Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්මය අදහා ගැනීම ප්‍රබෝධය ඉපදීමට හේතුවක්

අපි මීට කලින් සාකච්ඡා කරමින් සිටියේ නිබ්බිදා සූත්‍රයේ සඳහන් කරුණු පිළිබඳ යි. අපි එතන දී කථා කළා බණ භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න කැමැති කෙනකු විසින් බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය අදහා ගත යුතුයි කියන කාරණාව. ඒ වගේ ම අපි මහා ප්‍රඥාවක් නැති අය විදිහට, සාමාන්‍ය මිනිස්සු විදිහට, නුවණ පිරිහෙන කාලයේ ඉපදුණු අය විදිහට, මේ ධර්මයෙන් අවම හෝ පිහිටක් පිළිසරණක් ලබා ගැනීම පිණිස කළ යුත්තේ් කුමක් ද කියන දේ ත්, කථා කළා.

අපි ප්‍රකාශ කළේ එක එල්ලේ ම භාග්‍යවතුන්වහන්සේ විසින් ප්‍රකාශ කරන දහම් කාරණා පිළිගැනීමෙන් අපිට නිවන් මඟට පිවිසෙන්න පහසු ප්‍රවේශයක්, මාර්ගයක් හදා ගන්න අවස්ථාවක් තිබෙන බවයි. සමහර තැන්වල දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා “මෙන්න මෙහෙම කළොත් මෙහෙම සිද්ධ වෙනවා” කියලා. ඒ විදියට එක එල්ලේ ම ප්‍රකාශ කරන ධර්ම අපිට මුණ ගැහෙනවා.

ඉතින් අපි සාමාන්‍ය මනුෂ්‍යයන් විදිහට, ලොකු දැනුමක් නැති අය විදිහට, අපි අපි ගැන ම තෝරා බේරාගත යුතු යි. ඒ විදිහට තෝරාගෙන අපට එක එල්ලේ පෙන්වා දෙන දහම් කාරණා ඔස්සේ, ධර්මය පුරුදු කරන්න කල්පනා කළොත් අපිට ලොකු පිළිසරණක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා.

නිබ්බිදා සූත්‍ර දේශනාව ළඟ ම තිබෙනවා තව දේශනාවක්. ‘ආසවක්ඛය සූත්‍රය’ කියලා. ඒ දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අපට මේ විදියට කියා දෙනවා. ‘පඤ්චිමේ භික්ඛවේ, ධම්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තන්ති”. ඒ කියන්නේ ‘කාරණා පහක් බහුල වශයෙන් පුරුදු කරන කෙනකුට, ඒ ධර්ම පහ පුුරුදු කිරීම, බහුල වශයෙන් පුරුදු කිරීම ආශ්‍රව ක්ෂයවීම පිණිස පවතිනවා’ කියලා.

මොනවද ඒ ධර්මතා පහ, ‘ඉධ භික්ඛවේ, භික්ඛු අසුභානුපස්සී කායේ විහරති, ආහාරේ පටික්කුලසඤ්ඤී , සබ්බලෝකේ අනභිරතසඤ්ඤී, සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී, මරණසඤ්ඤී ඛෝ පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හෝති’. එතකොට අර කලින් සූත්‍රයේ කියා දෙන ඒ භාවනා පහ ම තමයි, මෙතන දී ත් කියා දෙන්නේ. මොනව ද ඒ භාවනා පහ....? අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව, සබ්බලෝකේ අනභිරත සංඥාව, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව, මරණ සතිය.

