් ට ආත්ම තුනකින්ද අනාගාමී මඟ ඵල ලාභීන් ට එක් ආත්මයකින්ද පසු, නිවන් දැකිය හැකි බව දක්වා ඇත.

අප බුදු හිමිට අනුව උත්සාහය ඇත්නම්, කළ පින් තිබේ නම් නිවන් දැකීමේ භාග්‍යය අපට ඇත. එසේ තිබියදී දෙව් මිනිස් සැප කෙළවර මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීම ප්‍රාර්තනා කරන්නේ ඇයි? බෞද්ධයා එම තැනට පොළඹවන්නේ ඇයි? දෙව් මිනිස් සැප විඳිනවිට මේ සසර කොතෙක් දික් වේදැයි කාට නම් කිව හැකි ද? කිනම් ආත්මවල උපදී දැයි කාට නම් කිව හැකිද? මිනිසාට සිතීමට ශක්තියක් දී තිබියදීත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් මාර්ගය පෙන්වාදි තිබියදීත් ඇයි අප නිවන කල් දමන්නේ?

අද කළ යුතු දෙය හෙටට කල් දමන පුද්ගලයෝ අප සමාජයේ බහුලව සිටිති. කල් දමන පුද්ගලයාට ජීවිතයේ අරමුණක් නැත. ඉලක්ක නැත. බොහෝ විට මෙවැනි අය හෙට දිනයේදීද එම වැඩය නොකරති. කල් දමන හේතු විමසා බැලුවහොත් බොහෝ විට දක්නට ඇත්තේ කම්මැලිකමයි. අද වර්ෂාව, අද අව්ව වැනි විවිධ හේතුන් හේතුන් ඔවුන් දක්වන බව පෙනෙයි. නිවන කල්දැමීමට ප්‍රධාන හේතුවද මෙයට සමානය. දෙව් මිනිස් සැප විදීමට වේද එය කරන්නේ? දේව් මිනිස් සැපද පංච ඉන්ද්‍රිය පිනවීමකි. පංච ඉන්ද්‍රිය පිනවීමේ අවසානය කොතැනදී සිදුවේද?

බුදු හිමියන්ට සවන් දෙමු” වය ධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ”

හේතු ප්‍රත්‍ය නිසා හටගන්නා සංසාර ධර්ම වෙනස්වන නැසෙන හෙයින් අප්‍රමාදව කුසල්හි හැසිරෙන්න යනුවෙන් දෙසු බුදුපියාණන්ගේ වචනයට පිටුපා අපි දෙව් මිනිස් සැප කෙළවර මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීම ප්‍රාර්ථනා කරන්නේ ඇයි? මෙය පසුගාමී අදහසක් මෙන්ම, භාව තණ්හාවෙන් මුලාවීමකි.

කල් දැමීමට දීමට හේතුව පංච කාම සම්පත්ති වලට මිනිසා පෙළඹී තිබීම බව ම කලිනුත් සඳහන් කළෙමි. කාම සම්පත් මාරයාගේ පළමු සේනාව හැටිය බුදු හිමි පෙන්වා ඇත. එම තථාගත දේශනාවට අනුව පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ , ශාසන ධර්ම මාර බලය මැඬලීමට හැකි අසහාය බලය වෙයි. එහි පර්යාප්තියට වඩා ප්‍රතිපත්තියේද ප්‍රතිපත්තියට වඩා ප්‍රතිවේධයේද බලය අධික වෙයි. ප්‍රතිවේධ ධර්ම අතහැර පර්යාප්තියෙන්ද ප්‍රතිපත්තියට වඩා ප්‍රතිවේධයේද බලය ප්‍රතිවේධ ධර්ම අතහැර පර්යාප්තියෙන් පමණක් එවැනි මාර බලවේග මැඩලීමට යාම නිසා පර්යාප්තිය හුදකලාව තනිවී ඇත. නිවන කල් දැමීමට මෙවැනි කරුණුද බලපා ඇත. නැවත බුදුහිමියන්ට සවන් දෙමු.

ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ, එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ හීති”

ධර්මය බුදු හිමියන් විසින් ඉතා හොඳින් දේශනා කරන ලද්දකි. ඒ ධර්මය අත්දැකිය හැකි ගුණයෙන් යුක්තය. කල් නොගොස් එවෙලේම ඵල ලැබිය හැකි ගුණයෙන් යුක්තය. මේ බලන්න යැයි පෙන්විය හැකි ගුණයෙන් යුක්තය. නිතර සිතින් පුරුදු කළ යුතු ගුණයෙන් යුක්ත ය. නුවණැත්තන් විසින් දත යුතු ගුණයෙන් යුක්ත ය. මේ අනුව නිවන් දැකීම කල් දැමිය යුත්තක් නොවේ. කල් නොගොස් ඵල ලැබිය හැකි පිළිවෙතකි. දහමෙයි සඳහන් වන්නේ.

නිවන කල් දැමීමට තවත් හේතු ඇත. ‘විඳීම් ‘ සැපය ‘නිවීම්’ සැපය යනුවෙන් සැප ජාති දෙකක් ඇත. මෙයින් ‘විඳීම්’ සැපය ලෞකික වන අතර ‘නිවීම් ‘ සැපය ලෝකෝත්තර වෙයි. මිනිසා සිතන්නේ විදීම් සැපය සදාකාලික බවකි.

හැමදාම සැප විඳිනවා , සදහටම සැප විඳිනවා මුලු ජීවිත කාලයම වින්දේ සැප යනුවෙන් පවසන්නේ, එබැවිනි, තථාගත දේශනාව හරිහැටි අවබෝධ කර නොගත් ජනයා උතුම් කොට සලකන්නේ විඳීම් සැපයයි. නිවීම් සැපය හෙවත් සංසිඳීම් සැපය ගැන ඔවුන්ට එතරම් වැටහීමක් නැත. විඳීම් සැපය පවතින්නේ ඒවා විඳිමින් සිටින තෙක් පමණි. ඉන් පසු එය නැත. විඳින්නා වූ සෑම සැපයක්ම නැතිවීමෙන් දුක ඇතිවේ. එබැවින් බුදු හිමියෝ යං කිංචි වෙදයිතං සබ්බත්නං දුක්ඛස්මි. යනුවෙන් යම් විඳීමක් වේ නම්, ඒ සියල්ල දුක් යැයි වදාළ සේක. විඳීම් සැපයක් නිවනේ නැත.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.