Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දිගාසිරි ලබන දැහැමි පිළිවෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නඛො ගහපති අරහති අරිය සාවකො ආයුකාමො ආයුං ආයාචිතුං වා අභිනන්දිතුංවා ආයුස්ස වා පිහේතුං ආයුකාමෙන ගහපති අරියසාවතෙන ආයු සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා ති

කාරුණික පින්වත්නි,

දීර්ඝායුෂ ලැබීම හෙවත් බොහෝ කාලයක් ජීවත් වීම පිළිබඳව ධර්මානුකූලව පහදාදීමට බලාපොරොත්තු වෙනවා.

ලොව උපන්නා වූ සියලු සත්ත්වයන් බොහෝ කල් ජීවත්වන්නට කැමතියි. එහෙත් මෙය කැමති වූ පමණින් ම ඉටු නොවන බව වටහා ගත යුතුය.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අනාථපිණ්ඩික සිටුතුමා අරබයා දේශනා කොට වදාළ බුද්ධ දේශනාවක් පිළිබඳව විමසා බලමු. මේ සූත්‍රය අංගුත්තර නිකායේ පස්වෙනි නිපාතයේ තමයි තිබෙන්නේ. එම ‘පඤ්ච ඉට්ඨ ධම්ම සූත්‍රය’ මගින් බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළා මේ ලෝකයේ ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලභ කරුණු පහක් පිළිබඳව. එහිදී ප්‍රථම කරුණා ලෙස සඳහන් වන්නේ ආයුෂ යයි. ලෝකයේ ආයුෂ යැයි කියන්නා වූ යමක් ඇද්ද එය යහපත් දෙයක් (ඉට්ඨා) කැමැති දෙයක් (කාන්තා) පි‍්‍රයකරන දෙයක් (මනාප) ඒ වගේම ලබන්නට අපහසු දෙයක් බව (දුල්ලභ) බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ. සියලු දෙනාම මරණයට බිය වෙති. (සබ්බේ භායන්ති මච්චුනො) සියලු දෙනාටම ජීවීතය පි‍්‍රයයි. (සබ්බේසං ජීවිතං පියං) මේ බුද්ධ දේශනා විමසා බැලීමේදී අපට පැහැදිලි වන්නේ සියලු සත්ත්වයන්ගේ ජීවත්වීමේ ඇති ආශාවය.

ආයුෂය හෙවත් ජීවත්වීමේ කාලය වැඩිකර ගැනීම ප්‍රාර්ථනාවකින් හෝ යාඥා කිරීමකින් ලබා ගත හැකි දෙයක් නොවන බව බොදුනුවා දන්නා කරුණකි. (න ආයාචනා හෙතු වා පත්තනා හේතු වා පටිලාභං වදාමී) නමුත් පෘතග්ජන ලෝකයේ සියලු දෙනා ආයුෂ බලාපොරොත්තු වන්නේද ඒ නොලැබෙන ආකාරයෙන් වීම කෙතරම් මුලාවක්ද? ‘බොහෝ කාලයක් මා ජීවත් කරවන සේක්වා, මට ජීවිතය ලබාදුන මැනව‘ ආදී වශයෙන් කාගෙන් හෝ ආයාචනය කරන කෝටි සංඛ්‍යාත පිරිසක් ලෝකයේ වෙසෙන බව අපට පෙනෙන සත්‍යයකි. ඒ වගේම ‘මට බොහෝ කල් ජීවත් වන්නට ලැබේවා! මට ආයුෂ ලැබේවා!’ ආදී වශයෙන් ප්‍රාර්ථනා කරන පිරිස් පවා කෙතරම් ඇද්ද?

ආයාචනා හේතු වා පත්තනා හේතු වා පටිලාභෝ අභවිස්ස කෝ ඉධ කේන හායේථ (එසේ ආයාචනා කිරීමෙන් ප්‍රාර්ථනා කිරීමෙන් ලැබේ නම් මෙලොව කිසිවෙක් කුමකින් පිරිහේද?) මෙසේ අපට සමාජය දෙස විමසා බලා යමක් වටහා ගන්නා ආකාරය සම්බුදු දහම මගින් පහදා දෙනවා.

