Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තාක්ෂණය කෙරෙහි වූ සැබෑ බෞද්ධ ආකල්ප

විනය පිටකයෙහි බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයනට උපදෙස් දෙන පරිදි, බුද්ධ වචනය ඒ ඒ තැතැන්තා උගත යුත්තේ තමාගේම වූ ප්‍රකාශනයෙනි. මෙය, සංස්කෘතවේදයේ එන බ්‍රාහ්මණ ආධිපත්‍යයට වෙනස් වූවකි. එබැවින් සන්නිවේදනය පරිපූර්ණ කෙරෙන නව මාන සඳහා අනු බලදීම බුදු දහමෙන් සිදුවේ. බෞද්ධාගම ආයතනගත කිරීම සමඟ එම ආගමික ආයතනයන්ට ඒවායේ පැවැත්ම වෙනුවෙන් මූල්‍ය හා ද්‍රව්‍යමය ආධාර ඇවැසි වේ. නව තාක්‍ෂණය උපුටා ගැනීම හා ඒ ඔස්සේ ඉදිරියට යාම ඊට අනුබලයකි.

බෞද්ධාගම හා තාක්ෂණය අතර පවත්නා සම්බන්ධතාව, අක්ෂර සංයෝග විසින් අන්ධකාර කෙරී ඇත. නාගරික ධර්මය (Urban Dharma) යන අරුත් ඇති අන්තර්ජාල පිවිසුමෙහි ජෝන් ඩයර් (John Dwyer) කියන පරිදි, ‘දෘඪ ආරාමවාසී සමාජවල පවත්නා සියලු ආකාර තාක්ෂණික ආකෘති පාහේ නිෂ්ප්‍රයෝජණවත් දේ යැයි හැඟෙන්නේ ඒවායින් යමෙකුගේ අධ්‍යාත්මික ගමන ඉදිරියට ගෙන නොයන බැවිනි’ එසේම, පීටර් හර්ස්කොක් (Peter Herschock) සිය තොරතුරු යුගයේ බෞද්ධාගම (Buddhism in the Information Age) යන අරුත් ගත් පොතෙහි දක්වා ඇති පරිදි, ‘බෞද්ධ තාක්ෂණයන් මුල් බැස ඇත්තේ මූලික වශයෙන් සැළකිලිමත් බව පුහුණු කෙරෙන හා අවධානය සම්පූර්ණ කෙරෙන සමාජ තාක්ෂණයන්හිය’.

මෙබඳු දෘෂ්ටි, දෘෂ්ටි වශයෙන් වැරදි නොවන නමුත් ඒවා පදනම්ව ඇත්තේ පරමාදර්ශගත අදහස් මතය. ඒ වෙනුවට පොදු අරුතින් ගත් විට, බෞද්ධ සම්ප්‍රදාය, නව තාක්ෂණයට අනුගතවීම සඳහා දැඩි උනන්දුවක් දක්වන අතර, එම උනන්දුව, බෞද්ධාගමේ මෙහෙවර වෙනුවෙන්ද සේවය කරයි. ලේඛන ක්‍රමය හා මුද්‍රණ ක්‍රමය හඳුන්වාදීම, විද්‍යුත් මාධ්‍යයේ විප්ලවය සහ කලා හා වාස්තු විද්‍යාත්මක අංශවල උදාහරණ ඊට අයත්ය.

මතු පරපුරට මගක් : ලේඛන ක්‍රමය

බුද්ධ පරිනිර්වාණය හා අශෝක අධිරාජයාගේ පාලන සමය අතර කාලයේදී ඉන්දියාවෙහි ලේඛන කලාව බිහිවී ඇත. (ක්‍රි.පූ. 273-232). අශෝක අධිරාජයා ඉන්දියාව පුරා ගල් කුළුනුවල සිය ආඥා කෙටූ බව ප්‍රසිද්ධ කරුණකි.පැරණිතම බෞද්ධ සෙල්ලිපි, මධ්‍යම ඉන්දියාවේ භාරුට්හිදී ලැබී තිබේ. ඒවා ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවස මැද භාගය හා ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවස මැද භාගය අතර කාලයට අයත්ය. බෞද්ධ ආරාමද ඇතුළත්ව නව ගොඩනැගිලි තැනීම සඳහා අනුග්‍රහය දැක්වූවන්ගේ නාමලේඛන ඒවායේ කොටා ඇත. ලේඛන කලාව පිළිබඳ පවත්නා ආදීතම ඓතිහාසික සාක්ෂිය වනුයේ ත්‍රිපිටක කොටස් ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳ ඇති ශ්‍රී ලාංකික වංශකථා විස්තරයන්ය. ඒවාට අනුව වට්ඨ ගාමිණී අභය රජුගේ කාලයේදී බෞද්ධ නීතියේ චිරාත් කාලීන පැවැත්ම වෙනුවෙන්’ ඒවා ලේඛනගත කෙරී ඇත. (මහා වංශය 33.100-101).


