Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘මවුපියන්ට සැලකුවොත් දරුවකුට වරදින්නේ නෑ’

අප කාගේත් පිහිටට , පිළිසරණට නිතර සිටිනා දෙදෙනෙක් ඇත්නම් ඒ මවත් පියාත් යන දෙදෙනායි.අටලෝ දහමට මුහුණ දෙමින් දරුවන් අත්නොහැර, ඔවුන් සමඟම ජීවත්වීමට නිරන්තරයෙන් උත්සාහ කරන්නේ, ඔවුන් දෙපළයි. මවුපියන්ගේ වටිනාකම පිළිබඳ මොහොතක් අප කල්පනා කළ යුතුව ඇත. බුද්ධ දේශනාව තුළින් මවුපිය වටිනාකම් පිළිබඳ කරුණු රැසක් හෙළිවෙයි.

මහා බ්‍රහ්මයාට ඇති ගුණ හතරක් ලෙස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගුණ හතර හැඳින්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, එම ගුණ හතර මවුපියන් ළඟ තිබෙන බවයි. ගෙදර බුදුන් ලෙස සැළකෙන්නේ මවුපියනුයි. “බ්‍රහ්මාති මාතා පිතරෝ” යනුවෙන් සඳහන් කළේ මහා බ්‍රහ්මයාට මවුපියන් සමාන බවයි. ඊට අමතරව මවුපියන් ළඟ ආහුනෙය්‍ය (දරුවන් වෙනුවෙන් විඳි දුක නිසා දරුවන් විසින් වෙහෙස මහන්සි වෙලා සැලකීමට සුදුසු බව යන ගුණය ද, පජාය අනුකම්පකා (දරුවන්ට ආදරය නිසා දරුවන්ගෙන් වන කරදර පැමිණි කළ ඒවා ආදරයෙන් ඉවසීම) යන ගුණය ද දක්නට ලැබේ. අජාසත්ත කුමාරයාට බිම්බිසාර රජතුමා සැළකූ ආකාරය, පජාය අනුකම්පාය ගුණය ඉස්මතු කරන සිදුවීමකි.

“ලෝකය ලස්සන වන්නේ හිරුගේ රැස්වලින් හා මවගේ කිරිවලින් “ යැයි මැක්සිම් ගෝර්කි සඳහන් කර ඇත. ඊට වසර දෙදහසකට ඉහත දී බුදුරජාණන් වහන්සේ මව්පියන්ගේ වටිනාකම ලෝක සත්වයා වෙත වදාළහ. ඕනෑම අම්මා කෙනෙකුගේ රතු රුධිරය කිරි බවට පත්වන්නේ දරුවාට තිබෙන අපමණ ආදරය සෙනෙහස නිසයි. අද කොතරම් දියුණු තාක්‍ෂණයක් තිබුණත් රුධිරය දමා කිරි එන යන්ත්‍රයක් බිහිවෙලා තිබෙනවාද? එය සිදුවන්නේ දරුවාට තිබෙන අසීමිත ආදරය නිසයි. නැතිව ශරීරයේ කිරි කියල වෙනම කොටසක් නැහැ. දස මාසයක් දරුවෙකු කුසෙහි රඳවාගෙන ඉදල අපමණ දුක් විදලා මවක් දරුවන් මේ ලෝකේට බිහි කරනු ඇත .ඒ සියලු දුක් වේදනා දරුවන් වෙනුවෙන් ඉවසනවා නොවේද?

පියා ගත්විට දරුවන් ලොකු මහත් කරන්න දරුවන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම් පොත්පත් ලබාදෙන්න, මොන තරම් වෙහෙසක් මහන්සියක් වෙනවාද? දහඩිය බිංදු දහස් ගණන් පොළොවට වගුරවල දෑතේ කර ගැට එනතුරු පොළොවත් සමඟ පොර බදලා කැත්තේ උදැල්ලේ වැඩ කරන්නේ, ඹච් රක්‍ෂා කරන්නේ, දුවා දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න නොවේද? එසේ නම් මව්පිය දෙපළ දූ දරුවන් වෙනුවෙන් විඳින වේදනාව අනන්තයි. අප්‍රමාණයි නොවේද? ඒ බව අපි මතක තියා ගැනීම හා අගය කිරීම කළ යුතුයි නේද?

මවුපියන්ගේ වටිනාකම බුදුරජාණන් වහන්සේ තරම් ලෝකයට කියා දුන්න ඒ පිළිබඳ වර්ණා කළ අගය කළ ශාස්තෘවරයෙක් තවත් නැති තරම්ය. උන් වහන්සේ තම මවුපියන්ට උපස්ථානය කළ ආකාරය පැහැදිලි වේ. මවට තව්තිසා දෙව් ලෝකයට වැඩම කර අභිධර්මය දේශනා කිරීම තුළින් සිදුකළේ මවගේ ගුණ අමතක නොකිරීමේ ස්වභාවයයි. පියාට රජමාලිගාවට ගොස් දෑතින් ම හිස අතගා ආශීර්වාද කිරීම ද මවුපියන්ගේ අවසරයක් නැතිව දරුවන් පැවිදි නොකරන ලෙස විනය ශික්‍ෂාවක් පැනවීමද පියාට කළ උපස්ථානයක් ලෙසින් හැඳින්වීමට පුළුවන.

