Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘හොඳ නායකත්වයක අගය කියා නිම කළ නොහැකි ය’

නායකත්වය පිළිබඳ නවතම නිර්වචනය අනුව පුද්ගලයනට තම අදහස් නායකත්වය සමග සාකච්ඡා කිරීමට අවකාශ සලසා තිබේ. කළමනාකරණ චින්තනයේ වර්ධනයත් සමග නායකත්ව සංකල්පය සමග ප්‍රජාතාන්ත්‍රික සාරධර්ම බද්ධ කර ඇති හෙයින් නායකයා ඒකාධිපතියකු නොව තම කණ්ඩායම වෙනුවෙන් සාමුහික වගකීමකින් යුතුව සිතා මතා තීරණ ගන්නා අයකු ලෙස දැන් හඳුන්වනු ලැබේ.

නායකත්වය සමහරුනට උපතින් ම උරුම වේ. සමහරු එය උත්සාහයෙන් සහ දක්ෂතාවෙන් උරුම කර ගනිති. තවත් සමහරුනට එය වෙනත් අය විසින් ලබා දෙනු ලැබේ. අප කුඩා කල කියැවූ නායකත්වය පිළිබඳව ලියැවුණු එක්තරා පොතක එසේ සඳහන්ව තිබුණු බව මට මතකය. කවර අයුරින් ලැබුණා හෝ ලබා ගත්තා වුව ද වඩාත් වැදගත් වන්නේ එය ක්‍රියාත්මක කරන ආකාරය බව අපේ අදහසයි.

එමෙන්ම කෙනෙකුට නායකත්වය ලැබුණු පමණින් ම ඔහු සාර්ථක නායකයකු නොවන බව ද අප මතක තබා ගත යුතුය. සමහරුන් නායකත්වයෙන් පහළට ඇද දමනු ලබන්නේත් තවත් සමහර නායකයන්ගේ ඉතිහාසයෙහි අවමානනීය ලෙස සටහන් වන්නේත් ක්‍රියාත්මක කරන ආකාරයේ ස්වභාවය නිසාය. වැඩි දෙනාගේ ගෞරවාදරය ලබමින් ජීවත් වී සිය නම ඉතිහාසයෙහි රන් අකුරින් සටහන් කරගන්නෝ ශ්‍රේෂ්ඨ නායකයෝය.

නායකත්වය මිනිසුන් අතර පමණක් නොව සත්ව ලෝකය තුළ ද ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන්නක් බව ප්‍රකට කරුණකි. බල ධූරාවලියකින් යුතුව ක්‍රියාත්මක වන මීමැසි රජය පිළිබඳව පාසල් දරුවෝ පවා දනිති. සත්ව චර්යා නිරීක්ෂණය කළ විද්‍යාඥයන් විසින් සෑම සත්ව විශේෂයක් අතරම සාමුහික චර්යාවන්හිදී නායකත්වයක් ක්‍රියාත්මක වන ආකාරය විවරණය කර ඇත. ප්‍රාථමික ගෝත්‍රවල පටන් දියුණු රාජ්‍ය දක්වාම මිනිසුන් අතරද විවිධ රටාවන්හි නායකත්වයන් පවත්නා බව නොරහසකි.