එතකොට කලින් දේශනාවේ දී අපට කියලා දෙනවා, ඒ භාවනා පහ යම් කෙනෙක් පුරුදු කළොත්, නියත වශයෙන් ම අවබෝධයෙන් කළකිරීම කියන දේ සිද්ධ වෙනවා කියලා. ඒ දේ ස්ථිර වශයෙන් ම සිද්ධ වෙනවා කියලා අපට පෙන්වා දෙනවා. ඊළඟට ඒ අවබෝධයෙන් කළකිරුණු කෙනාට සිද්ධ වන දේ තමයි, නො ඇල්ම ඇතිවීම, ඇල්ම නිරුද්ධ වනවා. ඒත් එක්ක ම සිත සංසිඳෙනවා. ඊට පස්සේ ඒ සංසිඳුණු සිතින් එයාට පුළුවන්කම තියෙනවා විශේෂ ඤාණ ඇතිකර ගන්න. ඒ විශේෂ ඤාණ ඇතිකර ගත්ත කෙනාට පුළුවන්කම තිබෙනවා ආර්ය සත්‍ය පිළිබඳ පරිපූර්ණ අවබෝධය ඇතිකර ගන්න. අන්න එයා නිවන අවබෝධ කරනවා.

එතකොට මේ ආසවක්ඛය සූත්‍ර දේශනාවෙ දී කියලා දෙන්නේ ඒ ධර්මතා පහ ම පුරුදු කරන කෙනාට ආශ්‍රව ක්ෂය වෙනවා කියල යි. එතකොට බලන්න මේ ධර්ම අපි පිළිගත්තොත්, මේ ධර්ම හත අපි හොඳ අවබෝධයක් විශ්වාසයක් ඇතිකර ගත්තොත්, අප තුළ නිර්භය බවත් ඇතිවනව ද නැද්ද? අපි තුළ නිර්භය බවක් උපදිනවා.

කුමක් කෙරෙහි ද නිර්භය බව උපදින්නේ? සසරින් නිදහස් වීම පිළිබඳ විශ්වාසයක් ඇතිවෙනවා. සංසාරය කෙරෙහි තිබෙන බිය අඩු වෙන්න පටන් ගන්නවා. සංසාරෙන් නිදහස්වීමට ඉඩකඩක් තිබෙනවා කියල දැනගන්න කෙනාට සසර බිය අඩු වන්න පටන්ගන්නවා. ඒක යි නිර්භය බව කියලා කියන්නේ. සසරින් නිදහස් වන්න ඉඩ කඩක් නෑ කියලා තේරෙන කෙනාට සංසාරේ බිය තියෙනවා. බහුල වශයෙන් තියෙනවා. ඒ භීතියෙන් එයාට ඉන්න සිද්ධ වනවා.

නමුත් සංසාරෙන් නිදහස් වන්න ඉඩකඩක් තියෙනවා කියලා යම් කෙනකුට නිසැක බවක් තියෙනවා නම්, ඒ සැනින්, ඒ සමගම එයා තුළින් සසර බිය පහ වන්න පටන් ගන්නවා. අන්න එතකොට එයා නිර්භය බවට පත්වෙනවා. අර කලින් බයේ හිටපු කෙනා කලබල යි. ඉවසීමක් නෑ, දැන් නිසැක බවට ආපු කෙනාට නිර්භය බව උපදිනවා, නිර්භය බවත් එක්ක එයාට ඉවසීම තියෙනවා, කලබලේ අයින්වෙලා, කලබලය අයින් උනා ම ඉවසීම තියෙනවා.

දැන් මොකද එයා කරන්නේ? දැන් මේ කියා දීලා තිබෙන ධර්මය, පෙන්වා දී තිබෙන ධර්මය කොහොම ද පුරුදු කරන්නේ් කියලා එයා කල්පනා කරනවා. ඊළඟට එයා ටික ටික පුරුදු කරනවා, පැය ගණන් එක දිගට ඉඳගෙන ‘දැන් ඉතින් මම අද සමාධියට යන්නම්” කිය කියා පුරුදු වෙනවද? එහෙම ද කරන්නේ?..නෑ.

කෙනෙක් ඒ විදියට මේක ඉක්මනින් ම කරනවා කියලා කල්පනා කරන්නේ ඇයි....? කුමක් මුල් වෙලා ද එහෙම කල්පනා කරන්නේ....? තමා ගැන විශ්වාසය මුල් වෙලා. තමා ගැන තියෙන අධි තක්සේරුව මුල් කරගෙන තමයි ‘මම මේක ඉක්මනට කරන්නම්’ කියලා කල්පනා කරන්නේ. නමුත් තමා ගැන නෙමෙයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇතිවුණු කෙනා කල්පනා කරන්නේ, ‘’මේක හිමින් හිමින් මම පුරුදු කර ගන්න ඕන” කියලා යි. ඇයි එයාට නිර්භයබව තියෙනවා. එයාට දොර ඇරිලා. දැන් මඟ පේනවා. එයා කලබල වෙනව ද?. කලබල වෙන්නේ නෑ. එයා ටික ටික පුරුදු කරනවා.

