Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල - 7 වන කොටස

29. අප්පමත්තො පමත්තේසු සුත්තේසු බහුජාගරො
අබලස්සං ව සීඝස්සෝ හිත්වා යාති සුමේධ සො

සැදැහැ ඇති තැනැත්තා - පමා වන්නන් අතර, නොපමාව නිදිවරා, බණ භාවනා කරයි. බලැති අසු ජය කණුව, වෙත ළඟා වන ලෙසින්, අමා මහ නිවන් සුව, ඔහු ලබා ගන්නේ ය.

හිතවතුන් අලස නැති - දිරිය ඇති තැනැත්තෝ - දිවා රෑ නිදිවරා, නොපමාව වෙහෙස වෙති. ඒ අනුව දියුණුවේ හිණි පෙළේ ඉහළ නැග, ජීවිතේ සරසාර - බව දකිති. සැප විඳිති.

30. අප්පමාදෙන මඝවා දෙවානං සෙට්ඨතං ගතො
අප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා

මඝ’ තෙමේ නොපමාව - කළ පිනෙන් දෙව් ලොවේ- සක් දෙවිඳු පදවි ලැබ - මහත්, සැප වින්දේ ය. ‘පමාවට’ හැම දෙනා- ගැරහුම් කරන්නෝ ය. නොපමාව‘ බුදුන්ගෙන් පැසසුම් ලබන්නේ ය.

හිතවතුනි, දිරිය ඇති නිතර පරහිත කැමැති, තැනැත්තේ උසස් වූ පදවි ලැබ ගන්නෝ ය. කළයුත්ත කළ යුතු ම වෙලාවට කරන්නා, අසල්වැසියන් අතර පෙරමුණ ලබන්නේ ය.

31. අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සි වා
සංයෝජනං අණුං ථූලං ඩහං අග්ගීව ගච්ඡති

යම් කෙනෙකු ‘පමාවේ’ වරද ගැන දැන ඉගෙන නිරතුරුව නොපමාව - තුන්දොර ම රකී නම් / කෙලෙස් කුණු රොඩු දවන - මහා ගින්නක් සෙයින් - සියලු කෙළෙසුන් නසා - ඔහු නිවන්සුව ලබයි.

හිතවතුනි නිරතුරුව - පලක් ඇති වැඩක්ගැන - සිත යොදන තැනැත්තා - නිසැකව ම ජය ලබයි. කෙබඳු බාධාවකින් - වුව ද පසු නොබස්නා - තැනැත්තෝ ලෝකයේ - පෙරමුණට එන්නෝ ය.

32. අප්පමාදරතො භික්ඛු පමාදෙ භය දස්සි වා
අභබ්බො පරිහාණාය නිබ්බාණස්සේව සන්තිකේ

යම් නුවණ ඇති කෙනෙකු, පමාවේ වරද දැක - නොපමාව තුන්දොරින් - කුසල් රැස් කරයි නම්/ ඔහු දෙලොව ජීවිතය මනා සේ ගත කරයි. අන්තිමට අමා මහ නිවන් සුව විඳ ගනී. හිතවතුනි, ලෝකයේ , ඉරක් යට සඳක් යට, දිවි ගෙවන විට අපට ගැටලු මතු වන්නේය. දිරි ඇතිව අනලස්ව - නැණ ඇතිව නොපමාව - ඒ ගැටලු ලිහන්නට - වෙහෙස ගත යුත්තේ ය. මෙලොව පරලොව දෙකේ - සැප සතුට සැදෙන මග - ඒ ගැටලු විසඳීම - තුළින් බිහි වන්නේ ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.