Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වාරණ පෙරහර 12 වන දා

ඓතිහාසික වාරණ රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන මහා පෙරහර දෙසැම්බර් මස 12 වනදා සෙනසුරාදා රාත්‍රි 8.00 ට පැවැත්වීමට නියමිතය. සියනෑ කෝරළයට ආලෝකයක් වූ එම මහා පෙරහර අලි, ඇතුන් උඩරට, පහතරට විවිධ සංස්කෘතික අංගවලින් සමන්විත වේ. වාරණ රජමහා විහාරාධිපති සියනෑ, අලුත්ගම් ,හේවාගම්කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක දොම්පේ පුඤ්ඤානන්ද නාහිමි පාණන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව එම පෙරහර සංවිධානය කරනු ලැබේ.

බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයන් සහ ඉතා මනරම් පිහිටීමක් ඇති වාරණ ලෙන් විහාරය පිළිබඳව මෙම පෙරහර පවත්වන අවධියේ බෞද්ධ ජනතාවගේ දැනගැනීම පිණිස කෙටි විස්තරයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කැරේ.


සේයා - ජනක

වාරණ විහාරය පිහිටා ඇත්තේ කොළඹ නුවර මාර්ගයේ කි.මී. 36 ක් දුර ගිය තැන තිහාරිය මංසන්දියෙන් තිහාරිය වරපලාන මාර්ගය අසලයි. ශාන්ත පරිසරයක ගල් පර්වත වලින් යුක්ත කදු මුදුණක් තුලය.

මෙම විහාරස්ථානයේ ඓතිහාසික අගය ක්‍රි.පූ. 3 වෙනි සියවස දක්වා ඈතට දිව යයි. විහාරභූමියේ ඇති බ්‍රාහ්මී අක්ෂර වලින් කෙටූ සෙල්ලිපිය ඊට සාක්ෂි දරයි. මෙම සෙල් ලිපියෙන් කියවෙන්නේ “ මජ්ජිම ස්වාමින් වහන්සේගේ සහෝදර තිස්ස දත්ත ස්වාමින් වහන්සේට පිදූ වගයි “ තිස්ස දත්ත තෙරුන් වහන්සේ නම් මිහිදු මහ රහතන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අරිට්ඨ මහ රහතන් වහන්සේගේ සද්විහාරිකයන් වහන්සේය. එපමණක් නොව දේවානම්පියතිස්ස රජතුමා යොදුනෙන් යොදුන කරවූ විහාර වලින් එකකි. වාරණ රජමහා විහාරය.

මින් පසු වළගම්බා රජතුමා ගේ ආරක්‍ෂක ස්ථානය වූයේ වාරණය. එකල විහාරස්ථානයේ ලෙන්වල කටාරම් කොටවා මහා විහාර මන්දිරය වළගම්බා රජතුමා විසින් කරවන ලදී.

පොලොන්නරු රජ පැමිණි කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා විහාරස්ථානයේ දියුණුවට අනුග්‍රහය ලබා දී ඇත. කෝට්ටේ රජ සමයේදී සවැනි පරාක්‍රමබාහු රජතුමා කිරවැලි බිසව සමග වාරණට පැමිණ ධර්මශාලාවන් සාදා සතිපිරිත් පිංකමක් පැවැත් වූ බැව්ද පිරිත් පිංකම අවසානයේ දොරකඩ අස්න කිවු අල්පිටිගම ලමයාට “ ශ්‍රී වර්ධන දොරකඩ මුදලි “ යන නම්බු නාමය සමග නින්දගමක් දුන් බවත් අල්පිටියේ පාරම්පරික තඹ සන්නසෙහි සදහන් වේ.

මෙවැනි ඉතිහාසයක් ඇති වාරණ රජ මහා විහාරය වර්තමානයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි පූජා භූ®මියක් ලෙස සංවර්ධනය වෙමින් පවතී. එමෙන්ම වසර පුරා දහස් ගණන් බෞද්ධ වන්දනාකරුවන් පැමිණෙන ස්ථානයකි වාරණ රජ මහා විහාරය .

එමෙන්ම ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් බෞද්ධ ආගමික අධ්‍යාපනය ලබාදීමට මංගලසිරි පිරිවෙන, දහම් පාසල ඉමහත් සේවයක් සලසන අතර සෑම පෝය දිනකම හරවත් ආගමික වැඩසටහනක් වාරණදී පැවැත්වේ.

මෙම ආගමික ප්‍රබෝධය ඉදිරියට ගෙන යෑමට අත හිත දෙන බෞද්ධ ජනතාවට මෙම දෙසැම්බර් 12 වෙනිදා පැවැත්වෙන වාරණ මහ පෙරහරට දායකත්වය ලබාදීමට ද හැකියාව ඇත.

තෙරුවන් සරණයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.