Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ අධිකරණ ක්‍රමය

බුදුන් වහන්සේ භික්‍ෂූන්ගේ පැමිණිලි විභාග කිරීමට ක්‍රම 04 ක් පෙන්වා දුන්හ.එයට අප සංඝාධිකරණ යැයි කියමු. එම සංඝාධිකරණ ක්‍රම 04 නම්,

1. පරිපූරක සංඝ සභාවක් මඟින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමයි.
2. එම ආවාසයේම කොමිටියක් පත් කරගෙන එයට තීන්දු ප්‍රකාශ කිරීමට බලය ලබාදීම.
3. වෙනත් ආරාමයක භික්‍ෂූන් වහන්සේට පැමිණිල්ල ඉදිරිපත් කොට තීන්දුව ලබා ගැනීම.
4. සංඝ සභාවේ බහුතර ඡන්දයෙන් තීරණ ගැනීම.

මෙහි දක්වා ඇති මෙම ක්‍රම 4 ක්‍රමානුකූලව පිළිපැදිය යුතු ඒවා වෙති. උදාහරණයක් ගෙන බලනවා නම් මෙම සංඝසභාවට යම්කිසි පැමිණිල්ලක් විභාග කොට තීන්දුවක් දීමට බැරි වූ නිසා හතරවැනි ක්‍රමය වූ බහුතර ඡන්දයෙන් තීරණ ගැනීම සඳහා මෙම පැමිණිල්ල විභාගයට ගනු ලබයි. මෙසේ බලන විට පළමුවැනි ක්‍රමය අසාර්ථක වුවහොත්, දෙවන ක්‍රමයද, එයත් අසාර්ථක වුවහොත් තුන්වැනි ක්‍රමයද, තුන්වන ක්‍රමය අසාර්ථ වූවහොත් හතර වන ක්‍රමයද පැමිණිලි විසඳීමට ගන්නා බව පෙනේ. අවසාන තීරණය වන්නේ බහුතර ඡන්දයෙන් ගන්නා තීරණයයි. මෙමඟින් පෙනී යන්නේ නූතන ප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණවලට මෙම සංඝාධිකරණ ක්‍රම ළං වූ බවයි. අවුරුදු 2500 කට අධික ඉතිහාසයක් සංඝාධිකරණවලට තිබේ. සංඝාධිකරණ ක්‍රමය යටතේ දක්නට ලැබෙන ප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණයක් ලෙස මෙම අධිකරණ සමථ පෙන්වා දිය හැකි ය. ඒවා නම් මෙසේ ය.

1. විවාදාධිකරණ
2.අනුවාදිකරණ
3.ආපතනා අධිකරණ
4. කිචිචාධිකරණ

මෙම අධිකරණ ක්‍රමය තුළ දක්නට ඇත්තේ ස්වාධීනත්වය හා අපක්‍ෂපාතීත්වයයි. අපට කළින් දැක් වූ අධිකරණ සමථ හතර දක්නට ඇත්තේ චුල්ලවග්ගයේ සමථකඛන්ධකයේ සම ම. නිකායේ සමගාමී සූත්‍රයේ ය.

ඉහතින් සඳහන් කළ නඩු වර්ග 4 විසදන ක්‍රම 7 ක් අපට චුල්ලවග්ගයේ දක්නට ලැබේ. ඒවා නම් මෙසේ ය.

1. සම්මුඛ විනය
2. සති විනය
3. අමුල්හ විනය
4.පටිඤ්ඤාහ විනය
5. යෙහය්‍ය සිකවිනය
6.තස්සපාපීය සිකවිනය
7.තිණවත්ථාරක විනය

ඉහත දැක් වූ පැමිණිලි වර්ග විසදන ක්‍රම 07 කෙසේ උපයෝගී කර ගන්නේ දැයි විමසා බැලිය යුතු ය.