ගී‍්‍රක, රෝමානු සම්ප්‍රදාය හා ගන්ධාර කලාවේ බුදු පිළිම අතර සබඳතා

ගන්ධාරයෙන් ලැබී ඇති කරෝෂි - අක්ෂරයෙන් ලියැවුනු බෞද්ධ අත් පිටපත්, කාබන් ක්‍රමයට අනුව විද්‍යාත්මකව ගණන් බලා ඇති පරිදි, ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසත් – ක්‍රිස්තු වර්ෂ තුන්වෙනි සියවසත් අතර කාලයට අයත්වේ. දැනට ඉතිරිව පවත්නා ඒවායේ පලමු පිටපත්, ක්‍රිස්තු වර්ෂය ආරම්භයේ මුල් පනස් වසර තුළ ලියැවුනු ඒවායැයි විශ්වාස කෙරේ. විවිධ ධර්මධරයින් විසින් ලියන ලද, අත් පිටපත් විසිනවයක (29) කොටස් ඇතුළත්, පැරණි හා ඉරීගිය එකතුවක් ඊට අයත්ය. ඉන් සමහරක්, අක්ෂර දෝෂ සහිතවූ දෙවෙනි පිටපත් බවද පෙනේ.

අතිරේක කරුණුද ගෙන බලන විට, එම පිටපත්හි ඇත්තේ එකල්හි වූ ගන්ධාර ලේඛන කලාව බව පෙනේ. එක් එක් රචකයාගේ අත් අකුරු වෙනස් අතර, කාලයත් සමග ඒවා ගැන වෙන වෙනම කීමද අපහසුව තිබේ. එසේම, එම ආරම්භක පිටපත් ලියා ඇත්තේ බර්ච් (Berch) පිටපොතුවලින් සකස් කරගත් රෝල්වලය. දෙවෙනි හා තුන්වෙනි සියවස්වලට අයත් ඇෆ්ඝනිස්ථානයේ බාමියන්හි පුස්කොළ පිටපත්ද, තුන්වෙනි සියවස තරම් ඈතකදී මධ්‍යම ආසියාව හරහා හඳුන්වා දී ඇති කඩදාසිද, සමග සාපේක්ෂව බලන විට, මෙම බර්ච් පිටපත් ලෙහෙසියෙන් පලුදුවේ.

එම ලේඛන ක්‍රමයෙහි විධිමත් රටාවක්ද නැත. පොදුවේ, එම ගන්ධාර පිටපත්වලින් පෙනීයන්නේ, නොපැසුණු ලේඛන තාක්ෂණයකි. ඒවා, පාලි වංශ කථාවල සඳහන් ශ්‍රී ලාංකික ප්‍රථම ලේඛන හා සමගාමීව ක්‍රිස්තු පූර්ව පළමුවෙනි සියවසේදී පමණ ලියැවී ඇතැයි කිව හැක. ඒ අනුව, ආගමික ධර්මයේ එකතුවක් ලේඛනගත කළ මුල්ම ඉන්දීය ආගම වශයෙන් බෞද්ධාගම වැදගත්ය. ඒ වෙනුවට, පැරණිතම වේද අත් පිටපත් අවුරුදු දහසකට එහා නොයන අතර ජෛන හා සෙරොස්ටර් ආගමික ප්‍රථම පිටපත් ලියැවී ඇත්තේ අටවෙනි හා නවවෙනි සියවස්වලදීය.

