UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘උපාසක’ ස්වභාවයෙන් පිරිහෙන පිළිවෙත්

තෙරුවන් සරණ ගිය පුද්ගලයා ‘උපාසක’ යනුවෙන් හැඳින්වෙයි. (මහානාම සුත්ත) මෙසේ තෙරුවන් සරණ ගිය පුද්ගලයා (වයසින් ජාතියෙන් කුලයෙන් හෝ රටෙන්) කවර තරාතිරමේ අයකු වුවත්, කිසි විභේදනයකින් තොරව ඔහු හෝ ඇය උපාසක හෝ උපාසිකා යනුවෙන් ආමන්ත්‍රනය කරේ. විරතිය හා සමාදානය යන අංග ද්වයකින් යුක්ත කරුණු පහක් (පංච ශීලය) තමන් තුළ පිහිටුවා ගැනීමෙන්, අනුගමනය කිරීමෙන්, එයින් හික්මීමට පත්වීමෙන් ‘උපාසක’ ‘උපාසිකා’ යන දෙපිරිස එම තත්ත්වයෙන් පරිහානියට පත්වන කරුණු හතක්, අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ උපාසක අපරිහානී සූත්‍රයේ දැක්වෙයි. (අ.නි. 4, පිට 318) මෙම කුඩා ලිපියෙහි අරමුණ වන්නේ ඉතා සංක්‍ෂිප්තව එම කරුණු හත පැහැදිලි කිරීම ය.

(1) භික්ෂූන් වහන්සේ දැකීමට අකැමැති වීම (භික්ඛු දස්සනං  හාපෙති)

උපාසකයකු හෝ උපාසිකාවක ස්වාමීන් වහන්සේ දැකීමට රුචි නොකරන්නේ නම්, ඔහු හෝ ඇය උපාසක තත්ත්වයෙන් පිරිහෙයි. තිසරණයෙහි පිහිටි පුද්ගලයා සරණයන්නේ බුදුන් දහම් යන දෙරුවන් පමණක් නොවේ. සංඝ රත්නයත් සරණ යන්නේ ය. සංඝ යනු සමූහය යි. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සරණ යන කිසිම පුද්ගලයකුට උන්වහන්සේ කෙරෙහි අප්‍රසාදයක් ඇති නොවිය යුතුයි. ශ්‍රාවක සංඝ යනුවෙන් දැක්වෙන්නේ මාර්ගඵලලාභී සංඝරත්නය යි. උන්වහන්සේ පුද්ගල වශයෙන් කොටස් අටකින් යුක්ත යි. නිවන අරමුණ කරගෙන සසුනට අවතීර්ණ වී ආර්ය ප්‍රතිපදාව වඩන සියලු ස්වාමීන් වහන්සේ ද ශ්‍රාවක සංඝ රත්නයට අයත් වෙති. එබැවින් බෞද්ධයා කිසි විටෙකත් ස්වාමීන්වහන්සේගේ් දර්ශනය පිළිකෙව් නොකරයි. කිසියම් බෞද්ධයකු ස්වාමීන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයක් ඇති කරගන්නේ නම්, එය ඔහුගේ හෝ ඇයගේ උපාසක ජීවිතය හෙවත් බෞද්ධ ජීවිතයේ පිරිහීමට හේතුවක් වෙයි.

(2) සද්ධර්මය ඇසීමට ප්‍රමාද වීම (සද්ධම්ම සවණං සමජ්ජති)

