Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

 “ධර්ම කීර්ති ශ්‍රී සීලරතන” යන ගෞරව නාමය සහිත මල්වතු මහා විහාර පාර්ශ්වයේ විශේෂ කර්මාචාර්ය පදවියට පත් තැඹිලිපොල රාජමහා විහාරය, කෝන්මිටියන පුරාණ මල්ගල විහාරය, ඊතණවත්ත මැද්දේගොඩ පුරාණ ටැම්පිට විහාරය, රුක් අත්තනේ පුරාණ විහාරය යන සිව්මහා විහාරාධිපති නාමල්වත්තේ ආනන්ද හිමියන් වෙත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මල්වතුමහා විහාර පාර්ශ්වයේ මහා නාහිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී සන්නස් පත්‍රය පිරිනමන ලද අවස්ථාව.

පාලිඅටුවා ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියට දායක වූ වියත් මහසඟරුවනේ සහ ගිහි වියතුන්ගේ සේවාව අගැයීමට ලක් කරමින් සාමවිනිසුරු පදවි ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා එම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී නිල වශයෙන් එම පත්වීම් ලිපි පිරිනමන ලදී. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියෝද එම අවස්ථාවට සහභාගි වූහ. මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා විසින් ආදාවල දේවසිරි නාහිමියන් වෙත සාමවිනිසුරු පත්වීමේ ලිපිය පිරිනැමූ අවස්ථාව.

ගොඩකවෙල, වැල්කෙනියායේ ශ්‍රී සුමණාරාම විහාරස්ථානයේ බුදු මැදුර නවීකරණය කර සංවර්ධනය කිරීමට විහාරස්ථදායක සභාව පියවර ගෙන ඇත. විශාල මුදලක් වැය කර එම නව සංවර්ධන කටයුතු වලින් කොටසක් මේ වන විට නිම කර ඇත. එම විහාරස්ථානයේ නිර්මාතෘන් වහන්සේ වන්නේ අමරපුර වජිරවංශ මහා නිකායේ මහා නායක ධුරන්ධරව වැඩ විසූ වැල්කෙනියායේ ධම්මසේන මහ නාහිමිපාණන් වහන්සේ ය. එම මහ නාහිමියන්ගේ ශිෂ්‍ය වැල්කෙනියායේ ධම්මවංශ හිමියෝ මේ විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති පදවිය උසුලති. උන්වහන්සේගේ ශිෂ්‍ය වැල්කෙනියායේ ධම්මාවාස හිමිගේ අධීක්‍ෂණය යටතේ මේ විහාරස්ථානයේ නව ඉදිකිරීම් කටයුතු සිදු කැරේ. මේ ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ බලංගොඩ කොටවෙහෙර මංකඩ මූර්ති හා චිත්‍ර ශිල්පී, ටී.වී. ලීලාරත්න මහතා විසිනි. ඒ මහතා නිර්මාණයක යෙදී සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි. මෙහි වම්පස ධම්මාවාස හිමියෝ ද වෙති.
ඇස්. චිත්‍රපාල රක්වාන විශේෂ

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.