ගෘහපතිය ආයුෂයට කැමැති ආර්ය ශ්‍රාවකයා ආයුෂය යදින්නට, සතුටු වන්නට හෝ කැමැති වන්නට හෝ සුදුසු නොවෙයි. ආයුෂ කැමැති ආර්ය ශ්‍රාවකයා විසින් එය ලැබීම පිණිස පවතින වැඩපිළිවෙළේ යෙදිය යුතුයි. ආයුෂ ලැබීම පිණිස පවතින වැඩපිළිවෙළෙහි යෙදීමම ආයුෂ ලැබීම පිණිස පවතිනවා. පින්වතුනි, මෙහිදී අපට හොඳින්ම පැහැදිලි වන්නේ හේතුඵල දහමයි. ලොව කිසිවක් හේතුවෙක් නොමැතිව සිදුනොවන බවත් හේතු සකස් වීමෙන්ම සියල්ල සිදුවන බවත් බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් බොහෝ දේශනා තුළ සඳහන් කර තිබෙනවා. නිවන් සුවය ගැන සිතා බලමු. එය ලබා ගැනීමට නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි. එය හුදෙක් ප්‍රාර්ථනාවකින් පමණක් ලබාගත හැකි දෙයක් නොවේ.

අපි මුලින්ම ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුදැයි කියා දැන ගන්නට ඕනෑ. ආර්ය ශ්‍රාවකයා, බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වන්නේ ‘සුතවා අරිය සාවකෝ’ යනුවෙනි. ආර්ය ශ්‍රාවකයා අනිවාර්යයෙන් සුතවක් කෙනක් විය යුතුයි. සුතවත් යනු අසා ඇති යන අදහසයි. මොනවද අසා ඇත්තේ උතුම් ශ්‍රී සද්ධර්මයයි. එය ඉතා පැහැදිලි වන තැනකි බුදුරජාණන් වහන්සේ සුත ධනය විස්තර කරන අවස්ථාව.

මහණෙනි! ආර්ය ශ්‍රාවක ශ්‍රැතධර වෙනවා. ඒ කියන්නේ අසා ඇති දේ මතක තියා ගන්නවා. එමෙන්ම තැනැත්තාට ශ්‍රැත සන්නිචය යැයි කියනවා. ඒ කියන්නේ අහන දේවල් තව තව එකතු කරනවා. ඒ ආකාරයෙන් ඒ තැනැත්තා බොහෝ ඇසූ අයකු වනවා. මොනවද බොහෝ කොට අසන්නේ මුල යහපත්, මැද යහපත්, අවසානය යහපත් අර්ථ සහිත පැහැදිලිව කියල තිබෙන අඩුපාඩු නැති පිරිසුදු නිවන් මග කියල දෙන ධර්මයයි. ඒවා මතකයේ තබාගෙන වචනයෙන් පුරුදු කර මනසින් විමසා අවබෝධයකට එනවා. එවිට එවැනි තැනැත්තාට ආර්ය ශ්‍රාවක යනුවෙන් සඳහන් වෙනවා.

ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ වගේම මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේ පිළිබඳව ගුණ වශයෙන් දැනගෙන හඳුනාගෙන සිටිනවා.

එමෙන්ම ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට දක්ෂයි. ඒ කියන්නේ එයාගේ ජීවිතය ධර්මයට අනුව ගලප ගලපා ගෙන යාමට දක්ෂයි.

එමෙන්ම එවැනි තැනැත්තා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගෙන තිබෙනවා. පුරුදු කර තිබෙනවා. සෝවාන් ආදී ශ්‍රාවකයන් පිළිබඳවද ඒ තැනැත්තා හඳුනා ගනී.

එසේම සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මුණු අයකු වේ. මෙවැනි පුද්ගලයාට ආර්ය ශ්‍රාවක යන නමින් හඳුන්වනවා. එවිට ඒ තැනැත්තාට අවශ්‍ය ධර්මයන් සොයා විමසා දැන ගන්නවා. ඊට හේතුව එයා ශ්‍රැතවත් තැනැත්තකු නිසයි.

දුතිය ආයුස්ස සූත්‍රයේදී ද ආයුෂය ගැන විස්තර කැරේ.

