UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් අනුමත කළ ඉපැරැණි සමාජ ධර්මය

අපේ බෞද්ධයන් බොහෝ දෙනෙකු අතර භික්ෂූන් වහන්සේ කෝටියක් සංවර ශීලය පිළිපැදිය යුතු යැයි මතයක් පවතී. මෙයින් අදහස් කරන්නේ් භික්ෂූන් වහන්සේ කෝටියක විනය නීති වලින් යුතු ශීලයක් ආරක්ෂා කර ගත යුතු බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට ආරක්ෂා කර ගත යුතුª විනය නීති කෝටියක් දේශනා කර නැත. උන්වහන්සේ භික්ෂූන් උදෙසා දේශනා කර ඇත්තේ විනය නීති 227 ක් පමණකි. එය ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන්ය.

එහෙත් බුදුරජාණන් වහන්සේ ගිහියන් සඳහා පනවා ඇති නීති පහකි. එය හඳුන්වන්නේ් පන්සිල් නමින්ය. මේවා නීති වශයෙන් දක්වා ඇතත් ඒවා කඩ කළායැයි කියා බුදු සසුනේ් දෙන දඬුවමක් නැත එම වැරැදි කිරීමෙන් මෙලොවත් පරලොවත් දුක් විඳින්නට සිදුවන බව බුදු තේරුම් ගෙන ඒවායින් වැළකී සිටීමට උනන්දු විය යුතුයි. අධිෂ්ඨාන කරගත යුතුයි. පන්සිල් සමාදන්වීමෙන් සිදු කරන්නේ පොරොන්දුවීමකි. එසේ පොරොන්දුවීම සමාදන්වීම නම් වෙයි.

වැළකීම යනු විරතිය යි. විරතිය දෙයාකාර ය. එනම්,

1. සම්පත්ත විරතිය
2. සමාදාන විරතිය යනුයි

සම්පත්ත විරතිය නම්, වරදක් කරන්නට සිදු වූ විට එය වරදක් බව දැනගෙන එයින් වැළකී සිටීමට උත්සාහ කිරීම යි.

සමාදාන විරතිය යනු තමන් ඒ වරද නො කරන බවට පොරොන්දු වී ඇති හෙයින් එම පොරොන්දුව කඩ කිරීමට බියෙන් එයින් වැළකී සිටීම යි.

පන්සිල් සමාදන් වීමට සුදුසු ස්ථාන කිහිපයකි. ඒවානම්, බුදු මැදුර, චෛත්‍යය, බෝධිය සහ තමන් විසින් පිළියෙළ කරගත් ස්ථානයකි.

ආරම්භය

පන්සිල් සමාදන් වීමට පෙර සිත, කය, වචනය යන තුන්දොර ආරක්ෂා කරගෙන බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවය වඩාගත යුතුයි.

පන්සිල් සමාදන්වීමේ පිළිවෙළක් ඇත. එය දැනගැනීම බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටම වැදගත් ය.

පන්සිල් සමාදන් වීමට තමන්ටම හැකි ය. එසේ නොමැති නම්, තමන් පංචශීලයෙහි පිහිටුවන්නැයි භික්ෂූන් වහන්සේට ආරාධනා කිරීමට හැකිය.

අප විසින් පළමුව සිදුකළ යුත්තේ දෙ අත් නිල්ල තලයෙහි පිහිටුවා ගෙන ඇඳිලි බැඳ තෙවරක් සාදු! සාදු! සාදු!!

ඒ සමග නමස්කාර පාඨය තෙවරක් මෙසේ ප්‍රකාශ කළ යුතුයි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යනුවෙනි.

තේරුම

ඒ භාග්‍යවත් අරහත් වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

එක නවුතෙ ඉතො කප්පෙ
යමඤ්ජලිං කරිං තදා
දුග්ගතිං නාභිජානාමි
අඤ්ජලිස්ස ඉමං ඵලං

මෙය ඒකඤ්ඡපික ස්ථවිරයන් වහන්සේ රහත්වීමෙන් පසු දේශනා කරන ලද ප්‍රකාශකයකි.

