UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය සරු කරන දැහැමි පිළිවෙත්

එකිනෙකා අතර හිංසා පීඩා, ජීවිත හානි සිදු වුවහොත් සමාජයට හානි සිදුවන්නේ ය. එසේම මිනිසුන් සතු සම්පත් ඔවුනොවුන් ආරක්ෂා කරගත යුතු ය. සොරකම මං කොල්ල කෑම, වැඩි වුවහොත් මානසික අසහනයද වර්ධනය වන්නේ ය. අසම්මත හැසිරීමෙන් වැළකී කුල කුමරියන් ආරක්ෂා කිරීම සිදුවන විට සමාජ ප්‍රශ්න, සමාජ රෝග ආදිය දුරුවන අතර මානව හිතවාදී බවද තහවුරු වන්නේ ය. ඔවුනොවුන් අතර විශ්වාසය ගොඩ නැගෙන්නේ සත්‍ය වචන භාවිතය නිසා ය.

මිනිසා මෙන්ම තිරිසනා ද විවිධ වූ කාය¸ එදිනෙදා සිදු කරයි. තිරිසනා හිතූ දේ ඒ වෙලාවට ද පසුවද සිදු කරයි. ඇතැම් විට ඒවා කෙනකුට යහපත් වන අතර අයහපත් වන ඒවා ද වෙයි. නමුත් මිනිසා තමාට සිතෙන හොඳ නරක දෙකම මැනවින් තේරුම් ගෙන සමාජ යහපතට හේතු වූ දේ කිරීමට උත්සාහ කරයි. මෙලෙස මිනිසා සිත, කය, වචනය සංවරයක් ඇතිව ක්‍රියා කරයි. සිත සංවර වීමට භාවනාව හේතුවන අතර කය වචන දෙක සංවර වන්නේ සීලයෙනි.

ඒ බව “කාය වාචානං සමෝදානං සීලං” යනුවෙන් දහමේ දක්වා ඇත. මෙම සිල් ගිහි – පැවිදි වශයෙන් වෙන් වෙන් ව දක්වා ඇත. පන්සිල්, අටසිල්, දසසිල් ආදී වශයෙන් ගිහියන් සඳහා සිල් වර්ග කොට ඇත. ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය ආදී සිල් පද පැවිද්දන් සඳහා හඳුන්වා දී ඇත. එම සීලයන් වැඩීම සංවර්ධනයකි . සංවර්ධනය යනු දියුණුවයි. දියුණුව කොටස් දෙකකි

එනම් :-

01. භෞතික සංවර්ධනය
02. ආධ්‍යාත්මික සංවර්ධනය.

පුද්ගලයාට බාහිර වටපිටාවෙන් සම්පත් බහුල වීම, මූලික අවශ්‍යතා නොඅඩුවීම, භෞතික සංවර්ධනය ලෙස හැඳින්වේ. ආධ්‍යාත්මික සංවර්ධනය යනු තමා ශීලය මුල්කොට ගෙන දියුණු කරනු ලබන සදාචාර සංවර්ධනයයි. දුසිරිත්වලින් ඈත්ව සුසිරිත් පුහුණු කිරීම සදාචාර දියුණුවයි. සදාචාරය ඇති තැන භෞතික වශයෙන් සංවර්ධනය රඳා පවතින බව බුදු දහමේ ඉගැන්වේ. සමාජය තුළ ආධ්‍යාත්මික දියුණුව ඇති කරවීමට හේතුවන ප්‍රතිපදාවක් ඇත. එම පිළිවෙත වන්නේ පඤ්ච සීල ප්‍රතිපදාවයි.මෙලෙස සීලය දියුණු කිරීමෙන් සදාචාර සංවර්ධනයක් ඇති වේ.

සීලය හා සදාචාරය

මිිනිසුන් සදාචාර සම්පන්නවීම ඔවුන්ගේ ප්‍රගතිය හෙවත් සංවර්ධනය පිළිබිඹු කරන්නේ ය. පුද්ගලයා සිදු කරන දුරාචාර තුළින් සමාජයට සිදුවන්නේ අයහපතකි. මෙලෙස මිනිසා සදාචාරය ඉවත් කොට දුරාචාරය අනුව ගමන් කිරීම තිරිසනාට උපමා කොට ඇත. මිනිසා මෙන්ම තිරිසනා අතර පවතින සමානකම් 04ක් දක්වා ඇත.