දවියන් අතර නායකයත්වය පිළිබඳ අවශ්‍යතාව ඇතිවුණු ආකාරය පිළිබඳව ඓතෙර්ය බ්‍රාහ්මණ නම් පැරැණි ග්‍රන්ථයේ එන කතාවක් බෂාම් පඬිතුමා අසිරිමත් ඉන්දියාව නම් ග්‍රන්ථයේ දක්වයි. ඒ අනුව සුරාසුර සංග්‍රාමයෙන් පැරදුණු දෙවිවරු තමන් පරදින්නට හේතුව කුමක්දැයි විමසා බැලූහ. තමන් පරදින්නට හේතුව නායකයකු නොමැති වීම බව තීරණය කළ ඔවුහු තම නායකයා ලෙස ඉන්ද්‍ර පත් කරගෙන යුද්ධ කර ජය ලැබූහ. බ්‍රාහ්මණ චින්තනය අනුව නායකත්වයේ සම්භවය යුද්ධයේ අවශ්‍යතාවක් සමග බැදුණෙකි. රජ පදවියේ සම්භවය පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන කතාව අනුව නායකත්වය අවශ්‍ය වූයේ අපරාධ මර්දනය කොට රට සාමයෙහි පිහිටුවීම සඳහාය. නායකයා නම් කණ්ඩායමක දෑස, දෙසවන සහ මුව බව සමහරු පවසති. සැබවින්ම නායකයා කණ්ඩායම වෙනුවෙන් දෑස විවර කරගෙන නිරීක්ෂණශීලිව විසිය යුතුය. සියල්ලන්ටම පෙර අනතුරෙක ඉව දැනිය යුත්තේ නායකයාටය. නායකයා කණ්ඩායම වෙනුවෙන් මෙන් ම කණ්ඩායමට ද ඇහුම්කන් දිය යුතුªය. ඇතුළත මෙන් ම පිටත ද සියලු වාද, විවාද, සංවාද මෙන් ම තර්ජන ගර්ජන ද ඔහුගේ සවනට ලක්විය යුතුය. ‘මට ඇහුනෙ නෑ, මම දැක්කෙ නෑ. මම දැනගෙන හිටියෙ නෑ’ වැනි සමාවට හේතු ඉදිරිපත් කරන්නා හොඳ නායකයෙක් නොවේ. එමෙන් ම කණ්ඩායම වෙනුවෙන් කතා කළ යුත්තේ නායකයා ය. ඔහුගේ හඬ කණ්ඩායමේ හඬයි. ඒ හඬ අබිබවා යන්නට තනි තනි සාමාජිකයෝ සමත් නොවෙති.

එසේ නම් නායකත්වය යනු ඒකාධිකාරයක් නොවේ දැයි ප්‍රශ්නයක් මතු කිරීමට ඉඩ තිබේ. එබඳු පිළිගැනීමක් එක්තරා අවදියක ලොව පැවතුණු බව අප අමතක නොකළ යුතුය. නායකයාට වරදින්නේ නැත. ඔහු කරන කියන සියල්ල නිවැරැදිය යන අදහස සමග මෙය සම්බන්ධ වෙයි. ‘චොම්ස්කි’ වැනි ලේඛකයන් කිහිපදෙනෙකු නායකත්වය යනු අනවශ්‍ය දෙයක් යැයි කීමට උත්සාහ දරා ඇත්තේ එමගින් මිනිසුන්ගේ ස්වාධීනව සිතීමේ සහ ක්‍රියා කිරීමේ නිදහස සීමා වන බවට තර්ක කරමිනි. එසේ වුවද මෑතදී ප්‍රජාතාන්ත්‍රික ගුණාංග සංකලනය කර නායකත්වය අලුතෙන් නිර්වචනය කර ඇති ආකාරය මේ ගැටලුව නිරාකරණය කරයි. නායකත්වය පිළිබඳ නවතම නිර්වචනය අනුව පුද්ගලයනට තම අදහස් නායකත්වය සමග සාකච්ඡා කිරීමට අවකාශ සලසා තිබේ. කළමනාකරණ චින්තනයේ වර්ධනයත් සමග නායකත්ව සංකල්පය සමග ප්‍රජාතාන්ත්‍රික සාරධර්ම බද්ධ කර ඇති හෙයින් නායකයා ඒකාධිපතියකු නොව තම කණ්ඩායම වෙනුවෙන් සාමුහිත වගකීමකින් යුතුව සිතා මතා තීරණ ගන්නා අයකු ලෙස දැන් හඳුන්වනු ලැබේ. ඔහුට දෙසවනක් ඇත්තේ් ඒ සඳහා ය. කට පාවිච්චි කරන්නට පෙර කන් සහ ඇස් පාවිච්චි කළ යුතු බව අද ප්‍රජාතාන්ත්‍රික නිර්වචනය මගින් නායකයනට හඟවා තිබේ. කණ්ඩායමට සවන් දී යථා තත්ත්වය නිරීක්ෂණය කර නිවැරැදි සාධාරණ තීන්දුවලට එළඹීම නායකත්වයෙන් අපේක්ෂා කෙරෙයි. ඔහු ක්‍රියා කරන්නේ සමූහයේ අභිවෘද්ධිය අරමුණු කරගෙනය.

