Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජපන් - ලංකා මිත්‍රත්ව ළදරු පාසල

දුටු දුටුවන්ගේ නෙත සිත පිනවන අක්කර ගණනක් පුරා පැතිරී ගිය සුන්දර නිල් තණ පලසක් බඳු අගනුවර ගොල්ෆ් ක්‍රීඩාංගණයට යාබදව පිහිටි ළමා නිකේතනය වන බොරැල්ල ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නිදහස් ළදරු පාසල පැල්පොල විපස්සී පදනමේ අනඟි මෙහෙවරකි. මේ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ළදරු පාසලේ ආරම්භය මෙයට වසර විසි ගණනක් ආපස්සට දිව යයි. එවකට ජපානයේ ඔටුන්න හිමිව සිටි අකිහිතෝ කුමාරයා හා මිචිකෝ කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය සිහිවීම පිණිස 1981 ජනවාරි මස 10 වන දා සිසුන් 25 දෙනකුගෙන් හා ගුරුවරියන් තිදෙනකු ගෙන් මෙය ආරම්භ විය. බොරැල්ල ආදර්ශ ගොවිපළ පාරේ පිහිටි ශ්‍රී සුදර්ශනාරාමය, පැල්පොල විපස්සී පදනම සඳහා ඉඩ පහසුකම් සපයා දුන්නේය. ප්‍රදේශවාසී අඩු ආදායම්ලාභී දරු දැරියන්ට නොමිලයේ පෙරපාසල් අධ්‍යාපනය ලබාදීම මෙහි අරමුණය.

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නිදහස් ළදරු පාසලින් අධ්‍යාපනය ලබා මේ වන විට 6000 ක් පමණ පිරිසක් සමාජයට එක්ව සිටිති. වර්තමානයේ සිඟිති දරු දැරියන් 250 ක ගේ පමණ නෙත් පෑදීමට ගුරුවරියන් 14 දෙනෙක් හා සේවිකාවන් දෙදෙනෙක් කැපවී ක්‍රියා කරති.

කිසිදු භේදයකින් තොරව මුලින්ම ලියාපදිංචි වන අයට මූලිකත්වය දෙමින් බඳවා ගැනීම් සිදු කැරේ. මෙහි 28 වන වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. එම සිඟිති අරුණලු එළිදැක්ම ප්‍රසංගය පැවැති අවස්ථාවට ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති මහින්ද බාලසූරිය මහතා හා එම මහත්මිය ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති පහළගම සෝමරතන හිමි, බටපොල නන්ද හිමි හා පැල්පොල විපස්සි හිමියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී පහළ බාලාංශ පන්තියේ දරු දැරියන් ඉදිරිපත් කළ නර්තන අංගයක් හා ආරාධිතයන් පිරිස මේ සමඟ ඇති ඡායාරූපවල දැක්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.