උපාසක ජීවිතය පිරිහීමට බලපාන දෙවන කරුණ වශයෙන් චක්වෙන්නේ දහම් ඇසීමට ප්‍රමාදවීීමයි. බෞද්ධ ජීවිතය අර්ථවත් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ය. ධර්මය ශ්‍රවණය කිරීමෙන් තොරව එය අපගේ ජීවිතයට ඇතුළත් කළ නොහැකි ය. මංගල සූත්‍රයෙහි දැක්වෙන්නේ, කලින් කලට ධර්මය ශ්‍රවණය කිරීම උතුම් මංගල කරුණක් බවයි. ධර්මය ඇසීමෙන් මෙතෙක් නො ඇසූ දේ ඇසීමටත් (අස්සුතං සුණාති) ඇසූ දේ නිවැරැදි කර ගැනීමටත් (සුතං පරියොදපෙති) ධර්මය පිළිබඳ සැක දුරුකර ගැනීමටත් (කංඛං විතරති) ධර්මය පිළිබඳ අවබෝධය වඩාත් ශක්තිමත් එකක් බවට පරිවර්තනය කර ගැනීමටත් (දිට්ඨිං ඉජුංකරෝති) සිත පහදවා ගැනීමටත් (චිත්තමස්ස පසීදති) හැකියාව ඇති වෙයි. කිසියම් බෞද්ධයකු ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රමාද වන්නේ නම්, ඔහු දෙලොවින්ම පිරිහුණු පුද්ගලයකු බවට පත්විය හැකිය. ලොව - ඇසීම් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඇසීම ද උතුම්ම ඇසීම වශයෙන්, අනුත්තරිය සූත්‍රයේ දැක්වෙයි.

(3) අධි ශිලයක නොපිහිටීම (අධිසීලෙ න සික්ඛති)

තෙරුවන් සරණ ගිය උපාසකයා හෝ උපාසිකාවගේ් නිත්‍ය ශීලය වශයෙන් හැඳින්වෙන්නේ පංච ශීලයයි. එයට අතිරේක වශයෙන් උපෝසථ දිනයන්හි සමාදන් වන අට සිල් හෝ දස සිල් උපාසක අධිශීලය වශයෙන් සැලකිය හැකි ය. උපෝසථ සීලයෙහි ප්‍රධාන අරමුණ වන්නේ කාමභෝගී ගිහි ජීවිතයෙන් අභිනිෂ්ක්‍රමණය උදෙසා අවශ්‍ය පුහුණුව ලබා ගැනීම යි. විමුක්තිය අපේක්ෂා කරන්නෙකු පංච කාම හා බැඳුණු ජීවිතයේ ආදීනව මැනවින් වටහාගත යුතු වෙයි. උපෝසථ ශීලයට අයත් මුල් ශික්ෂා පද පහ පංච දුශ්චරිතවලින් වැළකීමකි. එසේම ඒවා සාවද්‍ය ක්‍රියා වලින් වැලකීමකි. ඒවා පාප ක්‍රියා වලින් වැළකීමකි. සෙසු ශික්ෂා පද පාප වශයෙන් නොසැළකෙන අතර ලෝක සාවද්‍ය නොවේ. එම ශික්ෂා උපෝසථ සමාදානයෙහි නිරත පුද්ගලයාට ප්‍රඥප්ති වශයෙන් සාවද්‍ය වෙයි. මෙම ශික්ෂා පදවල අරමුණු වන්නේ කාමභෝගී ජීවිතයේ ආදීනව වටහාගෙන, පංච කාම වස්තූන්ගෙන් ඉවත්වීමට අවශ්‍ය මූලික පුහුණුව ලබා ගැනීම යි. තවදුරටත්, පංචකාම වස්තූ® පදනම් කරගත් අකුසල සහගත චිත්ත වේග අවබෝධයෙන් යුක්තව පාලනය කිරීම උදෙසා අවශ්‍ය පුහුණුව, මෙමගින් සැපයෙයි. සීලයෙන් සිදුවන්නේ පුද්ගලයා තුළ කායික හා වාචසික වශයෙන් සංවරයක් ඇති වීමයි. සීලය චිත්ත සමාධියටත්, එය ප්‍රඥාව පිණිසත් පදනම් වෙයි. මෙනිසා ඕලාරික වශයෙන් පුද්ගලයා තුළ පවතින කායික හා වාචසික චර්යාවන්හි පවතින දුර්වලතා අවබෝධයෙන් පාලනය කරගැනීම පිණිස බෞද්ධයා නිරන්තරයෙන්ම සීල සමාදානයේ යෙදිය යුතුයි. එම පුහුණුව ළමා අවදියේ සිටම ක්‍රියාත්මක කළ යුතු දෙයකි. එසේම උපෝසථ සමාදානය, අරමුණු පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියාවට නැගිය යුතු වැඩපිළිවෙළකි.

