Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අට විසි බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් ඔපවත් වූ පහළකීඹිය ශෛලාලයාරාමය

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති විහාරස්ථාන අතුරින් විශේෂිත වූ පහළකීඹිය ශෛලාලයාරාම නම් වූ පුරාණ රජමහා විහාරය ඓතිහාසික වටිනාකමකින් යුත් බොදු බැතිමතුන්ගේ පූජනීය පුදබිමකි.

මෙහි ආරම්භය ක්‍රි.ව. 1726 වසරේදී බව ශාසනික ඉතිහාසයේ සඳහන් කරයි. තුරු ලතාවන්ගෙන් ගහන තැන තැන දිය පොකුණු සහිත සුන්දර වූ සිසිලස ගෙන දෙන පරිසරයක් තුළ මනහර කඳුයායක් පාමුල මෙම විහාරය පිහිටා ඇත.


අට විසි බුදු පිළිම කීපයක්

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අකුරැටියේ අමරවංශාභිධාන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු පඬිවරුන් රැසක්ම මෙම විහාරස්ථානයේ පහස ලැබූ අය වෙති.

බද්දේගම කිරිබතාවිල ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති අමරවංශ පරිවෙණාධ්‍යක්ෂ බද්දේගම සිරිරතන මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශසනා ඇතිව දැනට මෙහි විහාරාධිපතිත්වය දරණුයේ පූජ්‍ය කීඹියේ ඥාණරතන හිමියන් ය. උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා දායක පින්වතුන්ගේ ශක්තියෙන්, ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ නොමද සහයෝගයෙන් විහාරස්ථානයේ අඩුපාඩු සපුරාලමින් දිනෙන් දින කරගෙන යන ප්‍රවර්ධන කටයුතු අති විශාල ය.

පහළකීඹිය ගම්මානයට පුන්සඳක්වන් මෙම විහාරස්ථානය වර්ණවත් කෙරෙන ආගමික වැඩසටහන් රාශියක් විහාරාධිපති ඥාණරතන හිමියන්ගේ උනන්දුව මත සිදු කෙරේ. 1998 වසරේදී දායක දායිකාවන්ගේ හා පළාත්වාසී සුපින්වතුන්ගේ ආධාර මත ඇසළ පෙරහැර පැවැත්වීම සිදු කළේය. අලි ඇතුන් උඩ පහතරට නැටුම් ඇතුළු සංස්කෘතික අංග රාශියක් ඇතුලත්ව වසර කීපයක් පුරා අත්‍යාලංකාරව පෙරහැර පැවැත්වූ නමුත් දැනට අත්හිටුවා ඇති බව නායක හිමියන් පැවැසූහ. ඊට හේතුව වී ඇත්තේ පෙරහැර සඳහා අධික වියදමක් යන බැවින් එම මුදල රඳවාගෙන විහාරස්ථානයේ දියුණුවට කටයුතු කිරීම වඩා වැදගත් බවයි.

අක්කර 05ක භූ®මියකින් සමන්විත ව පිහිටා ඇති මෙම විහාරස්ථානයේ පොළව මට්ටමේ සිට අඩි 300 ක් ඉහළට පඩි පෙළ යොදා අටවිසි බුදු පිළිම වහන්සේ තැනින් තැන ඉදිකොට තිබේ. එය දායක පිංවතුන්ගේ ආධාර මත සිදුවූවක් බව විහාරාධිපති හිමි පැවසීය.


විහාරාධිපති කීඹියේ ඥාණරතන හිමි


අඩි 300 ක් පමණ ඉහළ ගලක් මත නිම කර ඇති සිරි පතුල

එම පිළිම වහන්සේලා වැද පුදා ගැනීමට එන බැතිමතුන් මෙයට පවසනුයේ පුංචි සිරීපාදය යනුවෙනි. අටවිසි බුදු පිළිම වැඳගෙන කන්ද තරණය කිරීමේදී කඳු මුදුනේ ගලක් මත සිරි පතුල නිර්මාණයකර තිබේ. මීට අමතරව දන්ත ධාතූන් වහන්සේ සහ පැරැණි කෞතුක වස්තු ප්‍රදර්ශනයක් ද ඇසැළ පෝයට පෙර සිට සතියක් පුරා ප්‍රදර්ශනය කළේය. මෙම විහාර භූ®මියේ ඇති භික්ෂූන් වහන්සේ ස්නානය කරන පොකුණක් තුළින් මතු වූ රන් උළුවස්සක් පිළිබඳ කතාවක් ජනප්‍රවාදයේ එයි.

දැනට භික්ෂූන් වහන්සේ 10 නමක් වැඩ සිටින මෙම විහාරස්ථානයේ ශාසනික දියුණුව වගේම ග්‍රාමීය ජනතාව වෙනුවෙන් අණුපමේය සේවයක් කිරීමේදී දරුවන් වෙනුවෙන් පවත්වන දහම්පාසල් අධ්‍යාපනයෙන් යහපත් වූ ගුණ ගරුක පුරවැසියන් බිහි කිරීම විහාරාධිපති ඥානරතන හිමියන්ගේ අභිප්‍රාය බව උන්වහන්සේ පැවසූහ.


විහාර මැඳුරේ පිවිසුම (පැරැණි ගල් උළුවස්ස)

 

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.