Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමා කෞතුකාගාරයක්

නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා බණ දහම් අසන පිරිසක් වෙසෙන රටක බෞද්ධ දර්ශනයට අනුව ජීවිත ගත කිරීමට උත්සාහ කිරීම, සමාජයට මහත් ආශිර්වාදයක් වනු ඇත.

ලෝකයේ විවිධ වූ ‘මුද්‍රා’ සහ ‘ආසන’ වලට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේ තුන්සියයක පමණ වූ කුඩා කෞතුකාගාරයක් පවත්වා ගෙන යන තරුණයෙක් පසුගිය දා හමුවිය.

අංක 245 සියඹලාගොඩ, පොල්ගස්ඕවිට ග්‍රාමයේ වෙසෙන නමින් ඔහු අමිල ප්‍රදිප් හෙට්ටිආරච්චිය. ඔහු අවු. විසිහතක තරුණයෙකි. එම සද්කාර්යයට යොමු වූ අයුරු අමිල ප්‍රදීප් විස්තර කළේ මෙසේය.

‘බුදු දහම ව්‍යාප්ත වී ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ සුවිශේෂි ස්ථානයක්. නේපාලය, තායිලන්තය, බුරුමය, චීනය, ජපානය වැනි රටවල විවිධ ‘මුද්‍රා’ සහ ආසන’ වලින් සමන්විත වූ බුද්ධ ප්‍රතිමා දැකගත හැකියි.

අම්බලන්ගොඩ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන්වහන්සේ නමකගෙන් තමයි මුල්ම බුද්ධ ප්‍රතිමාව ලැබුණේ. ඒ 1997 දී පමණ. දැන් අවුරුදු 11 සිට විවිධ වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ එක් රැස් කිරීමේ නියැලී සිටිනවා. ලෝකයේ ඇති කුඩාම පිරිත්පොත සහ විරල සෑම ‘මුද්‍රා’ සහ ‘ආසන’ වලට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒකරාශිකර මා සතුව පවතිනවා. එයින් ‘භද්‍රා’ ආසනය විරල බුද්ධ ප්‍රතිමාවක්. ඒ සියලු බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය වී තියෙන්නෙ ලී, මැටි, කිරිගරුඬ, තඹ, පිත්තල, පලිඟු, වීදුරු, සිලිකන්, වැලිගල් වලිනි.

ලෝකයේ ‘මුද්‍රා’ 140 පමණ තිබෙනවා. ලංකාවේ ඉන් කීපයක් නිර්මාණය වී තිබෙනවා. ධම්මචක්ක, අභය, වරද, කටක හස්ත, අංජලී, තෛ‍්‍රලෝක විජය, සමාධි, භූමි ස්පර්ශ, ධ්‍යාන, පරදුක්ඛ දුක්ඛිත යන මුද්‍රා මා සතුව පවතිනවා. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව පොළොන්නරුව යටාල වෙහෙර දැක ගත හැකි වෙනවා.

භද්‍රා, වීර, වජ්‍ර, පද්මා ආසන මා සතුව පවතී. විශේෂයෙන්ම ථෙරවාදී හා මහායාන යන සම්ප්‍රදායන් දෙකටම අයත් ප්‍රතිමා මා සතුව පවතිනවා. මේ ප්‍රතිමා වහන්සේලා වෙත උදේ සවස පූජාවන් පවත්වනවා. ජීවත්වීම සඳහා රැකියාවක් අවශ්‍ය නිසා ආයතනයක ගබඩා සහකරු වශයෙන් සේවය කරනවා. වෑතර සුගතඥානෝදය දහම් පාසලේ ගුරුවරයකු වශයෙන් ප්‍රදේශයේ දරුවන්ට දහම් දැනුම බෙදා දීමෙහිද අමිල ප්‍රදීප් නිරතව සිටියි.

අමිල ප්‍රදීප්ගේ බුදු පෙළහර නමින් බුද්ධ ප්‍රතිමා ප්‍රදර්ශනය සහ බෝධිපූජා පින්කම විහාරස්ථානයක නොමිලයේ ප්‍රදර්ශනය කිරීමට කැමැති නම් දුරකතන අංක 077 - 677441 , 071 - 5512310 අමිලට කථා කළහැකි බව කියයි. අංක 245, සියඹලාගොඩ , පොල්ගස්ඕවිට ලිපිනයේ පදිංචි අමිලට ඒ බව දැනුම් දීමට කාරුණික වන්නැයිද ඉල්ලීමක් කැරේ.

බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවී සිටින අමිල ප්‍රදීප් හෙට්ටිආරච්චි හට ඉදිරියටත් මෙවන් කාර්යයන් කිරීමට හැකිවේවා යනු පැතුමයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.