Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රාග් බෞද්ධ සමාජ සංස්කෘතික පසුබිමෙන්...

(Link) මෙම ලිපියේ මුල් කොටස 2009 . 12 . 15 දින “ බුදුසරණ “ පත්‍රයේ පළ විය.

පැරැණි ලාංකේය වැසියන් විසින් ම මෙරට බිහිකර ගන්නා ලද ඇදහිලි හා විශ්වාස කිහිපයක්ද දැකගත හැකිය. යක්ෂයන් ඇදහීම ප්‍රාග් බෞද්ධ ලංකාවේ බොහෝ සෙයින් පැවැති ජනපි‍්‍රය සංකල්පයක් බව වටහාගැනීමට තරම් සාධක වංස කතා සාහිත්‍යයේ ඇත. චිත්තරාජ නම් යක්ෂයාට අභය වැවේ යට භාගයේත් කාලවේල නම් යක්ෂයාට නුවර වැවේ නැඟෙනහිර දිශාවෙත් පණ්ඩුකාභය රජතුමා විසින් දෙවොල් ඉදිකරවා තිබේ.

වළවාමුඛී යකුට දේවාලයක් තනා බිලි පුජා දී ඇති අතර ජූතින්දර නම් යකුට මහවැලි ගඟේ අසබඩ තුඹිරියන්ගන තැන දෙවොලක් ඉදිකර ඇත. කාලවේල, මහේජ, වෛශ්‍රවණ,ජුතින්දර, විභීෂණ හා කාලශෝදර නම් යක්ෂයෝද වළවාමුඛී සහ පශ්චිමරාජනි නම් යක්ෂණියන් එකල පිදුම් ලැබූ අය අතර වේ. කාලවේල හා චිත්තරාජ සම්බන්ධයෙන් මහාවංසයේ 10 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.

“ කාලවේලං නිවාසේති - යක්ඛං පුරපුරත්තිමේ
යක්ඛංතු චිත්තරාජානං - හෙට්ඨා අභය වාපියා “

ඒ අනුව පණ්ඩුකාභය රජ දවස කාලවේල හා චිත්තරාජ යන යක්ෂයන් දෙදෙනා සම්බන්ධයෙන් දෙවොල් ඉදිව තිබූ බව වටහා ගැනීමට පිළිවන. කුරුධම්ම ජාතකයට අනුව එකල චිත්තරාජ නම් යක්ෂයකු පුදා තිබේ.

‘’අන්තෝ නරින්ද වත්ථුස්ස - වළවාමුඛී යක්ඛිණිං
නිවෙසෙසි බලිං තේසං -අඤේඤසං චාහු දස්සනං “

අනුරාධපුර බටහිර වාහල්කඩ අසල වූ නුග ගසක් වෛශ්‍රවණගේ වාසභවනය වශයෙන් ද තල් ගසක් ව්‍යාධ දෙවියාගේ වාසභවනය වශයෙන්ද පණ්ඩුකාභය විසින් වෙන්කර තිබේ. ව්‍යාධ දෙවියා දඩයක්කාරයන්ගේ ඉටු දෙවියා ය. කම්මාරදේව නම් තවත් ඉටු දෙවියෙක් පිළිබඳව සඳහන් වේ. ඔහු ලෝකුරුවන්ගේ ඉටු දෙවියා ය. රුක්ෂ ඇඳහීම ප්‍රාග් බෞද්ධ ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පැවතුණි.

මහා සුසානාඝාතානං - පච්ඡිම රාජිනං තථා
වෙස්සවනස්ස නිග්‍රොධං - ව්‍යාධ දේවස්ස තාලකං “

ඒ ඒ දේවතාවන් විෂයෙහි රුක්ෂ (තල්, නුග ආදි ) වෙන්කරවා තිබෙන හෙයින් එකල රුක්ෂ වන්දනාව ද තිබුණ බව සිතිය හැකිය.

දේව වන්දනය ද එකල ලංකාවේ ජනපි‍්‍රය වී තිබූ බව පෙනේ. බුදුරජාණන් වහන්සේ පළමුවර ලංකාවට වැඩම කළ ගමනේදී සුමන සමන් දෙවියන්ට කේශධාතු දුන් බව සඳහන් වේ. පණ්ඩුකාභය දවස කම්මාර දෙවියකු ද ව්‍යාධ දෙවියකු ද විය. අනුරාධපුරයට අරක්ගත් දෙවියන් “ පුරදෙවි” නමින් හඳුන්වා තිබේ. විජයට ආරක්ෂාව දුන්නේ උපුල්වන් දෙවියාය.

