UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විවාදයට මුල

මෙම සමාජයේ ඇති විවිධ සංවිධානවල නොයෙක් ආකාරයේ විවාද ඇති වී එම සංවිධාන ඉතා ඉක්මණින් බිඳ වැටෙන බව දැක ඇත. අසා ඇත. එමනිසා විවාද ඇතිකර ගැනීම හොඳ නැති බවත්, සමඟියෙන් සංවාද කිරීම සුදුසු බවත් බුදුරජාණන් වහන්සේ දෙසා ඇති බව ‘සමග්ගාහෝථ මා විවිදථ’ යන පාඨයෙන්ද පෙනේ.

බුද්ධ ධර්මය විවෘත වූ විට බබළන බවත්, වැසී තිබෙන විට බබළන්නෙ නැති බවත් දෙසා ඇත. බුදුරදුන්ගේ නව අරහාදී ගුණයන්ගෙන් එක ගුණයක් නම්, ‘සත්ථාදේවමනුස්සානං’ යනුයි. එයින් පැවසෙන්නේ, දෙවි මිනිසුන්ගේ දෙලොව යහපත සඳහා මග පෙන් වූ නිසා බුදුරජාණන් වහන්සේ දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන් ඇතුළු හැමදෙනාගේම ශාස්තෘවරයා බවයි. උන්වහන්සේ දෙසූ මග අනුගමනය කිරීමෙන් මිනිසුන් අතර ඇතිවන වාද විවාද නැති වී සමගිය සමාදානය ඇතිවන බව පැහැදිලි කර ඇත. අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ විවාද ඇතිවීමට මූලිකවන කරුණු හයක් සඳහන් වේ. එනම්

1. ක්‍රෝධය හා බද්ධ වෛරය

ක්‍රෝධය යනු අළුයට ඇති ගිනි පුපුර මෙනි. තුඹස තුළ සිටින විෂඝෝර සර්පයෙකු නමැති චෛතසිකය යමෙකු තුළ ඇත්නම් ඔහුගෙන් සෙසු අයට සමාජයට සිදුවන හනිය අති බිහිසුණුය. බද්ධ වෛරයද යම් යම් පුද්ගලයන් ගැන වෛර චෛතසිකය බැඳ තබා ගැනීමය. අසවලා මට බැන්නේය, නින්දා කළේය, පාඩු කළේය. මා පරාජය කළේය. ආදී වශයෙන් හේතු ඇතිව හෝ සැක කරගෙන හෝ අන් අය ගැන බද්ධ වෛරයෙන් යුක්ත තැනැත්තා නිසාද සමාජය තුළ ඇත්වන්නේ විනාශකාරී සිදුවීමය.

එසේම, මෙම ක්‍රෝධය හා බද්ධ වෛරය හේතු කොට ගෙන ගෙදර අය සමග ගමේ, පළාතේ රටේ, ආයතනයේ සිටින අය සමඟ වාද විවාද ඇතිවේ. සමගිය, සාමය, දියුණුව නැතිව යනු ඇත. එමනිසා විවාදයට මූලික කරුණක් වූ ක්‍රෝධයේ හා බද්ධ වෛරයේ ආදීනවය දැනගෙන එය සිතින් අයින් කිරීමෙන් පළමුව තම සිත තුළ සාමය, සමඟිය ජනිත වී සමාජය පුරාම පැතිර යනු ඇත.

2. ගුණමකුකම

එනම් ගුණය මැකීමය. ගුණවතුන්ගේ උපදෙස්, මග පෙන්වීම් පිළිනොගැනීම අගය නොකිරීම ගුණයහපත් පුද්ගලයන්ගේ එම යහපත් ගුණධර්ම අන් අය අබියසදී අමතක කිරීම, ගුණවතුන් සතු උසස් ගුණ නොපවසා නැති අගුණ පැවසීම, ගුණවත් අයද තමන් හා සමානකොට සැලකීම යන මෙම ගති ලක්ෂණ ඇති ගුණමකු අය නිසා පුද්ගලයන් අතර විවාද ඇතිවේ. ගැටුම් පැනනගී. සමගිය, සාමය නැතිවේ.

