Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපද සැහැල්ල

2 වන කොටස

(6) පරේ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ,
යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා

කෝලහලයක් කරන - දෙපිරිස ම නිසැකවම - විනාසේ දොරටුවට - පියවර තබන්නෝ ය. මේ සනාතන ඇත්ත - අවබෝධ වූ විටෙක - සියලු අරගල, අවුල් - සංසිඳී යන්නේ ය...

හිතවතුනි, අප මෙලොව - ජීවිතය ගෙවන විට- වෛර ඇති වන්නේය. අරගල කෙරෙන්නේ ය. වෛරයේ අරගලේ සාපයෙන් අපේ ගත - අබල වී දුබල වී රෝග සෑදෙන්නේ ය. දිරිය පිරිහෙන්නේ ය. සතුට නැති වන්නේ ය. මෙලොව පරලොව දෙකේ - සැප අහිමි වන්නේ ය...

(7) සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්භිච අමත්තඤ්ඤුං
කුසීතං හීන වීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං ව දුබ්බලං

‘රූපාදී’ අරමුණින් - අනිසි ලෙස ඇවිස්සී - ‘ඇස’ ආදී පසිඳුරන් අනිසි සේ ඇවිසුනොත්, ආහාර ගැනීමේ, අරුත වටහා නොගෙන - හීන වීරිය ඇතිව - කුසීතව සිටියොත්/ හේ ඉතා පහසුවෙන් - මරුට බිලි වන්නේ ය. දුබල ගස සුළඟකින් - ඇද වැටෙන්නා වැන්න.

(8) අසුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු සුසංවුතං
භොජනම්භි ච මත්තඤ්ඤුං
සද්ධං ආරද්ධ වීරියං
තං වෙ නප්පසහති මාරො
වාතො සෙලං ව පබ්බතං

‘රූපාදි’ අරමුණෙන් - ඇවිස්සී නොයෙන සේ - ‘ඇස’ ආදී පසිඳුරන් - සංවරව තිබේ නම්/ ආහාර ගැනීමේ - අරුත් වටහා ගෙන ම - පිරුණු වීරිය ඇතිව - අනලස්ව සිටීනම් / මාරයා ඉදිරිපිට - හේ ඉතා බලවත් ය. ගල් කුලක් සුළඟකින් - නොසෙල වෙන්නා වැන්න. හිතවතුනි, අපේ ඇති - ‘ඇස’ ආදී පසිඳුරෝ- හැම විට ම පාපයට - යොමු වී ඇදෙන්නෝ ය/ එවිට මේ ජීවිතය - අතුරු අනතුරුවලින් - ගහන වී නිරතුරුව - දුකට පත් වන්නේ්ය/ ඇස, කන, දිව, නහය - සිරුර යන පසිඳුරන් - සංවරය තිබෙන විට - ජීවිතය ඬරවුල් ය. එවිට හැම අරමුණ ම - නොපැකිලී නිසැකව ම දිරිමත් ව ඉලක්කය - කරා යොමු වන්නේ ....ය.

(9) අනික්කසාවො කාසාවං
යො වත්ථං පරිදහෙස්සති
අපෙතො දමසච්චේන න සො කාසාව මරහති

කෙලෙස් කසටින් පිරුණු පසිඳුරන් අසංවර - ඇත්ත නොකියන කෙනා - කහ වතට නුසුදුසු ය.

(10) යො ච වත්තකසාවස්ස
සීලෙසු සුසමාහිතො,
උපෙතො දමසච්චෙන ස වෙ කාසාවමරහති

කෙලෙස් කසටයෙන් අඩු - පසිඳුරන් සුසංවර - සමාධි තැනැත්තා - කහවතට සුදුසු වේ. හිතවතුනි, හැම දෙනා - කහවතට සුදුසු නැත - කහවතක් දරන්නා - සුසිල්වත් විය යුතුය/ ‘ඇස’ ආදී පසිඳුරන් සුසංවර විය යුතු ය. බොරු බසක් නො පවසා - හරි ඇත්ත කිව යුතු ය / එබඳු වූ ගුණෙන් යුතු - සමාධී සිතැත්තෝ - කසාවත් දරන්නට - සුදුසු වූ ඇත්තෝ.... ය.

(11) අසාරෙ සාරමතිනො -
සාරෙ චා සාර දස්සිනො,
තෙ සාරං නා ධි ගච්ඡන්ති
මිච්ඡා සංකප්පගොචරා

ලෝකයේ හැමතැනම - නිසරු දේවල් තිබේ. මෝඩයෝ නිසරු දෙය - සාරවත් ලෙස දකිති. එබඳු මෝඩයන් හට - කිසි දිනක ලෝකයෙන් - පිරි මහින සාරවත් - වූ දෙයක් ලැබෙන්නේ නෑ.

මතු සම්බන්ධයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.