විවාදාධිකරණ නඩුවක් විසඳිය යුතු ක්‍රමය වශයෙන් සම්මුඛා විනය යෙභූය්‍යසිකා විනය දක්වා තිබේ. අනුවාධිකරණ නඩුවක් විසඳිය යුතු ක්‍රම වශයෙන්, සම්මුඛා විනය, සති විනය, අමුල්භ විනය, තස්සපාපීයසිකා විනය දක්වා තිබේ. ආපත්තාධිකරණ නඩුවක් විසඳන ක්‍රමය වශයෙන් පටිඤ්ඤාහකරණ විනය, තිණවත්ථාරක විනය දක්වා තිබේ. කිච්චාධිකරණ නඩුවක් විසඳන ක්‍රමය වශයෙන් සම්මුඛා විනය දක්වා තිබේ.මේ ආකාරයෙන් නඩු වර්ග 4 විසඳන ක්‍රම 07 ක් ඇති බව අපට පැහැදිලිවිණි. එම ක්‍රම 7 ගැන අප සලකා බැලිය යුතු ය. ඒවා ගැන කතා කිරීමේ දී නූතන අධිකරණයේ ඇති ප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණ සමඟ සසඳා බැලීම ද කළ යුතු ය.

පළමුවෙන්ම අප විසින් පළමුවැනි කරුණ වූ සම්මුඛා විනය ගැන විමසා බලමු. සම්මුඛා විනය සෑම නඩු වර්ගයකටම පොදු වූ විසඳුම් ක්‍රමයකි. සම්මුඛා විනයෙන් අදහස් කරන්නේ චූදිතයා ඉදිරියේ ඔහුට විරුද්ධව ඇති පැමිණිල්ල විභාග කළ යුතුය යන්නය. මෙහිදී චූදිතයාට තම නිදහස වෙනුවෙන් කරුණු කියාපෑමටත්, පැමිණිල්ලෙන් ප්‍රශ්න ඇසීමටත් අයිතිය ද දී තිබේ. සංඝයා අතර ඇතිවන නඩුහබ හැකිතාක් දුරට සම්මුඛා විනයෙන් විසඳාගත යුතු යැයි චුල්ලවග්ගයේ සඳහන් වෙයි. සම්මුඛා විනයද පිළිපැදිය යුතු කොන්දේසි හතරක් වර්තමානයේ දී අපට පෙන්වා දෙයි.

1. චූදිතයා ඉදිරියේ නඩුවිභාග කිරීම.
2. එම නඩු විභාගය සඳහා නියමිත භික්‍ෂූන් සංඛ්‍යාවක් සිටීම.
3.එම නඩු විභාගයට අදාළ විනය නීතිය නිවැරැදිව පිළිපැදීම.
4. අවසාන තීන්දුව ධර්මයට අනුකූ®ල වීම.

සම්මුඛා විනයෙන් ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට බැරිවුවහොත් වෙනත් ආවාසයක භික්‍ෂූන් පිරිසක් වෙත එම පැමිණිල්ල යොමු කළ යුතු ය. එහිදී ද එම ප්‍රශ්න නිරාකරණය කරන්නට බැරිවුවහොත් තම ආවාසයේම පත් කර ගන්නා ලද කමිටුවකට එම ප්‍රශ්නය බාර කළ යුතු ය. එම කමිටුවටද එම ප්‍රශ්නය විසඳීමට බැරිවුවහොත් නැවතත් එය සංඝ සභාවට ඉදිරිපත් කළ යුතු ය. මෙම කරුණු දෙස බැලීමේ දී මේවා වර්තමාන අධිකරණයේ දී ප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණවලට කෙතරම් සමීපදැයි පෙනී යනු ඇත.

සතිවිනය අනුව සම්පූර්ණ සිහියෙන් ක්‍රියාකරන පුද්ගලයකු අතින් වැරැද්දක් සිදුවිය නොහැකිය යන සිතා ගැනීම යටතේ මෙම විසඳුම් ක්‍රමය ඉදිරිපත් කර තිබේ.