සුද්දෝධන රජතුමා සිදුහත්, රාහුල , නන්ද ආදි කුමාරවරුන්ගේ දරු සුරතල් බලමින් සිටියදී ඔවුන්ට පැවිදි වීමට අවස්ථාව උදා විය. එසේ දරු මුණුපුරන්ගේ වෙනස්වීමත් සමඟ සිතේ ඇති වුන දුක ප්‍රකාශ කළේ දරු සෙනෙහස වනාහි සිවියත්, සමත්, නහරත්, ඇටත් විනිවිධ ගොස් එයින් නොනැවතී ඇට මිදුළු වල හැපී පවතී යනුවෙනි. මේ බව මහා වග්ග පාලියේ සඳහන් කොට ඇත. දෙමාපියන්ට දරුවෝ අහිමි වීමත්, දරුවන්ට දෙමාපියන් අහිමි වීමත් තරම් දුකක් වේදනාවක් තවත් නොමැත.

මුළු ලෝකයටම දරුණු මිනීමරුවෙක් වූ අංගුලිමාල තම මවට එකම පුතා විය. ඒ නිසාම පුතා සොයාගෙන ගියේ අපමණ දරු සෙනෙහසක් ඇතිවයි. දරුවෝ මුලු මහත් සමාජයටම එපා වුවත් දෙමාපියන්ට මැණිකක් සේ අගනේය. එය අන්‍යේන්‍ය වශයෙන් බැදී පවතින බැවිනි. ඒ නිසාම දරුවන් විසින් කරුණු පහකින් දෙමාපියන්ට සැලකිය යුතු බව සි¼ගාලෝවාද සූත්‍රයෙන් දේශනා කර ඇත.

01. භතෝ තේසං පරිස්සාමි
(මව්පියන් පෝෂණය කිරීම)

2. කිච්චං තේසං කාරිස්සාමි
(මව්පියන්ගේ කටයුතු ඉටුකිරීම)

03. කුලවංසං ඨපෙස්සාමි
(කුල වංශය රැකීම)

04. දායජ්ජං පටිපජ්ජෙස්සාමි
(මව්පියන්ගෙන් ලැබෙන දායාද ආරක්‍ෂා කිරීම)

05. කාල කතානං පේතානං පුඤ්ඤං අනුපදස්සන්ති
(මව්පියන් මළ කල්හි ඔවුන්ට පිං පෙත් පැමිණවීම)

ඉහත කරුණු පහ පිළිබඳ දූ දරුවන් අවධානය යොමු කළ යුතුය. දූ දරුවන්ගේ ලෝකය ගොඩනගන්නට උර දුන්නේ මවුපියන් බව අමතක නොකළ යුතුය. මවුපියන්ට වැඳ නමස්කාර කිරීම හොඳ ගුණවත් දරුවන්ගේ සිරිතකි. ගමනක් යන විට වුවද මවුපිය ආශිර්වාදය ලබාගැනීමට හැකිනම් එය ඹ්ෂතයට ශාන්තිය පිණිස පවතී. කාව්‍යශේඛරයෙ සඳහන් වෙනව, පුංචි සේනක කුමරු, ශිල්ප ඉගෙනීමට පළමු දෙමාපියන්ට වැද සමස්කාර කළ ආකාරය පිළිබඳව,

දෙමවු පිය සිනෙ හැති
වදිනුව පා පියුම් පෙති
එකුමරු නැමී ගති
ඔවුන් කදුලෙන් පිට තෙම් ගති

එසේ වදිනකොට දෙමාපියන්ගේ ඇස් වලින් සතුටු කඳුළු ගලා එයි. එම කුමරාට ආශිර්වාද පිණිස ඒවා පවතී. තවද මාගේ පුතාට තුනුරුවන් සරණයි හෝ මගේ දුවට තුනුරුවන් සරණයි ආදි වශයෙන් සඳහන් කිරීමද දෙමාපියන්ගේ හදවතින් සිදුකරන්නක් බව අමතක නොකළ යුතුය. එය ලබා ගැනීමට දුවා දරුවන් උත්සාහවන්ත විය යුතුය. මවුපියන්ට උපස්ථාන කිරීම මංගල කරුණක් හැටියට “ මාතා පිතූ උපට්ඨානං “ යනුවෙන් දේශනා කොට ඇත. එසේම වයසට ගිය මවත් පියාත් පෝෂණය නොකරන තැනැත්තා වසලයෙක් බව.

“යො මාතරං වා පිතරංවා
ජින්නකං ගත යොබ්බනං
පහුසන්තො න භරති
තං ජඤ්ඤ වසලො ඉති”
යන ගාථා ධර්මයෙන් දේශනා කළහ.

