UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යහපත නසන මිත්‍ර ප්‍රතිරූපකයෝ

සුදන ගුණැති අය පවා දුර්ජනයන් වනුයේ පාප මිත්‍ර සේවනය නිසා බැව් බුදු හිමියෝ පෙන්වා වදාළ සේක. කෙනෙකුගේ පිරිහීමටත් ,බැබළීමටත් (කීර්තියටත්)හේතු කාරකයා වන්නේ මිත්‍රයාමයි. මිත්‍ර යන්නෙහි අර්ථය හිතවත් කමයි. හෘදයාංගම බව, සත්‍යවාදී බව මිත්‍රත්වයේ කැඩපතයි.ඒ නිසා සැබෑ මිත්‍රයා හඳුනාගන්න. සත්‍යය වසා බොරුව පෙන්වා අනෙකා රවටන මිත්‍රයා මිත්‍ර ප්‍රතිරූපකයෙකි.

අප ජීවත්වන සමාජයේදී අපට විවිධ පුද්ගලයන් මුණ ගැසේ. සමහරු හිනාවී කථාකර අනුන්ට හිරිහැරයක් නොකර සාමකාමීව ජීවත් වෙයි. තව කෙනෙක් අනුන්ගේ ඕපාදූප හොයමින් අනෙකාට විපතක් වන්නේ කවර වෙලාවෙදැයි සතුටු වීමට ඇහැ ගහගෙන ඉඳී. වනසා දැමීමට ලංවීමට පහසු මගක් සොයයි. ඔහු උපක්‍රමයෙන් යහපත් මිනිසාට ලංවෙයි. ඒ මිත්‍ර වේෂයෙන් මිත්‍ර ප්‍රතිරූපයක් මවා ගෙනෙයි. යහපත නැසීමට මිතුරෙකු වෙසින් පාප මිතුරා පැමිණ ඇති බැව් නොදන්න යහපත් මිනිසා ඔහු තමාගේ දියුණුවට යහපතට අතහිත දෙන කල්‍යාණ මිත්‍රයා කියා සිතයි. ඒ නිසා මුළු හදවතින්ම තමාටත් වඩා හොඳින් අර මිත්‍ර ප්‍රතිරූපකයා විශ්වාස කරයි.

මේ ආදරණීය මිතුරෙක් ලෙස වෙස් වලාගෙන ආවෙ. තමන්ගේ ජීවිතේ නසන වධකයාය. පණටත් වඩා මිත්‍රයා විශ්වාස කරන යහපත් මිනිසාට එය වටහා ගත නොහැකිය.

ඒ යහපත් පුද්ගලයා කොතරම් බුද්ධිමතෙක් වුනත් තමාටත් නොදැනීම පාප මිත්‍රයා ඔහු ගිල ගනී. ඔහුගෙන් වන විපත අන්තිමට යහපත් මිනිසාට වැටහෙන්නේ ඔහු නිසා තමන් කරදරේකට පත්ව පෙර පිනක් තිබී ඉන් බේරුණොත් පමණි. ඒ නිසා යහපතෙහි දෑස් වසන මිත්‍ර ප්‍රතිරූපකයන් එකපාර මිනිසෙකු මරණ අපරාධකාරයෙකුටත් වඩා භයානක ය.

ඒ නිසා හොඳ කවුද නරක කවුද හරි හැටි අවබෝධ කර ගැනීමට සාමාන්‍ය මිනිසෙකුට ඉතා අපහසු කරුණකි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත් පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ප්‍රාර්ථනා කරන්න කියලා. හේතුව අසත්පුරුෂයා කොයි මොහොතේ අපව ගිල ගනීද කිව නොහැකි නිසා.

වැරැදි ඇසුර නිසා යහපත් මිනිසා විනාශ මුඛයට පැමිණෙන බව එදා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වෙසෙන මොහොතේ සිඟාලක නම් ගෘහපති පුත්‍රයාට සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් පෙන්වා වදාළ සේක. ඇසුරු නොකළ යුතු මිත්‍ර ඇසුර නිසා පුද්ගලයා පරිහානියට පත්වන බව වදාළ බුදුරජාණන් වහන්සේ මිත්‍ර ප්‍රතිරූපකයෝ සිව් දෙනකු පෙන්වා දුන් සේක. එනම්

1.අඤ්ඤදත්ථු හර - බොරු වර්ණනා ආදිය කරමින් යම් කිසිවක් රැගෙන යන්නා.

2.වචී පරම - වචනයෙන් පමණක් උපකාර කරන්නා

3.අනුප්පියභාණි - මිතුරාගේ වචනය අනුමත කරමින් මනාප දෙයක්ම කියන්නා.

4.අපාය සහාය - මිතුරාගේ ධනය විනාශය සඳහාම යහළුවන්නා

මේ සතරින් වඩා භයානක මිතුරා අපාය සහාය තැනැත්තාය. මන්දයත්? මේ අපාය සහය මිතුරා නිසා කායික මානසික පිරිහීම මෙන්ම මුළු සේසතම විනාශ වී යන නිසාය.