බෞද්ධ ධර්මය ප්‍රථමයෙන් ග්‍රන්ථාරූඪ කළ ශ්‍රී ලංකාවෙන් ලැබී ඇති සාක්ෂි අනුව පෙනී යන්නේද , එම ආගමේ ඉගැන්වීම්, මතු පරම්පරාව සඳහා රැක ගැනීමට ඒවා ලේඛනගත කෙරුණු බවයි.ආගමික ව්‍යාප්තියටද ඉන් ප්‍රයෝජන ලබා ඇති අතර,එහිදී චීනයට හා ටිබෙටයට එම පිටපත් විශාල වශයෙන් යවා ඇත. චීන බුදු දහමේ ආරම්භක කැපී පෙනෙන්නෙක් වූ දාඕආන් (Dao-an), බෞද්ධ පිටපත් ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියාවට යාම සඳහා චීන භික්ෂූන් උනන්දුකොට තිබේ. දාඕ-ආන්ගේ ශිෂ්‍යයෙකු විය හැකි ෆාහියන්, ක්‍රි. වර්ෂ 399-413 අතර කාලයේදී ඉන්දියාවට පැමිණ බෞද්ධ ලියැවිලි බොහොමයක් පිටපත් කොට ගෙන ඇත. ක්‍රි.වර්ෂ 629 –643 අතර කාලයේදී හියුංසාද එයම කර තිබේ. ඊට කලකට පසු මාපා සහ තවත් අය ඉන්දියාවෙන් ටිබෙටයට බෞද්ධ ලේඛන පිටපත් රැගෙන ගොස් තිබේ.

මුද්‍රණය : හිමිකාරත්වයෙහි විසිරීම හා කාර්යක්ෂමතාවයෙහි නැගීම


ජපානයේ අන්තර්ජාතික සහයෝගිතා මධ්‍යස්ථානය කරන ලද පර්යේෂණ අනුව ඇෆ්ගනිස්ථානයේ බාමියන් ගුහා තුළ ඇති බිතු සිතුවම් ලොව ප්‍රථම තෙල් සායම් ලෙස හඳුනා ගෙන ඇත. එවැනි තෙල් සායම් මඟින් සිතුවම් කර ඇති බාමියන් ගුහා තුළ ඇති සිතුවමක්.

හිමිකාරත්වයෙහි/අධිකාරත්වයෙහි සලකුණක් ලෙස පැරණි ලෝකය පුරා භාවිතා කෙරුණු මුද්‍රා (seal) හා මුද්‍රා තැබීම් මුද්‍රණ තාක්ෂණයෙහි වැදගත් පූර්ව අවස්ථාවකි. සමහර පැරැණි ආරාම මුද්‍රාවලින් ඔප්පු වී ඇත්තේ බෞද්ධ ආයතන විසින් ඒවා භාවිතා කොට ඇති බවයි. අටවෙනි සියවස වන විට, එබඳු පෙළ සහිත මුද්‍රා, සිල් රෙදිවල හා අලංකාර කඩදාසිවල සැකසූ මෝස්තර සමඟ එක්වීමත්, එය මුද්‍රිත කලාව දක්වා ඉදිරියට යාමත් සිදුවේ.

මෙබඳු මුද්‍රිත කලාවක් ආරම්භවීමේදී, චීන, බෞද්ධයින් පූජනීය වූ ආගමික ග්‍රන්ථ සැකසීම සඳහා පෙළඹීම වැදගත් වූයේ ය. ආගමික ලියැවිලි විසින්මද ඊට අනුබල දී තිබේ. උදාහරණ සේ ගත් විට, ක්‍රි.ව. 406 දී කුමාරජීව නමැති අය විසින්ම පද්ම සූත්‍රය (Lotus Sutra) චීන භාෂාවට පරිවර්තනය කෙරී ඇති අතර, ඉන් කියැවෙන්නේ, ‘මෙහි එක් පෙළක් හෝ ආරක්‍ෂා කරන ගායනා කරන, විග්‍රහ කරන, හෝ පිටපත් කරන යමෙක් වේ නම් ඒ තැනැත්තා අතීත බුදුවරුන් කෝටියකට වන්දනා මාන කළා හා සමාන පිනක් අත් කර ගන්නා බව ය. ඒ අනුව ලිඛිත වචනයෙහි එක් තනි පෙළක හෝ බලය පැතිරවීම, ගණනය කළ නොහැකි තරම් බුදුවරුනට පිදීම හා සමාන වූයේ ය.