4) ථෙර, නවක, මධ්‍යමක යන සියලු භික්ෂූන් වහන්සේ කෙරෙහි අප්‍රසාදය බහුල වීම

ශ්‍රද්ධාවෙහි පිහිටි පුද්ගලයාගේ මූලික ලක්ෂණ වන්නේ සිල්වතුන් දැකීමට කැමැතිවීම, ධර්ම ශ්‍රවණයට උනන්දුවීම හා මසුරු මල දුරුකොට දානයෙහි කැමැත්ත ඇති කර ගැනීම යි. තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් භික්ෂූන් වහන්සේ කෙරෙහි අප්‍රසාදය ඇතිකර ගැනීම, පෞද්ගලිකව ඔහුටම අයහපතකි. ඇතැම් බෞද්ධයෝ තෝරාගත් ස්වාමීන්වහන්ගේ කෙරෙහි පමණක් ප්‍රසාදය ඇතිකර ගනිමින්, සෙසු ස්වාමීන්වහන්සේ කෙරෙහි අප්‍රසාදයෙන් කටයුතුª කරති. ඇතැම් ස්වාමීන් වහන්සේ ද ගිහි බෞද්ධයන්ට වැරදි ආකල්ප ඇතිකර ගැනීමට උපදෙස් සපයති. මෙයින් සිදුවන්නේ, ගිහි බෞද්ධයා තමන්ට නොදැනම පාප කර්ම රැස්කර ගැනීම යි. එහි විපාක විඳින්නට සිදුවන්නේ ඔහුටම මිස, ඔහු අප්‍රසාදය ඇති කර ගත් ස්වාමීන්වහන්සේට නම් නොවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙකුගේ සිල්වත්කම පිළිබඳ අවබෝධයක් ලැබීමට නම්, ඉතා දීර්ඝ කාලයක් ඔහු ඇසුරු කළ යුතු බවයි. (සංවාසෙන භික්ඛවේ සිලං වේදිතබ්බං) සත්ත ජටිල සූත්‍රයෙහි දැක්වෙන ආකාරයට කොසොල් රජතුමා අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, බාහිර ස්වරූපය පදනම් කරගෙන කෙනෙකු සිල්වත් ද නොවේ ද යන්න නිගමනය කළ නොහැකි බවයි. ඇතැම් බෞද්ධයන් ස්වාමීන් වහන්සේ ඇසුරු කරන්නේ ආධ්‍යාත්මික අරමුණු පදනම් කරගෙන නොවේ. වෙනත් බාහිර සාධක පදනම් කරගෙන ය. මෙය වර්තමානයේ ගිහි - පැවිදි සම්බන්ධය අර්බුදකාරී තත්ත්වයකට පරිවර්තනය කිරීමට හේතු වී තිබේ. ඇතැම් ගිහි බෞද්ධයන් වැඩිහිටි ස්වාමීන් වහන්සේට පමණක් ගරු සත්කාර දක්වති. කුඩා හා තරුණ ස්වාමීන් වහන්සේ නොසළකා ක්‍රියා කරති. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුව, සර්පයා, ගිනි පුපුර හා රාජ කුමාරයා යනාදිය කුඩා යැයි නොසිතිය යුතු බවයි. ගිහියන්ගේ ප්‍රසාදයට හානිවන අයුරින් ක්‍රියාකරන ස්වාමීන් වහන්සේද ඇතිබව සැබෑය. නමුත් ඒ බහුතරය නොවේ. එවැනි ස්වාමීන් වහන්සේගේ අයහපත් හැසිරීම් සම්බන්ධයෙන් වගකීම දරන්නට සිදුවන්නේ උන්වහන්සේට මිස වෙනත් අයට නොවෙයි. මෙනිසා, නුවණැති බෞද්ධයා භික්ෂූන් වහන්සේට ගරු කළ යුතු වන්නේ සංඝරත්නය යන සමස්ත අර්ථයෙන් මිස පෞද්ගලික ආකල්පයෙන් නොවේ. එබැවින් ලොකු කුඩා කෙබඳු ස්වාමීන් වහන්සේ කෙරෙහි වුවද අප්‍රසාදය බහුලවීම, උපාසක ගුණ පිරිහීමට හේතුවකි.

