Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අග මහ පඬි රුවන නමදිමි



සුගත් සාසන විලෙහි විකසිත සියපතක් ලෙස සුවඳ විහිදන
මහත් යස ගොස දහම් දෙසුමෙන් පතුරුවන දෙස් විදෙස් සැමතැන
සමත් විසිතුරු ලෙස බිණීමට කුමර කස්සප තෙරිඳු සිහිවන
යුගත් මුහුනත තබා නමදිමි දහම්වස් නා සමිඳු බැතියෙන

ගමේ කොටුගොඩ දිනුව අනුනා සමිඳු විත් ගල්කිස්ස අරමට
දමේ ලෙස උණවටුණෙ දම්පල් මහිමි ගෙන ඇදුරිඳුව විලසට
ලැමේ තිබූ බුදු බැතිය අනුව ම දැම්ම අරිහත් ධජය කරවට
නමේ ලෙසට ම තබාගෙන ඇති දිලෙන අයුරින් කියනු මොනවට

උගෙන හෙළ සකු මගද ඉංගී‍්‍රසි පෙළ දහම ගැන වෙමින් වෙසරද
බෙදන ලොවට ම දහම් අමරස අවිදු ගනඳුරු පටල සිඳ බිඳ
ලබන හරසර දෙස් විදෙස්වල දහම් ජය දද කෙහෙළි බැඳ බැඳ
පුරණ වැනි පාරමී අනුනා සමිඳු ලැබ ගනු පිණිස සෙට පද

දිවි මගේ සත් සැත්තැ කඩඉම ඉකුත් වී යන මේ වෙලාවේ
රිවි වගේ හෙළ දැයට පායපු එළිය දෙයි නො වැටී මුළාවේ
අවි යුගේ බැහැරව ගොසින් රට සෙමෙහි පවතින මං තලාවේ
සවි නැගේ රට කරන පිරිසට සමිඳු දෙන අනුසා සනාවේ

අවැසි විට දී මියුරු කව්පද ගොතයි බුදුගුණ රසය නංගා
නිවැසි යෙකි සරසවිය හිමි ළඟ මුවට සුරතට සිටින රිංගා
රහසි වම ලිව් පාලි ගාථා එමට ඇත කතුතුමා හංගා
හෙවිසි හොරණෑ නොමැත මේවට පෙනෙයි නාහිමි ගුණය තුංගා

අග්ග මහ පඬි පදවි ලැබගෙන මියන්මාරය පුදන වියතට
නැග්ග ඉහළම තැනට අනුනා සමිඳු ගැන දැන සිටී රට තොට
සංග සබයෙහි අමරපුර නක සභාපති වී කරන මෙහෙයට
සග්ග ලෙවෙහි ද සුරිඳු වනු ඇත පමුකයා වී සුදම් සබයට

මහත් කිත් යස පතුරුවන ලොවැ දම් මඟට අනුගතව වී හැඩ
සුගත් සාසන රකින තිර ලෙස විනය සික පද කරන් නොම කඩ
පවත් වා බණ දහම් තව තව ලබා දී දෙව් ලොවෙහි ඉඩ කඩ
මගෙත් ආයුෂ රැගෙන අනුනා සමිඳු කළ මැන තවත් ලෝ වැඩ

 

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.