ක්‍රිස්තු - වර්ෂ 704 – 751 අතර කාලයට අයත්ව ඇති, ලොව ප්‍රථම මුද්‍රිත පෙළක ආදර්ශකය වන්නේ, ධාරණී (Dharani) නමින් හැඳින්වෙන බෞද්ධ මන්ත්‍ර රෝලකි. දකුණු කොරියාවේ ක්‍යෙන්ජු (Kyongju) හි ගල් ස්ථූපයක අභ්‍යන්තරයෙන් මෙය සොයාගෙන තිබේ. (එම ආදර්ශ පිටපත බලන්න) මීට අමතරව ඇති, පැරණි මුද්‍රණ කලාවේ වඩාත්ම ප්‍රසිද්ධ උදාහරණය වන්නේ, වජ්‍ර සූත්‍රයෙහි (Diamond Sutra) පිටපතකි. 1907 දී, චීනයේ ඩුන්හොන්ග් (Dunhuang) හිදී එය සොයාගෙන ඇත්තේ ඔරල් ස්ටෙන් විසිනි. (Aurel Stein) මෙම වජ්‍ර සූත්‍ර පිටපතෙහි මුද්‍රිත වර්ෂය ක්‍රි.ව. 868 බව එහි සඳහන් ය. එය මුද්‍රිත දිනයක් සහිත ප්‍රථම ග්‍රන්ථයයි. එහි කියා ඇති පරිදි,

‘ෂියැංටං ගෙන් නවවෙනි වර්ෂයේ - හතරවෙනි චන්ද්‍ර මාසයේ - පහළොස්වෙනි දින, වන්ජි විසින් මෙය ගෞරවයෙන් සකසන ලද්දේ මව්පියන්ට ආශීර්වාද පිණිස ලෝ - පුරා බෙදා හැරීමක් වෙනුවෙනි.’

චීන බෞද්ධ ග්‍රන්ථ සමස්තය, ක්‍රි.ව. 971 – 983 අතර කාලයේ මුද්‍රණය කෙරී ඇත. ඊට පිටපත් ලක්‍ෂයක් පමණ අයත්ව තිබී ඇතත්, දැනට ඉතිරිව ඇත්තේ ඉන් ඉතා සුළු ගණනකි. එතැන් සිට ඉදිරි සියවස් තුන ඇතුළත, අවම වශයෙන්, එහි තවත් මුද්‍රණ හයක්, චීනයේ හා කොරියාවේ නිකුත් වී තිබේ.

මේ හා ජපන් බෞද්ධයින් අතර ද මුද්‍රණ කලාව පැතිර ඇති අතර, ෂෝතොකු අධිරාජිණීය විසින් ක්‍රි.ව. 764 – 770 අතර කාලයේ ඉහත කී ධාරණී පිටපත් දශ ලක්‍ෂයක් ඇණවුම් කොට තිබේ. ක්‍රි.ව. 1300 ආසන්න කාලයේ දී සේද මාවත හරහා මධ්‍යම ආසියාවට ද මුද්‍රිත ග්‍රන්ථ පැතිර ගොස් ඇති අතර, ඒවා, සංස්කෘත මොංගෝලියානු ඇතුළු භාෂාවලින් මුද්‍රණය වී තිබේ. ටිබෙට් බෞද්ධ ග්‍රන්ථයන්හි පළමු මුද්‍රණය ක්‍රි.ව. 1410 දී චීනයේ බෙයිජිං හි පිට වී ඇත.