එනම්:-

1. නිදාගැනීම
2. ආහාර ගැනීම
3. බිය
4. සිය වර්ගයා බෝ කිරීම යනුවෙනි.

මෙලෙස සමානකම් තිබුණද මිනිසා දුසිරිත් කිරීමට ලැජ්ජාවක් සහ බියක් ඇත. සංවර්ධනයෙන් සමාජය කොතරම් දියුණුවුවත් එය පූර්ණ සංවර්ධනයක් නොවේ. සමාජයක සිටින මිනිසුන් සිවු ආකාර වන බව පෙන්වා දී ඇත.

එනම්:-

1. මිනිසුන් සේ සිටින තිරිසන්නු
2. මිනිසුන් සේ සිටින ප්‍රේතයෝ
3. මිනිසුන් සේ සිටින නිරි සත්තු
4. මිනිසුන් ම වන මිනිස්සු යනුවෙනි.

මෙහි පළමු, දෙවන හා තෙවන ගණයට අයත් වන්නේ මිනිස් ප්‍රතිරූපකයෝය. මිනිසුන් ව ඉපිද සිටියත් මිනිස්කම නැතතෝය. බුදුදහම අනුව උතුම්කොට සලකන්නේ සිවුවෙනි වර්ගයට අයත් සැබෑ මිනිස් ගුණ ඇති සදාචාරවත් මිනිසාය. දුසිරිත් කිරීමට ලැජ්ජ නැති, අන් අය නොමඟ යවන, සංවරයක් නැති අධර්මයෙන් උපයා යැපෙන පුද්ගලයා “සුවසේ කාබී වෙසෙන ඉතා දක්‍ෂ කපුටෙකු” වැනිය. යනුවෙන් ධම්මපදයේ දක්වා ඇත.

පරපණ නසන, අන්සතු දේ සොරකම් කරන, අසම්මත චරියා ඇති, බොරු කියන, මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් සිටින සමාජය දියුණු යැයි කිව නොහැකි ය. මිනිස් කම නොමැති සමාජයේ භෞතික දියුණුවද මායාවකි.

සීලය හා මානසික සංවර්ධනය

බුදුදහමට අනුව සියලු මානව ක්‍රියාකාරකම්වලට මනස පෙරටුවේ. තමන් විසින් කරනු ලබන අයහපත් ක්‍රියාවන්හි ප්‍රතිඵල තමන් පසු පස එන බවත්, තමන් කරනු ලබන යහපත් ක්‍රියාවන්හි ප්‍රතිඵල තමන් පසු පස එන සෙවනැල්ල සේ වන බවත්, උපමා කොට ඇත. මෙසේ කායික හා මානසික පිරිහීම දුසිල් බවද, කායික හා මානසික දියුණුව සුසිල් බවද ප්‍රකට කරන්නේ ය.

බුදුරදුන් වදාළ සීලය චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය යනුවෙන් කොටස් දෙකකි. එනම් විරමණය හා සමාදානය යි. විරමණය යනු වැළකී සිටීම යි. වාරිත්‍ර යනු එය යි. ප්‍රාණඝාතය, අන්සතු දේ ගැනීම, අසම්මත හැසිරීම, බොරුකීම, සිහිවිකල් බව ආදියෙන් වැළකී සිටීමයි. එලෙස වැලකී සිටීමම ප්‍රමාණවත් නොවේ.

සමාජයේ වෙසෙන මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම, දයාව, කරුණාව, මෛත්‍රිය දැක්වීම, අන් සතුන් විපතින් ආරක්‍ෂා කරගැනීම, සම්මත හැසිරීම් පවත්වා ගැනීම, සියලු කාන්තාවන් ආරක්ෂා කිරීම, සත්‍ය වචන කතා කිරීම, නොමුලාව කටයුතු කිරීම ආදිය “චාරිත්‍ර සීල” වන අතර එය සමාදානයයි.