5. දොස් දැකීම හා අඩුපාඩු සොයන අදහසින් ධර්මය ඇසීම

ඇතැම් ධර්මධරයන් මෙන්ම ධර්මය පිළිබඳ අල්ප අවබෝධයක් තිබෙන පුද්ගලයන් ධර්මය ශ්‍රවණය කරන්නේ ධර්මයේ හෝ දේශකයාගේ අඩුපාඩු සොයන අරමුණින් ය. බුදුරජාණන් වහන්සේගේ් ධර්මය මුල, මැද, අග යන තුන් තැන්හීම යහපත්ය. එය හාත්පසින් පිරිපුන් ධර්මයකි (කේවල පරිපුණ්නං) එහි කිසිවකුටත් සකස් කිරීමට අඩුවක් හෝ වරදක් නොමැත. යම් කෙනකු ධර්මයේ අඩුපාඩු සොයන්නේ නම්, ඔහු හෝ ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනුවණ පුද්ගලයෙකි. ධර්මය දේශනා කරන හා සාකච්ඡා කරන පුද්ගලයාගේ දැනුම හා වැටහීමේ ප්‍රමාණය අනුව එය විග්‍රහ කිරීමේ දී හෝ පැහැදිලි කරදීමේදී යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන. ධර්ම දේශකයන් වහන්සේ සහ දේශකයන් සතු වගකීම වන්නේ, ධර්මය පැහැදිලි කිරීමේදී පෙළ හා අටුවා නොඉක්මවා නිවැරැදි අර්ථ ගැන සැලකිලිමත් වෙමින් තම දේශනය ඉදිරිපත් කිරීමයි. ධර්මය ශ්‍රවණය කිරීමේදී අවධානය යොමු කළ යුතු වන්නේ ධර්මයේ අර්ථය කෙරෙහි මිස එය ඉදිරිපත් කරන පුද්ගලයාගේ ස්වරූපය, තරාතිරම හෝ ඔහුගේ දේශනා ශෛලිය කෙරෙහි නොවේ. ඇතැම් දේශකයන් වහන්සේ අසන්නා තුළ ධර්මය පිළිබඳ අවබෝධය ඇති කිරීමට වඩා චිත්තවේග උත්තේජනය වන අයුරින් දේශනා කරති. මෙය, ධර්මයේ අරමුණ වරදවා වටහා ගැනීමකි. හස්ත විකාර, මුඛ විකාර, රහිතව ධර්මය කෙරෙහි මහත් ගෞරවයකින් එය ඉදිරිපත් කළ යුතු වෙයි. ශ්‍රාවක පිරිසද ධර්මයේ අරමුණ මැනවින් වටහාගෙන, දේශක ගෞරවය මෙන්ම ධර්ම ගෞරවයද රැකෙන පරිදි ශ්‍රවණය කළ යුතු ය. ධර්මයේ හෝ දේශකයාගේ දොස් සෙවීමේ පරමාර්ථයෙන් යමෙක් ධර්මය ශ්‍රවණය කරන්නේ් නම්, එය ඔහුගේ ම පිරිහීමට හේතුවකි. උපාසක - උපාසිකා දෙපිරිසම ධර්මය ශ්‍රවණය කළ යුතු වන්නේ තමන් ආරම්භ කළ ආගමික ප්‍රතිපදාවේ ඉදිරියටම ගමන් කිරීමේ අරමුණ පෙරදැරිව ය.

6. බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා හැර වෙනත් ආගමික විශ්වාස හා ඇදහිලි අනුගමනය කිරීම සහ (7) ඒවා කෙරෙහි අනුග්‍රහ දැක්වීම.

තිසරණයෙහි ස්ථාවරව පිහිටි කිසිම බෞද්ධයකුට මෙම කල්‍යාණ ශාසනය හැර වෙනත් දහමක් හෝ ආගමක් ඇදහීම මෙන්ම පිළිපැදීම කළ නොහැකි ය. ධර්මයෙහි ස්ථාවරව නොපිහිටි ඇතැම් පුද්ගලයෝ විවිධ ලෞකික අභිමතාර්ථ වෙනුවෙන් තිසරණය අමතක කොට, වෙනත් ආගම් හා ඇදහීම් පිළිගනිති. කෙනකුට තමන් කැමැති ආගමක් ඇදහීමේ අයිතියක් තිබේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිදහස්, සදාචාරාත්මක, ජීවන ප්‍රතිපදාවකි. එහි කිසිවිටෙකත් බලපෑම් කැරෙන ප්‍රතිපදාවක් නොමැත. ආගමික ඉතිහාසයේ අවි ආයුධ භාවිත නොකර, විශ්ව මෛත්‍රිය මත පිහිටා ධර්මය ප්‍රචාරය කරන ලද්දේ, බුදු සව්වන් පමණකි. නිදහස් චින්තනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම, කාලාම, චංකී, සන්දක ආදී සූත්‍ර දේශනාවල ඇතුළත් වෙයි. කිසියම් උපාසකයෙක් හෝ උපාසිකාවක්, තිසරණය හැර වෙනත් පුද්ගලයෙක් හෝ බාහිර වස්තුවක් සරණ යන්නේ්නම්, ඔවුන් ‘උපාසක චණ්ඩාලයන්’ වශයෙන් හඳුන්වා තිබේ. (උපාසක චණ්ඩාල සුත්ත) තිසරණය පිළිගැනීමෙන් උපාසක තත්ත්වයට පත් වූ උපාසකයකු හෝ උපාසිකාවක එය අතහැර වෙනත් සරණක් පැතීම හෝ එවැනි දේට ගරු සත්කාර දැක්වීම උපාසක බවින් පිරිහීමට හේතු වෙයි. බුදුරජාණන්වහන්සේ දෙවියන්ගේද, මිනිසුන්ගේද ශාස්තෘවරයා වෙති. (සත්ථා දේව මනුස්සානං) එම ශස්තෘවරයා සරණගිය කෙනකුට වෙනත් සරණක් පිළිගත හැකි ද? ඉහතින් දැක්වූයේ උපාසකයෙකු හෝ උපාසිකාවක, එම තත්ත්වයෙන් පිරිහීමට හේතු වන කරුණු හතකි. ධර්මය පිළිබඳ උනන්දුවන කෙනකුට එම සූත්‍රය නැවත කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව තිබේ. ඉතා සංක්‍ෂිප්තව දැක්වූ මෙම කරුණු ගැඹුරින් වටහා ගැනීමෙන් හා ඒවායෙන් වැළකී ඊට ප්‍රතිපක්ෂ යහපත් පිළිවෙත් අනුගමනය කිරීමෙන් උපාසක ජීවිතය හෙවත් බෞද්ධ ජීවිතය වඩාත් අර්ථවත් එකක් බවට පරිවර්තනය කර ගැනීමට හැකි වෙයි.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]