3.ඊර්ෂ්‍යාව හා මසුරුකම

එනම්, අන් අයගේ සැපතට ඊර්ෂා කිරීම හා අන් අයගේ සම්පත් තමාවෙත අයත් කර ගැනීමට කටයුතු කිරීම. මෙවැනි හැඟීම් ඇති අය එකම පවුලේ සහෝදරයන් අතරද ඥාතීන් අතරද ඇත. ගම්වැසියන්, කාර්යාල සේවකයන්, රටවැසියන් අතරද ඊර්ෂ්‍යා හා මසුරුකමෙන් පෙළෙන අය දකින්නට ලැබේ. තමන්ට වඩා රූපයෙන් ධනයෙන්, වෙනත් භෝග සම්පත් ආදියෙන් පොහොසත් අය දකින විට ඊර්ෂ්‍යා කරන අය, ඔවුන් සතු සම්පත් තමා සතු කර ගන්නට විවිධ උපක්‍රම, කුමන්ත්‍රණ කරන පුද්ගලයන් අප ජීවත්වන මෙම සමාජය තුළ අපමණ ඇත. ඔවුන් නිසා අන්‍යොන්‍ය ගෞරවය, සම්බන්ධය, හිතවත්කම නැති වී වාද විවාද ඇති වී සමගිය, නැති වී දියුණුව පිරිහීයනු ඇත.

04. තමන් ළඟ නැති යහපත් ගුණ පෙන්වීම හා තමන් ළඟ ඇති අයහපත් අගුණ වැසීම

මෙම ලක්ෂණය ඈත අතීතයේ සිටම සමාජය තුළ තිබූ බව දක්නට ලැබේ. බුද්ධ කාලයේ තිබූ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටිවලින් ඒ බව සනාථ වේ. නූතන සමාජයේ ඇති මූලධර්මවාදී සංවිධාන වලින් ද, යාඥාවලින් ලෙඩ රෝග සුවකරන බව පවසන සංවිධාන වලින්ද ආගමික වශයෙන් ගොඩනගාගෙන ඇති වෙනස් විවිධ බහුජන සංවිධානවලින් පෙනෙන්නේද තමන් ළඟ නැති ගුණ පෙන්වන තමන් ළඟ ඇති අගුණ වහන අය ඇති බවය.

ධ්‍යාන මාර්ගඵල ලබාගත් අය වශයෙන් ද, සෝතාපන්නඵලයට පත් යනුවෙන් පුවත්පත් වල දැන්වීම් පල කරමින්ද බුදුදහමට පටහැනිව හැසිරෙන අයගෙන් පෙනෙන්නේ ද නැති ගුණ පෙන්වමින් ඇති අගුණ වහමින් සමාජය තුළ වාද විවාද ඇතිකර ආගමික සහනශීලි බව නැති කිරීමට උත්සාහ ගන්නා බවයි. විජ්ජාකාරයන් මෙන් නො හැසිරී, තමන් ළඟ කවර තරමේ උතුම් ගුණයක් තිබුණත්, ඒ බව පෙන්වීමට උත්සාහ නොගෙන නිහතමානීව හැසිරීමට ගිහි පැවිදි හැමදෙනාම සිතට ගැනීමෙන් විවාද ඇති නොවේ.

05. පහත් ආසාවන් ඇති බව හා ලාභයන් ලබා ගැනීමේ ලෝභකම

මෙම පහත් හැසිරීම් රටාව තිබූ අය එදත් සිටියහ. අදත් සිටින්නා හ. තමන් ළඟ ඇති එම පහත් ජන්ම ගතිය නිසා ඇතැම් අය තිරිසනුන්ටත් අන්තව කටයුතු කරන බව පෙනේ. රජයේ හෝ පෞද්ගලික ආයතනයක හෝ කිසියම් තනතුරක් සඳහා තිබිය යුතුª මූලික සුදුසුකම් යම් අයෙකුට නැතිනම්, ඔහුට එම උසස් තනතුර ලබා ගැනීමේ පහත් ආශාවෙන් නොකරන පහත් වැඩක් නැත.

නිලධාරීන් ඉදිරියේ වැඳ වැටීම, ඔවුන්ට මත්වතුර, ආහාරපාන, ගෙනගොස් දීම, මුදල් අල්ලස් වශයෙන් දීම, මැති ඇමැතිවරුන්ගේ් නිවාසවල දින, සති මාස ගණන් නතර වී ඒ අයගේ කුදු මහත් කටයුතුª කර දී ඔවුනගේ් සිත් දිනාගෙන තමන් ළඟ ඇති පහත් ආශාව නිසා උසස් සුදුසුකම් ඇති අයට හිමි උසස් තනතුරු හා ලාභ ලබා ගන්නා අය ද ඇත.