පඤ්චිමේ භික්ඛවේ ධම්මා අනායුස්සා කතමේ පඤ්ච

පින්වතුනි, මේ දේශනාව දෙස බලන විටද පෙනී යන්නේ අපගේ ආයුෂ අඩුවීම හෝ වැඩිවීම කෙරෙහි අපගේ ම ඇවතුම් පැවතුම් බොහෝ ලෙස බලපාන බවයි. ආයුෂ අඩුවීමට බලපාන පළමුවන කරුණනම් අසප්පායකාරී හෝති . ඒ කියන්නේ නොගැළපෙන ක්‍රියා කිරීමයි. කෑම බීම ඇඳුම් පැළඳුම් බේත් හේත් ගමන් බිමන් ආදී සියල්ල තමාගේ වයසට සහ සෞඛ්‍යය තත්ත්වයට ද ගැලපෙන අයුරින් සිදුකළ යුතුය.

අනිත් කාරණය වන්නේ සප්පායේ මත්තං න ජානාති - ගැලපෙන දෙයක් වුවද ප්‍රමාණය නොදැනීම, ජීවිතයට අහිතකර විය හැකියි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉහත සඳහන් නොගැළපෙන දේ බැහැර කර ගැළපෙන දේ තෝරා ගත්තද ඒ සියල්ලෙහි නියමිත ප්‍රමාණය ද දැනගත යුතු වේ.

ඊළඟ කාරණය අපරිනත භෝජී ච හෝති - ඒ කියන්නේ ගත් ආහාර දිරවන්නට කලින් නැවත ආහාර ගැනීමයි. එම කාරණය පිළිබඳව ඇතැම් දෙනා වැඩි අවධානයක් යොමු නොකළද මෙය ඉතාමත් ශරීරයට අහිතකර දෙයක් විය හැකිය.

අනිත් කාරණය දුසිල්වත් බවයි. පින්වතුනි එම කාරණය මෙලොව පරලොව දෙපැත්තෙන්ම ජීවිතයට අහිත කරයි. පස්පව් කිරීම නිසා මෙලොව ඒ තැනැත්තාගේ ජීවිත කාලය කෙටි වෙන්නට පුළුවන්.

ඊළඟ කාරණය පාපමිත්තෝච. ඒ කියන්නේ පවිටු මිතුරන් ඇති බවයි. පින්වතුනි ආයුෂ කෙටි වීමට ඉහත කරුණුවලට අමතරව මේ පාප මිත්‍ර සේවනයද බලපානවා. ඒ වගේම පාප මිත්‍ර සේවනයෙන් මෙහිදී වන විශාලතම පාඩුව නම් ආයුෂ වැඩිවීම සඳහා හේතු වන යම් පුණ්‍ය ප්‍රතිපදාවක් ඇත්නම් මේ පවිටු මිතුරන් නිසා එය අහිමි වී යාමයි. ආයුෂ රඳා පවතින්නට හේතුවන පුණ්‍ය ශක්තිය පිරිහීම ආයුෂ පිරිහීමට හේතුවක් වෙනවා.

ඉන්පසු ඒ සූත්‍රයේ ආයුෂ වැඩිවීමට හේතුවන කරුණු පහක් බුදුරජාණන් වහන්සේ වදාළා.

දැන් මෙහි මුල්ම කාරණ සප්පායකාරිහෝති. ඒ කියන්නේ ගැළපෙන දේ තෝරා ගන්නවා. ඉහත විස්තර වශයෙන් සඳහන් කළ නොගැළපෙන දේ අත්හැර තමාගේ ජීවිතයට අවශ්‍ය සියලු දේ වයසට සෞඛ්‍යයට ගැළපෙන ආකාරයෙන් තෝරා ගැනීමයි.

දෙවෙනි කාරණය ‘සප්පායේ මත්තං ජානාති’ ඒ කියන්නේ තමා තෝරා ගන්නා වූ ඒ යෝග්‍ය දේ සුදුසු ප්‍රමාණයට නියමිත මාත්‍රාවෙන් ජීවිතයට එක්කර ගත යුතුයි.

