| ධම්මපද සැහැල්ල - 5 වන කොටසබණ්ඩාර මඩුගල්ලේ 
			අප්පමාද වග්ගය 
			21.අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනො පදංඅප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා
 
			 
			පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත 
			යන්නේ ය. පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය. ලෝකයේ සනාතන - දහම එය 
			වන්නේය. පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති. පමා වන්නෝ නිසැක ලෙස 
			මරණය ම ලබති. 
			හිතවතුනි , තුන් දොරින් - සංවරව පින් කරන - තැනැත්තෝ නිරතුරුව - නො 
			පැරදී ජය ලබති. තුන් දොරින් අසංවර -පව් කරන තැනැත්තෝ - නිරතුරුව දුක් 
			විඳිති. දැඩි පරාජය ලබති. පින් කරන තැනැත්තා - සමාජය පිළි ගනී. මරණයෙන් 
			පසුව නම- අමරණීයව රැකේ. පව් කරන්නා ලොවේ - කිසි කෙනෙක් නො සලකති. 
			මැරෙන්නට පළමුව ද- හේ මැරුණු කෙනෙකු මෙනි. 
			 
			22. එතං විසෙසතො ඤත්වා - අප්පමාදම්හි පණ්ඩිතාඅප්පමාදෙ පමොදන්ති – අරියානං ගොචරෙ රතා
 
			මා, නොපමා දෙකේ- වෙනස දත් නැණැත්තෝ - නිතර බුදු මග අනුව - ජීවිතය ගත 
			කරති. එසේ කල් ගෙවීමෙන් ලැබෙන මහ කුසලයෙන් -මෙලෝ පරලෝ දෙකම සරු කරති. 
			සතුටු වෙති...- 
			හිතවතුනි- නුවණැතිව , පමා- නොපමා දෙකේ වෙනස දැන ජීවිතය- හසුරුවා ගත 
			යුතුය. තුන් දොරින් සුසංවර -පමා නැති ජීවිතය- අඩුපාඩුවක් නැතිව- සරුසාර 
			වන්නේ ය. කුසලයට නොපමාව - අනලස්ව හැසිරෙන්න. ඒ අනුව නිසැකව ම - ජය ම 
			හිමි කර ගන්න. 
			23.තෙ ඣායිනො සාතතිකා - නිච්චං දළ්හ පරක්කමාඵුසන්ති ධීරා නිබ්බානං - යොගකේඛමං අනුත්තරං
 
			නැණැත්තෝ නිරතුරුව - දැහැන් වඩවා ගනිති. නිරතුරුව දැඩි සිතින්- වීරිය 
			බල රැක ගනිති. එම නිසා කෙමෙන් හැම- බැමි වලින් නිදහස්ව- අනුත්තර වූ අමා 
			-මහ නිවන් සුව ලබති. 
			හිතවතුනි, නැණැත්තෝ - මුළු දවස තිස්සේම - අකුසලයට ඉඩ නොදී- තුන් දොරම 
			රැක ගනිති. එවිට දවසේ සියලු -දේ සඵල වන්නේය. සසල සිත නිසල වී- සැනසුම 
			ලැබෙන්නේ ය. 
			24.උට්ඨානවතො සතිමතො - සුචිකම්මස්ස නිසම්මකාරිනොසඤ්ඤතස්ස ච ධම්මජීවිනො - අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති
 
			නොපිරිහුනු දිරිය ඇති- දැහැමි වූ තැනැත්තේ තුන් දොරම හසුරුවන- 
			අප්‍රමාදී කෙනෙකි. ලෝකයේ පැතිර යන කිතු ගොසක් ඇති කෙනෙකි. 
			හිතවතුනි, තුන් දොරින් - සුසංවර තැනැත්තා- නිසැකවම පමා නැත. මහ විරිය 
			ඇති කෙනෙකි. එබඳු වූ තැනැත්තෝ -ජය ම හිමි කර ගනිති. ලෝකයා ගරු කරන - 
			උසස් තනතුරු ලබති. 
			මතු සම්බන්ධයි 
			  |