මෙබඳු නායකත්වයක්, සඳහා අපට දැක්විය හැකි හොඳම නිදසුන බුදුරජාණන් වහන්සේය. බුද්ධත්වයට පත්වීමට අවශ්‍ය පාරමිතා පුරණය කරන කාලයේ පටන් උන්වහන්සේ හොඳ නායකයෙකුගේ ගති ලක්ෂණ ප්‍රකට කළ සේක. පන්සිය පනස් ජාතක කථා පොතෙහි එන වණ්ණුපථ ජාතකය , අපණ්ණක ජාතකය, නළපාන ජාතකය, යන ආදිය ඒ සඳහා මනා සාධකයෝය. බුදුසසුනේ නායකත්වය බුදුන් වහන්සේ සතු වුව ද එය භාවිත කර ඇත්තේ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී අන්දමිනි.

පරිනිර්වාණයට කිහිප දිනයකට පෙර බුදුරදුන්ගෙන් පසු බුදුසසුනේ නායකත්වය සඳහා පත් කර ගැනීමට සුදුසු අනුප්‍රාප්තිකයකු ලබා ගැනීම පිණිස ආනන්ද හිමියන් බුදුරදුන් වෙත එළඹ “සංඝයා” වෙනුවෙන් යමක් වදාරන්නේ නැතිව ඔබ වහන්සේ පිරිනිවන් පාතැයි මම නොසිතමි” යි පැවසූ විට උන්වහන්සේ වදාළේ “ ආනන්ද, සංඝයා මා බලාගෙන ඉන්නවා කියා හෝ මම සංඝයා පරිහරණය කරනවා කියා හෝ මට නොහැඟෙයි” යනුවෙනි.

මෙය නායකත්වය පිළිබඳ අපූරු අදහසක් නොවේද? බුදුරදුන් ක්‍රියාත්මක කළ නායකත්වයෙහි සියුම් බව මෙයින් මනාව පෙනේ. උන් වහන්සේ තම නායකත්වය ක්‍රියාත්මක කර ඇත්තේ සංඝයාට බුදුරදුන් තමන් පාලනය කරනවායැයි නොහැඟෙන තරම් සෞම්‍ය ආකාරයෙනි. ඒ වන විට උන්වහන්සේ පුරා හතළිස් පස් වසරක් හොඳ නරක කියා දෙමින්, විනය නීති පණවමින්, ධර්මය දර්ශනය වරදවා ගත්විට එය නිවැරැදි කරමින්, අධිගම ලබන ක්‍රම කියා දෙමින් ප්‍රබල නායකත්වයක් ක්‍රියාත්මක කර තිබිණි.

එහෙත් අනුප්‍රාප්තිකයකු පිළිබඳ අදහස ඉදිරිපත් කරද්දී ආනන්ද හිමියන් කෙළින්ම ඒ බව නොකියා සංඝයා වෙනුවෙන් වචනයක් කියන සේ වක්‍රලෙස ඉල්ලා සිටියේ බුදුරදුන්ගේ නායකත්වය එ තරම් ම සෞම්‍ය සහ අධ්‍යාත්මික එකක් වූ හෙයිනි.

බුදුරදුන් දැරූ නායකත්වය ප්‍රජතාන්ත්‍රික ලක්ෂණයන්ගෙන් සමන්විත වූ බවට ඇති හොඳම නිදසුන භික්ෂුණී ශාසනය ආරම්භ කළ අවස්ථාවයි. අවස්ථා ගණනක්ම භික්ෂුණී ශාසනය පිහිටුවීම ප්‍රතික්ෂේප කර සිටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව තම තීරණය වෙනස් කරන්නට කැමැති වූහ. එමෙන් ම භික්ෂුණී ශාසනය ඇරැඹූ පසු ඉතා දයාන්විතව එහි ප්‍රගමනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ.