එහෙනම් අපි තුළ කලබලයක් තියෙනවා නම් අපි තුළ නැත්තේ කුමක් ද කියලා බලන්න. අපි කලබල නො වී පුරුදු කරනවා නම්, අප තුළ තිබෙන්නේ කුමක් ද කියලා තේරුම් ගන්න. කලබල නො වී ටික ටික පුරුදු කරනවා කියලා කියන්නේ කම්මැලිකම අලසකම නෙමේ. ඒක සකසා වැඩීමට අයිති එකක්. ‘සකසලා වඩනව, පිළිවෙළකට කරනවා’ කියන එකයි, ඒ ඒකෙන් අදහස් වන්නේ.

එතකොට භාවනා පිළිවෙළකට කරන්නේ් කොහොම කෙනා ද? ඉවසීම තියෙන කෙනා. ඉවසීම තියෙන්නේ කාට ද? නිර්භය බවට පැමිණි කෙනාට. නිර්භය බවට පත් වන්නේ කවුද? නිසැක බවට පත්වන කෙනා, නිසැක බවට පත්වන්නේ කොහොම කෙනාද? භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගැනීමෙන්. භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහා ගත්ත කෙනා වන්නේ කවුද? භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව පිළිගත්ත කෙනා.

අපි භාවනාව හැමවිට ම පිළිවෙළකට කරන්න පුරුදු වන්න ඕන. කරන්නන් වාලේ කරලා වැඩක් නෑ. එහෙම වුණොත් මහා ලාභයක් අපි ත් අහිමි කර ගෙන, ලෝකයට ත් අහිමි කරලා දාන පිරිසක් බවට පත්වෙනවා. අපි පිළිවෙළකට මේක කළොත් එහෙම, අපිට භාවනාවකින් ලබාගත හැකි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

ඇයි අපි එහෙම කියන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්මය වඳ බැහැලා නෑ කියලා. මේ ධර්මය ජීවමාන යි. ඒ ධර්මයේ ගුණයක් තියෙනවා ‘අකාලික’ යි කියලා නේද? අන්න ඒ ගුණය ගැන කල්පනා කරලා ඒ ගුණය පිළිගැනීමෙන් තමයි අපි මේ ප්‍රකාශය කරන්නේ. එහෙනම් අපි මේ ධර්මය පිළිගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා සකසලා වඩන්න. එතකොට පිළිවෙළකට කරන්න පුළුවන් අය බවට අපි පත්වෙනවා.

ඒක කෘතිම ම ගොඩනගන්න බෑ. පිළිවෙළකට කරනවා කියන එක කෘතිම ව ගොඩනගා ගන්න බෑ. ඒක තමා තුළ ඉපදෙන්න ඕන ගුණයක්. දැන් සමහර දේ තියෙනවා කෘතිම ව කරනවා. දැන් අපිට කම්කරුවෙකුට කියන්න පුළුවන් විනාඩියකට ගඩොලක් ගේන්න කියලා. එයා හැම විනාඩියේ ම ගඩොලක් ගේනවා. පිළිවෙළකට කරනවා. ඒක කෘතිම යි. ‘මැෂින් එකක් තියෙනවා, ඒකෙන් විනාඩියකට යමක් නිෂ්පාදනය වනවා. පිළිවෙළකට සිදු වෙනවා. ඒක කෘතිම යි.