ඒකඤජලිය ස්ථවිරයන් වහන්සේ විපස්සි බුදුරජාණන් වහන්සේට එක්වරක් දොහොත් මුදුනේ තබා නමස්කාර කළහ. මෙය මේ මහා භද්‍ර කල්පයෙන් අනූඑක් කල්පයකින් යට දී කරන ලද්දකි. ඒ එකම ඇදිලි බැඳීමේ කුසල කර්මයෙන් අනූඑක් කපක් තිස්සේ අගතියක නො ඉපිද දෙව් මිනිස් ලොව සැරිසරා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මහණදම් පුරා රහත් වූහ. මෙයින් අඤ්ජලි කර්මයෙහි හෙවත් තෙරුවන් වැදීමේ ආනිසංසය ගැන සලකා ගත හැකිය. ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමෙන් ලැබුණු කුසලය වැනිම කුසල් අදත් උපදවා ගත හැකිය.

සරණාගමනය

නමස්කාරයට පසු සරණාගමනයෙහි පිහිටිය යුතුයි. මෙය තෙරුවන් සරණ යෑම, තිසරණයෙහි පිහිටීම යනුවෙන්ද හැඳින්වෙයි. බුද්ධ, ධම්ම, සංඝ මෙම තෙරුවනයි.

තෙරුවන් සරණ යෑමෙහි දී පිළිවෙළක් ඇත.

එය මෙසේ ය.

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

තේරුම

මම බුදුන් සරණ යමි
මම දහම් සරණ යමි
මම සඟුන් සරණ යමි

මම දෙවනුව ද බුදුන් සරණ යමි
මම දෙවනුව ද දහම් සරණ යමි
මම දෙවනුව ද සඟුන් සරණ යමි

මම තෙවනුව ද බුදුන් සරණ යමි
මම තෙවනුව ද දහම් සරණ යමි
මම තෙවනුව ද සඟුන් සරණ යමි

පන්සිල්

තරුවන් සරණ යෑමෙන් පසු කළ යුතුවන්නේ පන්සිල් සමාදන් වීමයි. තෙරුවන් සරණ යෑමෙන් කෙනෙකුට බුදු සසුනට ඇතුළත් විය හැකිය. එහෙත් බෞද්ධයකු වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති පිළිපැදීමෙනි. මෙම ප්‍රතිපත්ති නොපුරා තෙරුවන් ඇදහීමෙන් පමණක් බුදු දහමේ පරාමර්ථය වූ නිවනට පැමිණිය නො හැකි ය. ඒ නිසා දෙවනුව වැරැදි පහකින් වැළකී සිටීමට පොරොන්දු විය යුතුය. එය පන්සිල් නම් වේ.

පන්සිල් සමාදන්වීම ප්‍රතිපත්තියකි. පන්සිල්හි පිහිටීමට නම් තමන් එම ප්‍රතිපත්තියෙහි පිහිටා අන් අය ද එම වැරැදි වලින් මුදවා ගැනීමට ක්‍රියාකළ යුතුය. උදාහරණයක් දක්වන්නේ්නම්, යම් කෙනෙක් මත්පැන් පානය නොකරන්නේ නම්, එය ඔහුගේ එයින් මුදවා ගැනීමට ක්‍රියාකිරීම වැනි ය. එසේ යම් කෙනෙකු පස් පවින් වැළකී අන් අයද එයින් වළක්වා ගැනීමට කටයුතු කරන්නේ්නම්, ඔහු පංචශීලයෙහි පිහිටියා වෙයි.