මෙමඟින් අදහස් කරනු ලබන්නේ රහත්ඵල ලැබූ භික්‍ෂූන් වහන්සේ බව චුල්ලවග්ගයේ එන විස්තරයෙන් පැහැදිලි වෙයි. ඊට අමතරව සතිවිනය මඟින් කිසියම් නඩුවක් විසඳීමට කරුණු 5ක් සම්පූර්ණ විය යුතු බව සඳහන් කර ඇත. එම කරුණු 5 අනුවද ඒවා වර්තමාන අධිකරණ විසින් පිළිගන්න සමහර ලක්‍ෂණයන්ගෙන් යුක්ත බව කිව යුතු ය.

විනය ගැන සඳහන් කිරීම යටතේ විස්තර වනලෙස යමෙකුට දඬුවම් දිය හැක්කේ ඔහු සිහි බුද්ධියෙන් සිටි අවස්ථාවකදී කළ වරදක් සම්බන්ධයෙන් පමණි. විශේෂයෙන් සඳහන් කරනවානම් උමතුව සිටි අවස්ථාවේ කළ වැරැද්දක් සම්බන්ධව ඔහුට දඬුවම්දිය නොහැකි ය. වර්තමාන අධිකරණ ක්‍රමය යටතේ යමක් උමතුව සිටි අවස්ථාවේදී පමණක් නොව හදිසි කෝපයකින් ක්‍රියා කළ අවස්ථාවේ කරන වරදක් සම්බන්ධයෙන් ද දඬුවම් ලිහිල් කරනු ලබන්නේ මේ කරුණුවල බරපතලකම ගැන සළකා බලා ය.

පටිඤ්ඤාහකරණ විනය යන්නෙන් අදහස් කරන්නේ වරදකරු තම වරද පිළිගන්නාතුරු ඔහුට දඬුවම් නොකළ යුතුය යන්නයි. චුල්ලවග්ගයේ එන ආකාරයට ලඝුක (කුඩා) ඇවැතකට පත්වූ භික්‍ෂුවක් තමන් භික්‍ෂුවක් ඉදිරියේ හෝ කිහිප දෙනෙකු ඉදිරියේ ඇවැත් දෙසිය යුතු වේ. එසේ නොකළ අවස්ථාවකදී ඔහු කරන ලද වරද ඔහුට ඒත්තු ගන්වා එම භික්‍ෂුවගෙන් පාපොච්චාරණයක් ලබා ගත යුතු ය. අනියත ආපත්තියකට අනුව එබඳු ආපත්තියකට ලක් වූ භික්‍ෂුවක් වරද පිළිගන්නාතුරු සංඝාධිකරණයද මේ හා සමාන ලක්‍ෂණයක් කෙළින්ම දක්නට නැතත් ඒ සමානව අධිකරණය ඉදිරියේ ඉදිරිපත්වන සාක්‍ෂි අනුව පුද්ගලයකු වරදකරුවෙකු යැයි ඔප්පුවනතුරු ඔහු නිර්දෝශී පුද්ගලයකු වෙයි.

නඩු වර්ග විසඳන ක්‍රම 7 න් පස්වැනි ක්‍රමය ගැන එනම් යේභුය්‍යසිකා විනය ගැන අවධානය යොමු කළ යුතු ය. භික්‍ෂූන් අතර කලහ කර ගැනීමට සහ විවාදකරගැනීමට තුඩුදෙන්නා වූ අර්බුද විසඳන ක්‍රමය ලෙස මෙය හඳුන්වා දිය හැකි ය. භික්‍ෂූන් අතර ඇති වූ යම්කිසි කලහයක් සම්මුඛා විනයෙන් විසඳීමට බැරිවුවහොත් එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට සංඝයා අතුරෙන් කමිටුවක් උබ්බාභිකාවක් පත් කළ යුතු ය. එම ප්‍රශ්න උබ්බාහිකාවට නිරාකරණය කිරීමට බැරිවුවහොත් එම ප්‍රශ්නය විසඳන අවසාන ක්‍රියා මාර්ගය ලෙස යේභුය්‍යසිකා විනය දක්වා තිබේ. යේභුය්‍යසිකා විනය යනුවෙන් අදහස් කරන්නේ වැඩිදෙනාගේ ඡන්දයෙන් එම ප්‍රශ්නය විසඳන ආකාරයයි. මේ සඳහා ගුණාංග හතරකින් එනම්, ඡන්ද, ද්වේෂ, භය, මෝහය යන කරුණු සතරින් අගතියට නොගියා වූ යුක්ති ගරුක පුද්ගලයෙකු විය යුතු ය. මෙම සලාකග්ගාපක භික්‍ෂුවට ද ඇති බලතල වර්තමානයේ එම තනතුරු දරන ඡන්ද ගණන් කරන නිලධාරියාට හිමිවනුයේ එම ඡන්ද විමසීමේදී පක්‍ෂව හා විපක්‍ෂව ලැබුණු නිවැරදිව තෝරා බේරාගෙන ඒ අනුව ඡන්ද දායකයින්ගේ තීරණ ප්‍රකාශයට පත් කිරීමයි. නමුත් සලාකග්ගාපක භික්‍ෂුවට අයිති වන්නේ ඡන්ද දායකයින්ගේ තීරණ ප්‍රකාශ කිරීමට නොවේ. ඡන්ද දායකයින්ගේ තීරණය නිවැරදි නොවේ යැයි හැඟේනම්, ඔහුට එම තීන්දුව ප්‍රතික්ෂේප කිරීමට බලය හිමිවේ. ඔහු ඡන්ද ක්‍රම 3 උපයෝගී කර ගනියි.