නමුත් බණ භාවනාවක් පිළිවෙළකට කිරීම කෘතිම ව කරන්න බෑ. එයා කරන්න බලයි. නමුත් ටික දවසකින් ‘මොනව ද මේ... මේක කරන්න බෑ’ කියලා නිකන් ඉන්නවා. එහෙම වෙනවා නේද? පොඩ්ඩ පොඩ්ඩ කරන්න බලනවා. ටික කලකින් ‘මේක හරි යන්නේ නෑ. මේක බෑ’ කියලා අතහැරලා දානවා. ඒ මොකද? ‘මේක පිළිවෙළකට කළ යුතු යි’ කියලා තමා තුළ උපන් හැඟීමක් නෑ. පොඩ්ඩක් කරලා අතහැරලා දානවා. ඇයි ඒ, සැක යි, විශ්වාසය නෑ.

විශ්වාසය තියෙනවා නම් අපි බණ භාවනා පිළිවෙළකට කරනවා. මේ මහ පොළෙවේ මැණික් තියෙනවා කියලා දන්නවා නම්, විශ්වාසයක් තියෙනවා නම්, එයා පිළිවෙළකට වැඩක් නැති දේ අයින් කරලා, හොඳට සුදුසු පස තෝරගෙන, පිළිවෙළින් ඒක සෝදලා බොරළු අයින් කරලා මැණික් ගල අතට ගන්නවා. විශ්වාසය නැති කෙනාට, ඒ ශිල්පය දන්නේ නැති කෙනාට ඒක කරන්න බෑ.

ඒ නිසා අපි තේරුම් ගත යුතු යි, මේ ධර්මය තුළ නිවන් මඟ තියෙනවා’ කියන විශ්වාසය අපිට බලවත් ව තියෙන්න ඕන. අන්න ඒ විශ්වාසය තියෙන කෙනා සකසලා මේක කරනවා. පිළිවෙළකට කරනවා. ඉතින් මේකට කාලයක් ඕන. දවසින් දෙකෙන් කෙරෙන්නේ නෑ. සතියෙන් හමාරෙන් කෙරෙන්නෙත් නෑ. මාසෙන් දෙකෙන් කෙරෙන්නෙ ත් නෑ. අවුරුද්දෙන් දෙකෙන් කෙරෙන්නෙ ත් නෑ. අපි එහෙම කෙටි කලකට සීමා කරගෙන බෑ.

එහෙම සීමා කරන්න බැරි නිසා තමයි අපි මුළු ජීවිතේ මේ වෙනුවෙන් කැපකළ යුත්තේ. සකසලා යමක් කිරීම පිණිස, පිළිවෙළකට යමක් කිරීම පිණිස දීර්ඝ කාලයක් යනවා. අතිදීර්ඝ සංසාරයක් නවත්වන්න සතියකින් දෙකකින් කල්පනා කළොත් ඒක අසාධාරණයි නේ ද? සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ඒක අසාධාරණ යි නේ ද? අති දීර්ඝ කාලයක් යන්න තියෙන සසර ගමනක් මේක. කෙළවරක් නො පෙනෙන ගමනක් යන්න අපට සිද්ධ වෙලා තියෙනවා.

ඉතින් ඒක මේ පැයකින් දෙකකින් ඉවර කරන්න කල්පනා කළොත් ඒක ගැලපෙනවා ද? ඒක ගැලපෙන්නේ නෑ. නමුත් අපි මුළු ජීවිතයේ ම කැප කරලා හරි කමක් නෑ මේ සසර ගමන් බිඳින්න කල්පනා කරන්න ඕන. අන්න ඒ සඳහා අපි මේ දේශනා පෙන්වා දීලා, අපි මොකක්ද පුරුදු කළ යුත්තේ. ඒ පුරුදු කළ යුතු දේ කෙසේ පුරුදු කළ යුතු ද කියන කාරණාව ඉස්මතු කරලා දෙන්න කල්පනා කළේ.

ඒ නිසා පිළිගන්න මේ ධර්මයන්, විශ්වාස කරන්න මේ ධර්මයන්. අදහා ගන්න මේ ධර්මයන්. අන්න එතකොට ඔය අය ස්වයංව ම තැන්පත් අය බවට පත් වෙනවා. කලබලය අතහැරෙනවා. ඔය අය තුළ ප්‍රබෝධමත් බව ඇතිවෙනවා. ප්‍රබෝධය කියන එක ඉබේ ඇති කරන්න බෑ. කෘතිම ව ගොඩනගන්න බෑ. මේ ධර්මය පිළිගැනීමෙන් ම ඔබ ප්‍රබෝධයට පත්වෙනවා. ඒත ධර්මතාවයක්. ඒක කාටවත් බලෙන් කරන්න බෑ.