නාග ඇදහීම ද එකල ලංකාවේ ජනපි‍්‍රය විශ්වාසයකි. නාගයන්ගේ ඉතිහාසය බෞද්ධ සාහිත්‍යයෙහි ජීවමාන බුදුන් දවස දක්වා ම දිවයන බව පෙනේ. බුදුරජාණන් වහන්සේ වරක් ලංකාවට වැඩියේ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන්ගේ අරගලය විසඳීම සඳහාය. පරණවිතාන මහතාගේ අදහසට අනුව ඉන්දියාවේ ජනපි‍්‍රය නාගයන් වූ පුණ්‍යෙීදර හා මහෝදර යන සංකල්පය ලංකාවේදී චුලෝදර හා මහෝදර බවට පත්ව තිබේ. වංසකථා සාහිත්‍යයේ මෙන් ම පසුකාලීනව ලියැවුණ දූත කාව්‍යයන්වල නාගයන් පිළිබඳ සඳහන් වේ.

උදා:- සැළලිහිණි සංදේශයේ 45 වන කවිය, නා මෙනවියන් පිළිබඳව කරන වර්ණනය

මනහර නා මෙණෙවියනිද ලවැලි පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට

එහි දෙවුන්දර වැල්ල මඩමෙහි වූ නාග කෝවිලක් පිළිබඳව ද සඳහන් වේ. නාග ඇදහීම නාග විශ්වාසය පුරාණ ලංකාවේ කෙතරම් පැවතුනේද යත් පුද්ගල නාමයන්ට හා ග්‍රාම නාමයන්ට නාග යන වචනය යෙදීමටද උත්සාහ දරා තිබේ.

උදා:- නාගසේන, නාගදත්ත, නයිගල , නාගදීප

ප්‍රාග් බෞද්ධ ලංකාවේ ඉහත කී ඇදහිලි හා විශ්වාස මෙන්ම ගෘහ තාරකා වන්දනය ද පැවැති බවට සාධක හමුවේ. පාලි රසවාහිණියේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳව සඳහන් කරන තැන ඵුස්සදේවල නම් යෝධයාට එම නම තැබුවේ ඵුස යන නැකතින් උපන් නිසා යැයි කියැවේ.

ඵුස්ස නක්ඛත්තේන ජාතභාවෝ - ඵුස්සදේවෝති නාමං අඛංතු “

අනුරාධ නම් ග්‍රාමයට ද අනුරාධ කුමාරයාට ද එම නම් ලැබුණේ අනුර නැකැතින් බව සඳහන් වේ.

උම්මාද චිත්‍රා සිරකර තැබුවේ ද නේමිත්ත පාඨකයන්ගේ ප්‍රකාශ කිරීම් අනුවය. මීට අමතරව චන්ද්‍ර සුර්ය වන්දනය ද (තන්තිරිමලේ ගුහා සිතුවම් ) මළවුන් පිදීම ද ශිව ඇදහීම ද නානා පාසණ්ඩයෝ 500 දෙනෙක් ද විසූ බව මහාවංසයේ සඳහන් වේ. (මිසදිටු ගත කුල පන්සියයක් වී - මහාවංසය)

නානා පාසණ්ඩකා චෙව වසිංසු සමණා බහූ “

ප්‍රාග් බෞද්ධ ලංකාවේ අවිධිමත් ආකාරයෙන් බුදුදහම ද පැවැති බවට සාධක තිබේ. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කිරීම, විජය කුමරුගේ බිසව ක්ෂත්‍රිය වංශික කාන්තාවක් වීම (ක්ෂත්‍රීයයන් බුදුදහම පිළිගත් කොටසකි) භද්දකච්චායනා බුදුරජාණන් වහන්සේගේ ඥාති සොහොයුරෙකුගේ දියණියක් වීම, තපස්සු භල්ලුක (භල්ලික) වෙළෙඳ සහෝදරයන් දෙදෙනා ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේෂ ධාතු ගිරිහඩු සෑයේ තැන්පත් කරවීම (ගිරිහඩු සෑය නම් වර්තමාන ලංකාවේ ත්‍රිකුණාමලය තිරියාය නම් ප්‍රදේශයේ නටබුන්ව ඇති සෑයයි) යන කරුණු ඒ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.