ගන්ධාර කලාවේ ස්ථූපයන්හි ගල් ජත්‍ර දරා සිටීමේ තාක්‍ෂණය

කෙසේ වූවද මුද්‍රණ කලාව විසින් ලේඛන කලාව මුළුමණින් යටපත් කිරීමක් සිදු වී නොමැත. නැගෙනහිර හා මධ්‍යම ආසියානු රටවල් මුද්‍රණ කලාවට දැක් වූ උනන්දුව, දකුණු හා අග්නිදිග ආසියානු රටවල නොවිණි. මෙම පෙදෙස්වලට මුද්‍රණ කලාව ලැබුණේ දහසයවෙනි, සියවසේ යුරෝපීය ආගමනයෙන් පසුවය. එවිට ද එය බෞද්ධ ආගමික ග්‍රන්ථවලට ඉලක්ක වූයේ නැත. තායිලන්තයේ චූලාලංකෝන් රජු ප්‍රථම පාලි බෞද්ධ ග්‍රන්ථ මුද්‍රණයට නියෝග කළේ 1893 දී ය. කාම්බෝජ – බුරුම හා ශ්‍රී ලංකා මුද්‍රණ ඉදිරි සියවසේ දකිත හැකිව තිබේ. ආසියාවේ උතුරෙහි මහායාන බුදු දහමත්, දකුණෙහි ථෙරවාද බුදු දහමත් අතර වෙනසද මින් පැහැදිලි ය. චීනයේ දී ලේඛන කලාවෙන් පැතිර ගිය බෞද්ධ සංස්කෘතිය, ඉන්දියාවේදී මුඛ පරම්පාරාගත සංස්කෘතික පැවැත්මක් වූයේ ය. එසේම,ක්‍රි.පූර්ව පළමු සියවසේ ලේඛනගත කෙරුණු නමුදු පාලි බෞද්ධ සාහිත්‍යය නූතන යුගය දක්වා ඉදිරියට ආවේ වාචික සම්ප්‍රදායක් ලෙසිනි. එහි ඒකීය හා සරල ස්වරූපය, පොදුජන ස්මරණය පහසු කළේ ය. උගත් භික්‍ෂූන් වහන්සේලා ලේඛනගත ධර්මයෙහි පැවැත්ම ආරක්‍ෂා කළහ.

අග්නිදිග ආසියානු පෙදෙස්වලදී ද ථෙරවාදී බුදුදහම පැතිර ගියේ පාලි භාෂාවෙනි. ඊට වෙනස්ව චීනය හා ටිබෙටය ඒවා සිය භාෂාවන්ට පරිවර්තනය කරගත්හ. වත්මන්හි, මෙම පාලි බෞද්ධ ග්‍රන්ථ සිංහලට හා අග්නිදිග ආසියානු ප්‍රධාන භාෂාවන්ටද පරිවර්තනය කෙරී තිබේ.

නූතන විද්‍යුත් ප්‍රවේශය

බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථයන්හි ප්‍රථම විද්‍යුත් ප්‍රවේශය වූයේ 1990 ගණන්හිදී ථෙරවාදී ආගමික ග්‍රන්ථ සමූහය විද්‍යුත් තාක්‍ෂණික ප්‍රවේශයට එළැඹීමයි. තායිලන්තය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගෙන ගිය ස්වාධීන ව්‍යාපෘති හතරක් මඟින්, ඒ ඒ රටේ පාලි බෞද්ධ ග්‍රන්ථ විද්‍යුත් ක්‍රමයට සැකසූහ. මේ වන විට එහි වඩාත් ප්‍රචලිත අන්තර්ජාල, ප්‍රවේශය වී ඇත්තේ විපස්සනා පර්යේෂණ ආයතනය විසින්, 1997 සිට නොමිලයේ බෙදා හැරී, සී.ඩී තැටිද ඇතුළත් බෞද්ධ දැනුම් සම්භාරයයි. ටිබෙට් බෞද්ධ ග්‍රන්ථ සමූහය ද ඇමෙරිකානු ව්‍යාපෘති දෙකක් මඟින් විද්‍යුත් ක්‍රමයට සැකසිණි.

වෙන් වෙන් ව්‍යාපෘති වූවද, ඒවායේ පොදු පරමාර්ථය වූයේ ටිබෙට් බෞද්ධ ධර්මයේ එකතුව, ටිබෙට් ජනතාව වෙනුවෙන් හා පොදුවේ උගතුන් වෙනුවෙන් ආරක්‍ෂා කිරීමයි. ජපානයේ ද 1996 දී, ටෝකියෝ සරසවි මහාචාර්ය යසුනරි එජිමා (Yasunori Ejima) විසින්, ජපන් අධ්‍යාපන අමාත්‍යාංශයේද සහාය ඇතිව එය ඇරඹූ අතර, 1998 දී චීන බෞද්ධ විද්‍යුත් පෙළ සංවිධානය (CBETA) විසින්, තායිවානයේ ජාතික විශ්වවිද්‍යාල පර්යේෂණ මධ්‍යස්ථානයේ ද එය ඇරඹීය. මෙම වැඩසටහන් දෙක සහයෝගයෙන් එක්ව කටයුතු කොට, 2003 දී ඒවා නිම කළහ. CBETA විසින් වියට්නාම් බෞද්ධ පෙළ ද මෙසේ විද්‍යුත්කරණයට එකඟ වූයේ ය.