1.ගුල්හක
2.සකණ්ණජපජක
3.විවටක

1. ගුල්හක යනු කුමක්දැයි කියා විමසා බලමු. ගුල්හක යනු රහස් ඡන්දයයි. කණට කොඳුරා කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමේ ක්‍රමය සකණ්ණජප්පක ක්‍රමයයි. විවටක යනු අත ඔසවා කැමැත්ත ප්‍රකාශ කිරීමයි. බුද්ධඝෝෂ හිමියන් පවසන පරිදි ගුල්හක ඡන්ද ක්‍රමය පාවිච්චි කරන්නේ සභාව කළහකාරී වූ විටකය. සකණ්ණජප්පක ක්‍රමය භාවිතා කරන්නේ සභාවේ වැඩිදෙනා නූගත් අය වූ විටය. විවටක ක්‍රමය භාවිතා කරන්නේ ධර්මවාදීන් බහුල වූ විටය. මෙහි භාවිතා කරන ඡන්ද ක්‍රමය පිළිබඳ සම්පූර්ණ වගකීම වැරැදි යැයි හැඟේ නම් තුන්වනවර තෙක් ඡන්ද විමසීමේ බලය ඔහුට හිමිවේ. අවසානයේ ලබන තීන්දුව වූවද ධර්මයට අනුකූල නොවේ නම්, එම තීන්දුව ප්‍රතික්ෂේප කිරීමේ බලය ඇත. බුද්ධඝෝෂ හිමියන් පවසන ආකාරයට තුන්වන වරටත් අධර්මවාදීන් ජයගෙන ඇත්නම් එහිදී සලාක ගහපක භික්‍ෂුව අද දින අසුබ දිනයක් යැයි ප්‍රකාශ කොට නැවත හෙට ආරම්භ කරන බව පැවසීමට පුළුවන. සංඝ සභාවේ ආරවුලක් විසඳන අවසාන ක්‍රමය වන්නේ බහුතර තීරණ ගැනීමේ ක්‍රමයයි. යෙභුය්‍යසිකා අධිකරණ සමථ ක්‍රමය මඟින් භේද ඇති විටක එයින් වැළකී සිටිය යුතු බව චුල්ල වග්ගයේද සඳහන් වේ. මෙම ඡන්ද ක්‍රමය නිවැරැදි ක්‍රමයක් වීමට නම් ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය සුදුස්සාට පමණක් ප්‍රදානය කළ යුතු බවයි. එසේම බුදුන් වහන්සේ බහුතර ඡන්ද ක්‍රමය පිළිගෙන ඇති අතර සුදුස්සන්ට පමණක් ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය දීමේ වැදගත්කම පෙන්වා දී ඇත. තස්සපාපීය සිකා විනය මඟින් එහිදී සිදුකරන්නේ යම් වරදකාරී භික්‍ෂුවක් පාපියෙක් ලෙස නම් කිරීමයි. යම් භික්‍ෂුවක් යම් යම් දේ දැන දැනත් නොදන්නා බව කියයිද පරස්පර දේ කියයිද ඔහුට මෙම තස්සපාපීය සිකා විනය ක්‍රමය යටතේ දඬුවම් කළ යුතු ය.