නිසා ඔබට ප්‍රබෝධයෙන් වාසය කරන්ට ඕනෑ නම්, මේ ධර්මය අදහා ගන්න. මේ ධර්මය සත්‍යයක්, මේක පුරුදු කළොත් ප්‍රතිඵල ලැබෙනවා කියන තැනට අපි එන්න ඕන. එතකොට අපි ප්‍රබෝධයෙන් ඉන්නේ. එතකොට අපිට කාගෙවත් මෙහෙයවීමක් නැතිව මේක කරන්න පුළුවන්. අපිට කාගෙවත් බල කිරීමක් ඕන නෑ. ‘ආ මේක කරන්න.... අද කළා ද...’ කිය කියා අහන්න ඕන නෑ. අපි ආසාවෙන් කරනවා. අඩුපාඩුවක් වරදක් තිබුණොත් අපි අහගන්නවා. අහගෙන කරනවා.

කලක් යනකොට අපිට පුරුදු කරන දේට අදාළ ප්‍රතිඵල මතුවෙන්න පටන් ගන්නවා. එතකොට අපි අදහාගත්ත දේ ප්‍රත්‍යක්ෂ දෙයක් බවට පත්වෙනවා. ඒ අදහා ගත්ත දේ තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙන්න වෙන්න අපේ ගමන තවත් වේගවත් වෙනවා. යම් කෙනෙක් ගමනක් යන්න පාර හොයනවා. පාර හොයනකොට කෙනෙක් පාර ගැන කියල දෙනවා. ඉතින් මෙයා මේක අදහාගෙන යන්න පටන් ගන්නවා. මඟ සලකුණු පෙනෙන්න පෙනෙන්න විශ්වාසය වැඩිවෙනවාද නැද්ද? විශ්වාසය වැඩිවෙනවා. විශ්වාසය වැඩිවෙන්න වැඩිවෙන්න එයා ගමන වේගවත් කරනවාද නැද්ද? වේගවත් කරනවා.

එතකොට මුලදී හිමින් ගියා කියලා අගටත් හිමින් යෑමක් තියෙනවද? නෑ. මුල දී හිමින් තමයි පටන් ගන්නේ. ඇයි ඒ? ඒක තෝරා බේරා ගන්න ඕනෑ. තෝරාබේරා ගන්න තෙක් අපි හිමිහිට යි යන්නේ. පිළිවෙළකට කරනවා කියන එකෙන් අදහස් වන එක දෙයක් තමයි ඒ. ඉතින් අන්න ඒ විදිහට ඔය අය මේ ධර්මය කෙරෙහි විශ්වාසය තියා ගත්තොත් අපිට පුළුවන්කම ලැබෙයි, පිළිවෙළකට බණ භාවනා පුරුදු කරලා අපේ ජීවිතය සාර්ථක කර ගන්න.

ඒ නිසා බණ භාවනා කරන කෙනෙක් විදියට ආරම්භයේදී ම කළයුත්තේ මේ ධර්මය කෙරෙහි නිසැක බවට පත් වන එකයි. ඒ නිසා මේ දේශනා හොඳින් කියන්න. ඒ දේශනා කියවලා භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහාගන්න. මෙතන නිවන් මඟ තිබෙනවා කියන විශ්වාසය ඇතිකර ගන්න. එතකොට ඔබලා ප්‍රබෝධයෙන් ඉන්න අය බවට පත්වෙයි. ඔබලා පිළිවෙළකට මේක කරන්න පටන්න ගනියි. එහෙමනම් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අපට පෙන්වා දී තිබෙන නිවන් මඟ කරෙහි බලවත් වූ විශ්වාසය සියලු දෙනාගේ සිත් තුළ ඇති කර ගැනීමට භාග්‍යය උදා වේවා කියලා, අපි ආශිර්වාද කරනවා....!


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.