Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ කතරගම වාර්ෂික පින්කම

කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමයේ ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ මඟින් වාර්ෂිකව සිදු කරන පින්කම් මාලාවේ කතරගම පුණ්‍යානුමෝදනා පින්කම 51 වන වරට මෙම මස 26 – 27 යන දිනයන්හි ඓතිහාසික කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සහ අෂ්ඨඵල බෝධීන් වහන්සේ අබියසදී ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවැත්වේ.

පින්කම ආරම්භ කරන ලද්දේ මෙයට වසර විස්සකට ඉහතදී අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද නාහිමිපාණන් වහන්සේ විසිනි සෑම වසරකදීම අභය දාන පින්කම සහ ලේ දන්දීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කැරේ. වසරපුරා විහිදී යන පුණ්‍ය කටයුතු කතරගම දෙවියන් ඇතුළු සියලු දිව්‍යරාජ සමූහයට අනුමෝදන් කිරීම සඳහා කතරගම පින්කම පැවැත්වේ. දෙසැම්බර් මස 25 දින හිමිදිරි උදෑසන බොරැල්ලේ ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමයෙන් පිටත්වෙන බැතිමතුන් බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ දී ආගමික වතාවත් සිදු කරති. අනතුරුව ගමන් ආරම්භ කර කළුතර බෝධීන් වහන්සේ අබියස පින්කම් වලට සහභාගි වෙති. අනතුරුව උපාසක උපාසිකාවන් දවල් දෙවිනුවර පුදබිමට පැමිණ ආගමික වතාවත්වලට සහභාගි වෙති. දෙවිනුවර ඓතිහාසික සිද්ධස්ථානයෙන් ගමන් අරඹා තිස්සමහාරාම පුදබිමට පැමිණ තිස්සමහාරාම චෛත්‍යය අබියස පින්කම් පවත්වා සන්ධ්‍යා භාගයේ දී කතරගම පුදබිමට පැමිණේ. දෙසැම්බර් 26 දින උදෑසන උපාසක උපාසිකාවන් කිරිවෙහෙර චෛත්‍ය අබියසදී අටසිල් සමාදන් වී මල් පහන් ගිලන්පස කිරිආහාර පූජාවන් පවත්වති.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව පෙරටු කරගත් ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා හා උපාසක උපාසිකාවන් අටපිරිකර මල් පහන් පුද පෙරහරෙන් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට වැඩම කර විශේෂ බෝධි පූජා පින්කම පැවැත්වේ. එම බෝධිපූජා පින්කම් කටයුතු සඳහා ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමි කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස යන නාහිමිවරුන් ද ශ්‍රී කල්‍යාණ ධර්ම සංවිධානයේ අනුශාසක මිරිහානේ නන්ද නාහිමියන් ප්‍රධාන එම සංවිධානයේ නාහිමිවරුන් ප්‍රධාන ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා සහභාගි වෙති.

බෝධි පූජා පින්කමෙන් පසුව බෝධීන් වහන්සේ සමීපයේ විශේෂ පිරිත් මංඩපයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පැවැත්වේ. දෙසැ. 27 දින කිරිවෙහෙර චෛත්‍යය අබියස කිරිආහාර පූජාව ඇතුළු පින්කම් පවත්වා කතරගම දෙවියන් ප්‍රධාන සියලුම දෙවිවරුන්ට පින් අනුමෝදන් කර ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට සෙත් පැතීමෙන් කතරගම පින්කම් කටයුතු අවසන් වෙයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.