තිරවත්ථාරක විනය යනුවෙන් අවසාන නඩු වර්ග විසඳන ක්‍රමය දක්වා ඇත. එකිනෙකා කෙරෙහි දොස් පවරමින් චෝදනා කරමින් කලහකාරී භික්‍ෂූන් උදෙසා උපයෝගී කර ගත යුතු අධිකරණ ක්‍රමයක් ලෙස දැක්විය හැකි ය. භික්‍ෂූන්ගේ සුළු සුළු වැරැදි සම්බන්ධයෙන් මෙම ක්‍රමය උපයෝගී කර ගැනීමට නිර්දේශ කර නැත. විනයේ සඳහන් ආකාරයට සෑම නීතියක්ම බුදුන් වහන්සේ පනවා ඇත්තේ යම්කිසි සිද්ධියක් කරණකොට ගෙන මිස කිසියම් පරමාර්ථයක් මුල් කරගෙන නොවේ. යම්කිසි සිද්ධියක් අරබයා බුදුන්වහන්සේ විනය නීති පනවා ඇත. බුදුන්වහන්සේ කිසිවිටෙක නීති සම්පාදකයෙකු ලෙස ක්‍රියාකොට නැත. බුදුන්වහන්සේ පැනවූ විනය නීතිවල ඇති සුවිශේෂ ලක්‍ෂණය වන්නේ ඒවා හුදෙක් මහජනතාවගේ ඉල්ලීම නිසා හෝ සමාජමය අවශ්‍යතාවය කරණකොටගෙන ඒවා පනවා තිබීමයි. වර්තමාන ප්‍රජාත්‍රන්තවාදී රටවල දක්නට ඇති සුවිශේෂ ලක්‍ෂණය වන්නේ ඒවායේ පිළිඹිබුවන මහජන කැමැත්තයි. මෙවැනි නීතියක් දක්නට ලැබෙන්නේ බෞද්ධ විනය නීතිරීතිවල පමණක් බව කිව යුතු ය. සැරියුත් හිමියන්ගේ ඉල්ලීමට අනුවද විනය නීති පැනවීමට සිදුවීම ගැන බුදුන් වහන්සේ සංවේගයට පත් වූ ආකාරය දක්වා තිබේ. බුදුන්වහන්සේ විසින් පැන වූ විනය නීති සියල්ලම විටෙක ශ්‍රාවකයින්ගේ ඉල්ලීම මත හෝ නැතිනම් පාලකයින්ගේ මහජනතාවගේ ඉල්ලීම මත පැන වූ ඒවායි. පාමොක් දෙසීමද ජනතාව විසින් කළ ඉල්ලීමකි. පාංශුකූල චීවරය පමණක් ශ්‍රාවකයින්ට නියම කළත්, සමාජ අවශ්‍යතාවය අනුව ගිහියන් විසින් පිළියෙළ කළ සිවුරු පිළිගැනීමට අනුදැන වදාළහ. පාවහන් සම්බන්ධව පැන වූ විනය නීතියද දසවතාවකට වැඩි වතාවක් සංශෝධනය කිරීමෙන් ද පෙනී යන්නේ බුදුන්වහන්සේ පැන වූ විනය නීති එක දිගට පවත්වාගෙන යාමට කැමැත්තක් නොදැක් වූ බව ආනන්ද, “භික්‍ෂු සංඝයා කැමති නම් බුද්ධානු ඛුද්දක ශික්‍ෂාපද වෙනස් කළාට කම් නැතැයි” පැවසීමෙන් පැහැදිලි වේ. මෙය අනාගතය බලා කළ ප්‍රකාශනයකි. අනාගතයේ දී විනය නීතිවල වෙනස්කම් සිදුවිය යුතු බව උන්වහන්සේ පිළිගත්හ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.