ඊළඟ කාරණය ‘’පරිනත භොරීහොති” ඒ කියන්නේ ගත් ආහාර දිරවූ පසු කුසගිනි දැනීමෙන් නැවත ශරීරයට ආහාර අවශ්‍ය බව දැනුන පසු නැවත ආහාර ගැනීමයි. එවිට ඒ ආහාර හොඳින් දිරවා එහි අඩංගු පෝෂ්‍ය කොටස් ශරීරයට උරාගෙන ආයු වර්ණ සැප බල කියන ආනිසංස ලබා ගැනීමට හැකිවේ. අනිත් කාරණය ‘සීලවා ච’ සිල්වත් බවයි. අපි සිල්වත් බව හා එය ඇතිවන්නට හේතුවන කාරණා පිළිබඳව විස්තර වශයෙන් දැනගෙන තිබිය යුතුය.

තිසරණයේ පිහිටි තැනැත්තා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුගුණ හඳුනාගෙන පැහැදෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳවත් ගුණ දැනගෙන පැහැදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට සීලය වඩන සමාධිය වඩන ප්‍රඥාාව වඩන ශ්‍රාවකයන් වහන්සේලා ගැන පැහදෙනවා. ඒ ආකාරයෙන් මනා කොට ශ්‍රද්ධාවේ පිහිටනවා. එවිට ධර්මයට අනුව හිතන්න පටන් ගන්නවා. ඉන් පසු අකුසල විපාක වලට බය ඇති වනවා. කුසලයේ ආනිසංස වලට කැමත්තක් ඇති වනවා. එවිට සිල්වත් වන්නට චේතනාවක් ඇති වී සිල්වත් වනවා.

දීර්ඝායුෂ ලබන්න හේතු වන්නා වූ ඊළඟ කරුණ ‘කල්‍යාණ මිත්තෝ ච’ ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයන් ඇති බවයි. බුදුරජාණන් වහන්සේ වදාළා යම්කිසි කෙනෙක් තමාව ශ්‍රද්ධා සම්පත්තියේ සමාදන් කරවනවාද තමා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවනවාද ඒ තැනැත්තා කල්‍යාණ මිත්‍රයෙක් වේ. කළණ මිතුරා සිටින විට ඒ තැනැත්තා අපට ශ්‍රද්ධාව ගැන කියා දෙනවා. කියාදී සිල්වතුන් බවට පත්කරවනවා. ඒ සඳහා යොමු කරවනවා. ඒ වගේම අපට ත්‍යාගය ගැන කියා දී දන් දෙන්නට උනන්දු කරවනවා. ප්‍රඥාව ගැනත් කියා දෙනවා. ප්‍රඥාව කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒ ආකාරයෙන්ම දකින නුවණ අනිත්‍ය දේ අනිත්‍ය ලෙසත් දුක් දේවල් දුක් ලෙසත් අනාත්ම දේ අනාත්ම ලෙසත් දකින අවබෝධ කර ගන්න නුවණ තමයි ප්‍රඥාව කියල කියන්නේ.

කල්‍යාණ මිතුරකුගේ ඇසුර නිසා සම්පත් හතරක් ලබා ගැනීමේ වාසනාව ලැබෙනව. ඒ කියන්නේ සද්ධා, සීල, චාග, පඤ්ඤා වශයෙනි.

ඉතින් එම ගුණ හතරෙන් යුතු තැනැත්තා නිරන්තරයෙන්ම දන් දෙනවා. සිල් රකිනවා. භාවනා කරනවා. නෙයෙක් ආකාරයෙන් බොහෝ කොට තමන්ගේ් ජීවිතයෙන් කුසල් සිද්ධ කර ගන්නවා පින් කර ගන්නවා. මේ පුණ්‍ය ශක්තිය තුළින් ආයු වර්ණ සැප බල ලැබෙන බව බුද්ධ දේශනාෙවි සඳහන් වනවා. මේ සියල්ලම ලබාගන්නට උපකාර වෙන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරයි.

පින්වතුනි, මේ ධර්ම දේශනාවේදී අද අපි දීර්ඝායුෂ ලැබීමට හේතු වන කරුණු පිළිබඳව බුද්ධ දේශනා ඇසුරින් යම් ආකාරයක දැනුමක් ලබා ගත්තා. ඉතින් ඒ ධර්ම කරුණු තම තමන්ගේ ජීවිත වලට එක්කර ගෙන සෑම දෙනාටම බොහෝ කල් ජීවත් වන්නට වාසනාව ලැබේවා.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.