අද නොයෙක් මාධ්‍ය තුළින් සමහර දෙමාපියන් දරුවන් කසළ ගොඩට විසිකර යන කතා ද අසන්නට ලැබෙනු ඇත. එසේ වුවද බුදුරජාණන් වහන්සේ උග්න්වා වදාළ උතුම් ගුණ ඇති මව්වරු පියවරු කවදාවත් එසේ නොකරති. කාමයට ගිජු වූ කාන්තාවන් දුර දිග නොබලා සිදුකර ගන්නා දේවල් වල ප්‍රතිඵලය දරුවන් ලැබීමය. එසේ වුවද ඔවුන්ට දරුවන්ගේ වටිනාකමක් හෝ මව් පදවියේ වටිනාකමක් ඒ නිසා දරුවන් විකිණීම හෝ දරුවන් කුණු බක්කිවලට දමා යෑම ඔවුන්ට සුළු පටු කරුණකි. මවුපියන් දරුවන්ට කර ඇති කැපකිරීමට දරුවන් විසින් කොතරම් වෙහෙස මහන්සි වී සැලකුවත් එයට සමාන නොවන බව දේශනා කොට ඇත.

එසේ වුවද යම් කිසි විධියකින් මව්පියෝ නොමඟ ගොස් ඇත්නම් ඔවුන් සුමඟට ගැනීම තුළින් ඔවුන්ට සැළකුවා වන්නේය. ශ්‍රද්ධා, ශීල, ශ්‍රැති, ත්‍යාග , ප්‍රඥා ගුණවලින් තොර දෙමාපියන් ඒ ගුණ වලට පත්කිරීමට යම් කිසි දුවා දරුවෙකුට හැකියාවක් ඇත්නම් එවැනි දුවා දරුවන් දෙමාපියන්ට සැලකුවා වන්නේය. එයට හේතුව මෙලොව පරලොව සැප පිණිස එය හේතු වන බැවිනි. සමහර දරුවන් ලොකු මහත් වුණාට පසු තම දෙමාපියන් අමතක කරන ස්වභාවයක්ද දක්නට ලැබේ. සමහර වෙලාවට උගත්කම ලබාගෙන සමාජයේ ඉහළ තැන්වලට ගියාම සමහර දරුවන් අම්මා තාත්තා මහලු මඩම්වල හෝ වැඩිහිටි නිවාසවලට ඇතුළු කර මාසිකව මුදලක් ගෙවා ඔවුන්ගෙන් ඈත් වීමද සිදුකරනු ඇත. එය හොද දරුවන්ගේ ගුණයක් නොවෙයි. තමන්ගේ උත්සාහයෙන් සම්බෝලයි බතුයි හරි බත් ටිකක් තමන්ගෙම දෑතින් දෙමාපියන්ට දීල උපස්ථාන කරනවා නම් එවැනි දරුවන්ට කවදාවත් වරදින් නෑ.

මවුපියො කිසි මොහොතක අමතක කරන්න එපා. අම්මා තාත්තා කියල එන ආත්මයකදි දෙන්නෙකුට විතරයි කියන්න ලැබෙන්නේ මාමා, නැන්දා,අංකල් , ඇන්ටි කියන වචන අපට ඕනෑ තරම් කියන්න පුද්ගලයෝ ඉන්නවා. සමහර දරුවන් ලොකු මහත් වුණාම බිරියගේ කීමට මවුපියන්ට අසාධාරණකම් සිදුකරන අවස්ථාත් සමාජය තුළ දක්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙ සැවැත් නුවර සිටි වෘද්ධි බමුණට මුහුණ පාන්නට සිදු වුණෙත් එවැනි දේටයි. දරුවෝ හතර දෙනාම හොඳට ලොකු මහත් කරලා වස්තුවත් බෙදලා දීලා. තමන් වයසට ගියාම ඔවුන් ළඟට ගියාට පස්සේ ඔහුට අසාධාරණකම්වලට මුහුණ දෙන්නට සිදු වුණා. අන්තිමට බුදුරජාණන් වහන්සේගේ පිහිට පමණයි ඉතිරි වුණේ.

මේ ආදි කරුණු සිහියට ගැනීමත් වැදගත් වනවා. මුළු ලෝකයාගෙන්ම අසාධාරණ සිදුවන විටත් තමන් මෙලොවට බිහි කළ මවත්, තමන් ලොකු මහත් කිරීමට වෙහෙස ගත් පියාත් පිහිට වුණ අයුරු සිහිපත් කළ යුතුය. කාගේත් සරණක් නැති වුණත් අන්තිමට මවුපියන්ගෙ සරණ පමණයි දරුවන්ට ලැබෙන්නේ, දරුවන්ගෙ දුකේදී අයින් වෙන්නෙවත් සැපේදි ඊර්ෂ්‍යා වන්නෙවත් නැති එකම දෙන්න එම දෙපළ පමණයි. ඒ නිසා කිසිදා මවුපියො අමතක නොකර බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ යුතුකම් හරිහැටි ඉටුකරමින් ශ්‍රේෂ්ඨ දුවා දරුවන් වශයෙන් මෙලොව ජීවිත ගත කරන්නට කවුරුත් හිතට ගන්නා ලෙස මතක් කිරීමට කැමැතියි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.