එසේම, ආයතනයේ හෝ කාර්යාලයේ හෝ පාසලේ හෝ තමන් සමග එකට සේවය කරන සහෝදරයාට, මිත්‍රයාට විරුද්ධව නැති අගුණ මවා පා බොරු, කේලාම් කියා නිලධාරීන් නොමග යවා තමන්ට හිමිනැති උසස් තනතුරු ලාභ සත්කාරයන් ලබා ගන්නා අයද අප සමාජයේ ඇත. මෙවැනි කැන හිලුන් නිසා ගමේ, සමාජයේ, ආයතනයේ, කාර්යාලයේ පාසලේ ඒ ඒ අය අතර වාද විවාද ගැටුම්, අමනාපකම්, පැනනැගී සාමය, සමගිය නැති වී දියුණුවද නැති වී පිරිහීමට පත් වේ.

6. තමන් දරන මතය පරමාදර්ශී කර ගැනීම

මෙහි අදහසනම් තමන්ගේ අදහස හෙවත් මතය, දැඩිලෙස ගැනීම හා අන්අයගේ අදහස් හෙවත් මත පිළි නොගැනීමය. මෙවැනි අදහස් දරන අය සමාජය තුළ අපමණ ඇත. ඔවුන්ගේ් ස්වභාවය නම්, අන් අයගේ සාධාරණ අදහස්වලට මතවලට ගරු නොකිරීමයි. එමනිසා, වාද විවාද ඇතිවෙයි. සමගිය නැතිවෙයි.

මෙම හය වැනි කරුණ ද අප සමාජය තුළ ඇති විවිධ සමිති, සංවිධාන අතර සමගිය නැතිවීමට හේතු වෙයි. ඇතැම් අඹු සැමියන් අතර ද ගැටුම් ඇතිවීමට එක්ප්‍රධාන හේතුවක් නම්, අඹුවගේ අදහස්වලට සැමියා ගරු නොකරයි. නැතිනම්, සැමියාගේ අදහස් වලට අඹුව ගරු නොකරයි. එවිට ගිහි ගෙදර ගිනි ගෙයක් වෙයි. එසේම දේශපාලන සංවිධාන අතරද රජය හා විපක්ෂය අතර විවාද ඇතිවීමට ද මෙම තමන් දරන මතය දැඩිලෙස ගැනීම නිසා හේතු වේ. එමනිසා අන්අයගේ අදහස්වලට ද ගරු කිරීමට පුරුදුවීම සමගියට, සාමයට හේතුවෙන බව සිතිම වැදගත් ය.

යම් වනයක එක් මහා ගසක් පමණක් තිබුණොත් එය කුඩා සුළඟකින් වුවද ඇද වැටේ. වෙනත් ගස් ලංලංව ඇතිනම් එසේ නොවේයයි රුක්ඛධම්ම ජාතක කථාවෙන් පැහැදිලි කරයි. මෙම උදාහරණය අප සමාජයට ද ඉතා වැදගත්ය. ආයතනවල, සමාජ සංවිධානවල, දේශපාලන පක්ෂවල සිටින අයද ඉතා සුළු දේ මුල්කරගෙන වාද විවාද නොවී සමගියෙන් සිටියොත් කුඩා සුළඟකින් තබා මහා සුළඟකින් වත් ඇද නො වැටෙන ගසක් මෙන් එම සංවිධානයන්ද විනාශ නො වී, දියණුවට පත්වෙයි.

ලිච්ඡවි රාජකුමාරවරුන් අනුගමනය කළ සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කළ නිසා ඔවුන් අතර වාද විවාද ඇති නොවීය. එමනිසා ඔවුන් පරාජය කිරීමට අජාසත්ත රජ තුමාට නොහැකි විය. නමුත් පසුකාලයේදී ලිච්ඡවි රාජකුමාරවරුන් අතර මිත්‍ර භේදය ඇතිකර අජාසත්ත රජතුමා ලිච්ඡවි ජනපදය දිනා ගත්තේ ය. එයින් පැහැදිලි වන්නේ ද මෙහි දක්වන ලද වාද විවාදවලට හේතුවන මූලික කරුණු අනුව යමෙක් කටයුතු කරන්නේ නම්, ඔවුන් අතර සමගිය, සාමය, දියුණුව නැතිවී යන බවයි.

එමනිසා, බුදුරජාණන්වහන්සේගේ ‘සත්ථා දේවමනුස්සානං’ යන උතුම් ගුණය අප හැමගේ ජීවිතවලට සමිතිවලට, සංවිධානවලට, ආයතනවලට, ගෙදරට, පක්ෂ විපක්ෂ සැමට ආදර්ශයට ගෙන විවාද නොකර සංවාද මගින් සමගියෙන් සිට දියුණුවට පත්වන්න.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජනවාරි 07 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]