භක්තිය වෙනුවෙන් සේවය

බුදුදහම නව තාක්‍ෂණය උපුටා ගන්නේ ඇයි? එය බුදුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්ම පණිවිඩය හා බැඳී තිබේ. ශ්‍රාවකයාට ළංවීම සඳහා ධර්ම පණිවිඩයක් සන්නිවේදනය කළ යුත්තේ එම ශ්‍රාවකයාට තේරුම් යන පරිදි ය. සුවිශේෂ කණ්ඩායමක් ඉලක්ක කොට නොගන්නා බුදු දහම, ඕනෑම කෙනෙකුට විවෘතය.

විනය පිටකයෙහි බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයනට උපදෙස් දෙන පරිදි, බුද්ධ වචනය ඒ ඒ තැතැන්තා උගත යුත්තේ තමාගේම වූ ප්‍රකාශනයෙනි. මෙය, සංස්කෘතවේදයේ එන බ්‍රාහ්මණ ආධිපත්‍යයට වෙනස් වූවකි. එබැවින් සන්නිවේදනය පරිපූර්ණ කෙරෙන නව මාන සඳහා අනු බලදීම බුදු දහමෙන් සිදුවේ. දෙවනුව, ඉතිහාසය පුරා බෞද්ධයින් සැලකිලිමත් වී ඇති කරුණක් වන්නේ බෞද්ධ ධර්මය යටපත් වී යාමයි. මෙයද නව මානයන් බිහි කිරීමට හේතුවේ. තෙවනුව, තාක්‍ෂණයේ ඉදිරි ගමන සමග නව ප්‍රායෝගිකයන් හා වන්දනා මාන ක්‍රම වර්ධනය වී, ඒ හා සහසම්බන්ධිත වේ. අවසාන වශයෙන්, බෞද්ධාගම ආයතනගත කිරීම සමඟ එම ආගමික ආයතනයන්ට ඒවායේ පැවැත්ම වෙනුවෙන් මූල්‍ය හා ද්‍රව්‍යමය ආධාර ඇවැසි වේ. නව තාක්‍ෂණය උපුටා ගැනීම හා ඒ ඔස්සේ ඉදිරියට යාම ඊට අනුබලයකි. මානව ස්වරූපය, බලයට ගරු කරන අතර, එකී බලයට නව තාක්‍ෂණයේ දැනුමද අයත්ය. (දැනුම බලය වේ) තාක්‍ෂණය යනු ත්‍යාගශීලීත්වයට පෙළඹවීම් කෙරෙන බලගතු මාර්ගයකි.

ලේඛන කලාවෙන් ඔබ්බට

2007 දී පුරාවස්තු සුරැකීමේ ජාත්‍යන්තර සහයෝගිතා ජපන් කේන්ද්‍රය විසින් වාර්තා කෙරුණු අන්දමට, ඇෆ්ගනීස්ථානයේ බාමියන් ගුහාවල ඇති බෞද්ධ සිතුවම්වලින් ඔප්පු වී ඇත්තේ, ඒවා, ලෝකයේ පැරණිතම තෙල් සායම් චිත්‍ර බවයි. එම චිත්‍ර, යුරෝපයේ හා මධ්‍යධරණී කලාපයේ ඇති එබඳු චිත්‍රවලට වඩා සියක් වස් පැරණිය.

(මෙම ලිපිය, ඇමස්ටර්ඩෑම් හි පිහිටි ආසියානු අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයෙන් පළ කෙරෙන පර්යේෂණ පුවත්හි 49 වෙනි කලාපයට, ඇමරිකානු මහාචාර්ය ඇන්ඩෲ ග්ලාස් ලියා ඇති, Early Adopters: Buddhist Attitudes Towards Technologyනම් වූ ලිපියේ සිංහල අනුවාදයකි)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.