පන්සිල් පද

1. පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි
2. අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
3. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි
4. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
5. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
 

තේරුම

1. මම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි
2. මම සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි
3. මම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි
4. මම බොරු කීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි
5. මම මද්‍යපානයෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි

පන්සිල් සමාදන් වන අය මෙම අකුසල කර්ම සම්පූර්ණ වීමට හේතුවන කරුණු ද එහි විපාක ද දැනගත යුතුය. එය පන්සිල් ආරක්ෂා කර ගැනීමට වැදගත් වෙයි.

ප්‍රාණඝාතය

සතකු මැරීමේ අකුසල කර්මය සම්පූර්ණ වීමට කරුණු පහක සම්පූර්ණ විය යුතු ය.

* ප්‍රාණියකු වීම
* ප්‍රාණියකු බව දැනගැනීම
* නැසීමේ සිත
* ඒ සඳහා යොදන උපක්‍රමය
* එයින් ජීවිතය නැසීම

විපාක

* ආයුෂ අඩුවීම
* ලෙඩ රෝග ඇති වීම
* බියෙන් වාසය කිරීම

සොරකම

සොරකම නම් අදත්තාදානයයි. නොදුන් දෙය ගැනීම යි. අදත්තාදානයෙහි අංග

* අන්සතු දෙයක් වීම
* අන් සතු දෙයක් බව දැන ගැනීම
* සොර සිත
* තිබූ තැනින් ගැනීම
* පැහැර ගැනීම

විපාක

* ලෝක අපවාදය
* දුක් වධහිංසා ලැබීම
* දිළිඳු වීම
* බැගෑපත්වීම
* කැමැති වස්තු නොලැබීම
* අනුන් යටතේ වාසය කිරීමට සිදුවීම
* අපායගත වීම

කාමයෙහි වරදවා හැසිරීම

අංග

* නො යා යුතු ස්ත්‍රියක හෝ පුරුෂයෙකු වීම
* සේවනයට සිත යෙදීම
* සේවනය
* එය ඉවසීම

විපාක

* ජනතාවගේ පිළිකුළ
* පවුල් අතර අසමගිය කෝලාහල
* සතුරන් බහුල වීම
* දරුණු රෝග ඇතිවීම
* දේපල හානිය
* අනාගත පරපුර නොමග යෑම
* නො කැමැති ස්ත්‍රී පුරුෂයන් ලැබීම
* ස්ත්‍රියක හෝ පණ්ඩයකු වීම
* අපාගතවීම

මුසාවාදය

මුසාවාදය නම් බොරු කීමයි

එහි අංග

* බොරුවක් වීම
* බොරුවෙන් රවටන සිත
* කයින් හෝ වචනයෙන් බොරුව හැඟවීම
* අසන අය එයින් රැවටීම

විපාක

* අවුල් වියවුල් කලකෝලාහල
* දුකට පැමිණීම
* බොරු චෝදනා ලැබීම
* වචන විශ්වාස නොකිරීම
* දුගඳ හමන මුඛ ඇතිවීම

සුරා පානය

සුරාපානය ද කාම මිථ්‍යාචාරයට ඇතුළත් ය මත්ද්‍රව්‍ය, මත්කුඩු, මස් කෑම සහ දුම්පානය යි

විපාක

* ලජ්ජා නැතිවීම
* උම්මත්තකයකු වීම
* ලෙඩ රෝග ඇතිවීම
* සම්පත් විනාශය
* ශරීරය විරූප වීම
* සමාජය පිළිනොගැනීම

පන්සිල් ඉතිහාසය

පෙර දඹදිව පැවැති වෛදික සහ උපනිෂද් යුගවල ද පංචශීල ප්‍රතිපත්තිය පැවතිණි. ලෝක ධර්මය, දේව ධර්මය යනුවෙන් එය හැඳින්විණි. සමාජ ආචාර ධර්මයක් වශයෙන් පැවැති පංචශීල ප්‍රතිපත්තිය, බුදුරජාණන් වහන්සේ ගිහි බෞද්ධ ජනතාවගේ නිත්‍ය ශීලය බවට පත් කළහ.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජනවාරි 07 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]