එය ඇරඹුණේ තම අකමැත්ත ඇතිව යැයි කිසි විටෙක සිතූ බවක් නොපෙනෙයි. ආගමික ශාස්තෘවරයෙකු මෙසේ ශ්‍රාවකයන් සමග සාකච්ඡා කර තම තීරණයක් වෙනස් කළ අවස්ථා තව කොපමණ ලොව ඇද්දැයි මම නොදනිමි. කෙසේ වුවද මෙය නායකත්වය පිළිබඳ ඉතා ම නවීන සංකල්ප සමග මනාව ගැළපෙන ක්‍රියාවක් බව ඕනෑම අයකුට පෙනී යනු ඇත. බුදුරදුන් තම ශ්‍රාවකයන්ගේ අදහස් වලට සවන් දී තීරණ සංශෝධනය කළ අවස්ථා විනය නීති විකාශය දෙස බලන විට ද දැක ගත හැකිය.

විශිෂ්ට පෞරුෂයකින් සමන්විත වීම නායකත්වය සඳහා අත්‍යවශ්‍ය ගුණාංගයක් බව අවධාරණය කළ යුතුය. නායකයා මනා චරිත ශක්තියක් ඇති දූෂණයට නොඇදෙන පිවිතුරු පුද්ගලයකු වුවමනාය. අනුගාමිකයෝ නායකයාගේ චරිතය ආදර්ශයට ගනිති. එමෙන් ම නායකයා කෙරෙහි අව්‍යාජ ස්නේහයක් වර්ධනය වන්නේ ද ඔහුගේ චරිත ශක්තිය අනුවය.

එහෙයින් නායකත්වයෙහි සිටින්නන් චිත්තවේගයනට යටත් නොවී බුද්ධිමත්ව තම පැවතුම් නිසි අයුරින් පවත්වා ගත යුතුය. සදාචාර සම්පන්න සහ දූෂණයට නොනැමෙන නායකත්වය හැම අතින්ම ප්‍රබලය. තම අනුගාමිකයනට ඍජු ලෙස කතා කිරීමට අවශ්‍ය ආත්ම ශක්තිය ඇත්තේ එවැන්නන්ටය. මජ්ඣිම නිකායේ එන වීමංසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තම පෞරුෂය භික්ෂූන් වහන්සේ හමුවේ අභියෝගාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇති ආකාරය නායකත්ව ඉතිහාසයේ අභිමානනීය සටහනකි.

ඇසට පෙනෙන හෝ කණට ඇහෙන දෝෂයක් මා වෙත තිබේදැයි පරීක්ෂා කර බලන්න. ඔබට ඒ ගැන විමතියක් ඇති වෙනවාද? මා යහපත් ලෙස හැසිරෙන්නේ කාට හෝ බයෙන් යැයි ඔබට සිතෙනවාද? මගේ යහගුණ ඊයේ පෙරේදා ඇති කරගත් දේ යැයි ඔබට හිතෙනවාද? වැනි ප්‍රශ්න රැසක් බුදුන් වහන්සේ ශ්‍රාවකයන් හමුවේ තැබූහ.

නිවැරැදි සහ නිර්භීත තීරණ ගෙන සමූහයාගේ සහයෝගය ඇතිව ඒවා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන්නෝ නියම නායකයෝ වෙති. නායකත්වය ආකර්ශනීය සහ ප්‍රභා සම්පන්න විය යුතුයැයි පවසන්නේ එහෙයිනි. සිත්ගන්නා සුලු කතාබහ සහ කාරුණික ආකල්ප මගින් නායකයෝ සමූහයාගේ සිත් ගනිති.

එමෙන් ම අනුගාමිකයන්ගේ අභිවෘද්ධිය සිය පෞද්ගලික අභිමතාර්ථ සාධනයට වඩා මුල්තැන තබති.හොඳ නායකත්වයක් ලැබීම සමූහයකගේ භාග්‍යයක් බව අවධාරණය කරන අතරම එබඳු නායකත්වයකට අවනතව ක්‍රියා කිරීම සහ නායකත්වය ආරක්ෂා කර ගැනීම සමූහයාගේ යුතුකම බව ද මෙහි ලා අවධාරණය කළ යුත්තකි. ප්‍රබල නායකත්වය සමූහයක ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.