මෙලෙස විරමණය හා සමාදානය මැනවින් තේරුම් ගෙන කටයුතු කිරීමෙන් කායික මෙන්ම මානසික සංවර්ධනය ද සිදුවන්නේය.

සීලය හා මානව සබඳතා

මිනිසාගේ මූලික අයිතීන් සුරක්ෂිත නොවන විට, සාමයද මිනිස් සබඳතා ද පිරිහී යයි.සීලය තුළින් මානව සබඳතා වර්ධනය කර ගත හැකිය. ඒ සඳහා අපට පන්සිල් උපකාර වන්නේ ය.

සමාජයේ සියලු සංවර්ධනය සිදු කිරීමට නම් මිනිසුන් ගේ ජීවිත ආරක්ෂා විය යුතුය. එසේ නොමැති නම් එකිනෙකා අතර හිංසා පීඩා, ජීවිත හානි සිදු වුවහොත් සමාජයට හානි සිදුවන්නේ ය. එසේම මිනිසුන් සතු සම්පත් ඔවුනොවුන් ආරක්ෂා කරගත යුතුය.

එසේ නොමැතිව සොරකම මං කොල්ල කෑම, වැඩි වුවහොත් මානසික අසහනයද වර්ධනය වන්නේය. සියලු දෙනා සතු සම්පත්වල සුරක්ෂිත භාවය තහවුරු වන විට මානව සබඳතා දියුණු වන්නේය. අසම්මත හැසිරීමෙන් වැළකී කුල කුමරියන් ආරක්ෂා කිරීම සිදුවන විට සමාජ ප්‍රශ්න, සමාජ රෝග ආදිය දුරුවන අතර මානව හිතවාදී බවද තහවුරු වන්නේය. ඔවුනොවුන් අතර විශ්වාසය ගොඩ නැගෙන්නේ සත්‍ය වචන භාවිතය නිසාය. ඒ අනුව නිවැරදි වචන, යහපත් වචන භාවිත කළ යුතුය.

ඒ අනුව හොඳම නෑයා විශ්වාසවන්තයා බව බුදුදහමේ පෙන්වා දී ඇත. එමෙන් සමාජ පැවැත්ම සඳහා මනා සිහියෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය දෙයකි. සිහි විකල්බව විවිධ අනතුරු විපත් ඇතිවීමටද හේතු වන්නේය.තමන් නිවැරැදි සිහියෙන් යුතුව තම ජීවිතය පවත්වා ගෙන යෑම තුළින් ශීලය ද ආරක්ෂා වන අතර මානව සබඳතාව ද වර්ධනය වීම සිදුවෙයි.

සීලය හා ආර්ථික සංවර්ධනය

මිනිසාගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට ආර්ථිකය අවශ්‍යය. භෞතික දියුණුවට පත්වන්නේ ශක්තිමත් ආර්ථිකයක් සකස් කර ගැනීමෙන්ය. යහපත් ආර්ථිකය තුළින් සැපවත් ජීවිතයක් ගතකිරීමට හැකි බවද බුදුදහමේ දක්වා ඇත. ආර්ථික දියුණුව සඳහා මස් වෙළෙදාම, වස වෙළෙදාම, මත්පැන් වෙළෙදාම ආදී පංච වෙළෙදාමෙන් ඈත්ව තුලා කූට මානකූට යන වැරැදි මැනීම් වලින් ඈත්ව, යහපත් වෙළෙඳාම් ආදිය කළයුතු බව ඇතැම් සූත්‍ර ධර්මවල සඳහන් කොට ඇත. උත්සාහයෙන්, දහඩිය වගුරුවා, දෑතේ මහන්සියෙන් ධාර්මිකව ධනය ඉපයීම කළයුතු බව පෙළදහමේ දක්වා ඇත.

මෙලෙස සීලය දියුණු කිරීමෙන් සමාජ සදාචාර ආර්ථික ආදී අංග දියුණු වන්නේය. එසේම අපගේ මානව හැදියාව වර්ධනය වන්නේ ය. එනිසා අප සැම සිල්වත් ගුණ ධර්ම පුරන යහපත් පුද්ගලයන් වීමට අධිෂ්ඨාන කර ගනිමු.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
 මීළඟ පෝය ජනවාරි 07 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]