ඒ නිසා නුවණ ඇති තැනැත්තෝ භය සහිත මිත්‍ර ප්‍රතිරූපකයන් ඇසුරෙන් ඈත් විය යුතුය. ඒ නිසා එකට ඉඳන් බෙල්ල කපල යන මිත්‍ර ප්‍රතිරූපකයන් අද සමාජයේ සුලබව ජීවත් වෙනව.

සාරිපුත්ත හාමුදුරුවෝ ඊට ලස්සන උපමාවක් වදාළා. ඒ උපමාව මෙහෙමයි. ඔන්න එක හතුරෙකුට ඕන වුණා ධනවත් සිටුවරයෙක්ව මරන්න. ඉතින් මේ හතුරා මොකද කළේ? හතුරෙකුගේ වේශයෙන් ගියේ නෑ. යාළුවෙකුගේ වේශයක් අරගෙන යාළු මිත්‍ර කමක් පෙන්නගෙන බොහෝ යටහත් පහත්ව ලං වුණා.

දැන් මේ සිටුවරයට ලං වුණේ මිතුරෙක්ද? හතුරෙක්ද? මිතුරු වේශයෙන් ඇවිත් ඉන්නෙ හතුරෙක් වධකයෙක්. ඉතින් මෙයා බොහෝම යටහත් පහත්ව සිටුවරයට කියනව මෙහෙම “ස්වාමීනි! ඔබ වහන්සේට මම උපස්ථාන කරන්නම් කියලා. දැන් මෙයා පාන්දරින්ම නැගිටිනව හොඳට ගෙවල් දොරවල් පිරිසුදු කර අතුගානව. තේ හදල දෙනව ගෙදර සියලු දෙනාම නිදාගත්තට පස්සෙ පවිත්‍ර කර නින්දට යනව.

කාලයක් යනකොට මොකද වුණේ? අර සිටුතුමාට විශ්වාසයක් ඇති වුණා මෙයා තමා හිතවත්ම කෙනා කියලා නමුත් මේ ඉන්නෙ කවුද වධකයා .

අන්තිමේදී මොකද වුණේ. වධකයා කෙරෙහි සම්පූර්ණයෙන්ම විශ්වාසයක් ගොඩ නැගුණට පස්සෙ සිටුතුමාට නින්ද යනකම් ඉඳලා අර පාප මිත්‍රයා සිටුවරයා මරල දැම්මා. ඒ නිසා බාලයන් ඇසුර ගින්දර හා සෙල්ලම් කිරීම හා සමානයි.

මන්දයත් කොයි මොහොතේ පිළිස්සී යාවිද කියල තමාවත් දන්නෙ නැති නිසා. පපා මිත්‍රයා දෙසින් පැමිණෙන සුළඟ පවා සිසිලස නොදේ . එදා බුදුන් දවස ශිල්ප ශාස්ත්‍ර හදාරා මහා උගත් බුද්ධිමත් තරුණයෙකු වූ අහිංසකට පාප මිතුරන් නිසා වුණ විපත ඔබ දන්නවා ඇති නේද? පාප මිනිසුන් අහිංසකගේ යහපත්කම අයහපත් කර ඔහු නරක මිනිසෙක් ලෙස සමාජයට කියා පෑවා.

නොකළ වැරැදි වලට ගුරුවරයා බිඳවීම නිසා ඔහු අංගුලිමාල නම් කෲර මිනිසෙක් වුණා. අහිංසක අංගුලිමාල වුණෙත් අන්න ඒ නිසයි. ඒ නිසා මේ ලෝකයේ ජීවත්වන සත්පුරුෂයාට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය වැදගත් වෙනවා.

එදා අහිංසක බුද්ධිමත් උගතෙක් වුවත් පාපතරයෙක් වුණේ නරක මිනිසුන්ගේ කේළාම් නිසායි .

සුදන ගුණැති අය පවා දුර්ජනයන් වනුයේ පාප මිත්‍ර සේවනය නිසා බැව් බුදුරදුන් පෙන්වා වදාළ සේක. කෙනෙකුගේ පිරිහීමටත් ,බැබළීමටත් (කීර්තියටත්)හේතු කාරකයා වන්නේ මිත්‍රයාමයි. මිත්‍ර යන්නෙහි අර්ථය හිතවත් කමයි. හෘදයාංගම බව, සත්‍යවාදී බව මිත්‍රත්වයේ කැඩපතයි. මිත්‍රයෙකුට ද්‍රෝහී වීම, මිත්‍ර ඝාතනය හා සමාන අපරාධයකි.

මන්දයත් මිත්‍රත්වය පළුදු වීමෙන් අනෙකා ගේ සිත මෙන්ම ජීවිතයද වධ බන්ධනයට ලක්වන නිසාය. ඒ නිසා සැබෑ මිත්‍රයා හඳුනාගන්න. සත්‍යය වසා බොරුව පෙන්වා අනෙකා රවටන මිත්‍රයා මිත්‍ර ප්‍රතිරූපකයෙකි. ඔහු ඔබගේ මාරයා වනුයේ නිතැතින්මයි. එසේ හෙයින් මිත්‍රද්‍රෝහී නොවීම නිසා පුද්ගලයකු සමාජය තුළ සෑම දෙයකින්ම උපහාර ලබන බව ලොව්තුරා අමා මෑණියන් වහන්සේ දේශනා කළ සේක.

මිත්‍රත්වය පූජාවකි; වන්දනාවකි.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]