Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ මහනෙල් සුවඳ ම ය කුඩමසු පිළී ගඳ ම ය’

සමාජයේ යහපත උදෙසා පුද්ගල චර්යාව මූලික වශයෙන්ම බලපායි. පුද්ගලයාගේ යහපත් චර්යාව මඟින් යහපත් සමාජයක් බිහිවන්නා සේම අයහපත් චර්ය්‍යාව මඟින් අයහපත් සමාජයක් බිහිවන්නේය. හොඳ පුද්ගලයකු බිහිවන්නේ කාය, වචනය, සිත මනාව මෙහෙයවීමෙනි. දහමට අනුව එය දස කුසල කර්මයෙන් යුක්ත වීමයි. තිදොරෙහි එබඳු මනා භාවිතයට පුද්ගලයාට හොඳ අවබෝධයක් අවශ්‍යය.

සමාජගත වන පුද්ගලයා ඒ අවබෝධය සඳහා විචාරශීලි විය යුතුය. මෙහි දී අප සාකච්ඡා කරන්නේ යහපත් පුද්ගලයෙකු නිර්මාණය වීමේදී වචනයේ භාවිතාව සකස් විය යුතු ආකාරය පිළිබඳවය.

මහනෙල්, ඕලු, නෙළුම් ඈ සුවඳ මල් දියේ පිපේ. විල්වලට, වැව් පොකුණු වලට පමණක් නොව මඩවගුරු වලට ද ඒවා රමණීය සැරසිල්ලකි. සුවඳ මුසු අලංකරණයකි. වැවක්, විලක්, පොකුණක් ළඟට යන කවරෙක් වුව එහි පිපි පියුම් දෙස තුටින් බලා සුවඳ සමඟින් දැවටී මොහොතක් හෝ ගත කරති.

එමෙන්ම ඒ ජලස්ථාන කුඩ මසුන්, මසුන්, මැඩියන් , ඉස්ගෙඩියන් වැනි සතුන්ගේ ද වාසස්ථානයයි. ඒ සතුන් ස්වභාවයෙන්ම පිලී ගඳින් යුක්තය. එහෙයින් කවරෙක් හෝ ඒ ගන්ධය හා මුසු වන්නට වෑයම් කරනු වෙනුවට නාස්පුඩු ද වසා ගනිති.

සුවඳ පියුම් ද කුඩ මසුන් ද ජනිත වූයේ එකම දියෙහිය. එහෙත් එය අන් අයට ගෝචර වූයේ දෙපරිද්දකිනි. අපේ මුවින් පිටවන වචන ද එසේමය. කාටත් පි‍්‍රය උපදවන , යහපත සලසන, අර්ථවත් වදන් අපට මුවින් බිණිය හැක. කාටත් අපි‍්‍රය, අන් අය පීඩාවට පත් කරන, අයහපත ඇති කරන, නිරර්ථක කඨෝර වදන් ද මුවින් බිණිය හැක. මෙයින් අප කෙරෙහි අන් අය පි‍්‍රය වීමට උපකාරි වන්නේ පි‍්‍රය වදන් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මුවට පි‍්‍රය වදන විලට පිපි පියුමක් බඳුය. මිනිසුන් පමණක් නොව සතා සිව්පාවෝද පි‍්‍රයවචන අසන්නට කැමති වෙති. නිවසේ ඇති කරන සුරතල් සතුන් වුව තමා වෙත කුලුපගව දිව එන්නේ ඌට ආදරයෙන් ඇමතූ විට පමණක් නොවේද? ජාතක පොතේ එන නන්දිවිසාල ජාතකයෙන් පැනෙන සදූපදේශය මෙහිලා ඉතා අගනේය.

ගැල් පන්සියයක් එකවර ඇදීම තම නන්දිවිසාල නම් ශක්තිමත් ගවයාට ඒ හැටි අපහසු කාර්යක් නොවන බව දත් ස්වාමියා විසින් නගරයේ සිටුවරයෙකු සමග කහවනු ඔට්ටුවක් අල්ලන ලද්දේ ඒ ශක්තිය පෙන්වා මුදලක් දිනා ගැනීම උදෙසාය. එහෙත් ගවයාගේ ශක්තිය උරගා බැලූ මොහොතේ ඌ ගැල් පන්සියය අදිනු තබා කුර එසවීමක් හෝ නොකළේය. ඊට හේතුව වූයේ ගැල් පන්සීයක අදින්නට ස්වාමියා තමන්ට කළ අණ පරුෂවාදයෙන් යුක්ත වීමයි.

ඉන් පසු ගවයා තම ශක්තිය ප්‍රදර්ශනය කොට ස්වාමියාට ඔට්ටුව දිනා දෙන ලද්දේ සෙනෙහසින්, පි‍්‍රය වචනයෙන් කළ ඇමතුම සලකාය . නපුරු වචන ඇමතුම මිනිසාගේ අලාභය පිණිස ද පි‍්‍රයවචන ඇමතුම මිනිසාගේ ලාභය පිණිස ද ඉවහල් වන බව ඉන් වටහා ගත හැකි බව පෙනේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණි කාහට වුව ද කථා කළේ ඉතා පි‍්‍රය වචනයෙනි. බුදු සමය ගැන කිසිවක් නොදත් තෙරුවන් සරණ නොගිය අන්‍ය භක්තිකයෙකු වුව ද උන්වහන්සේ කෙරෙහි අපමණ පැහැදීමක් ඇති කර ගන්නේ උන්වහන්සේගේ ඒ පි‍්‍රය කථා බහ සලකාය. ශාස්තෘවරුන්ගෙන් බුදුරජාණන් වහන්සේ වෙනස් වූයේ එහෙයිනි. පෙළ දහමේ දැක්වෙන අන්දමට බුදුරජාණන් වහන්සේගේ කටහඬ අෂ්ඨ සමන්නාගත ස්වරයකින් යුක්ත විය.

1.විස්සට්ඨො
2.විඤ්ඤෙය්‍යො
3.මඤ්ජු
4.ස්වනියො
5.බින්දු
6.අවිසාරි
7.ගම්භීරො
8.නින්නාදී
(ම.නි.බ්‍රහ්මායු සූත්‍රය)

එබඳු අසම සම කුරවීක මධුරස්වරයක් හා දේශනා විලාශයක් උන්වහන්සේට ලැබුණේ සසර ගමනේ දී පි‍්‍රය වචන, සත්‍ය වචන ,අර්ථවත් වචන, කථා කිරීම නිසාය. සම්බුදු මුවින් පිටවන වදන් සමග හෙළ පියුම් සුවඳ වහනය වූයේ එසේ පෙර භවවලදී පවා මුවින් පිටවූ වදන් කාටත් යහපත උදෙසා බිණූ බැවිනි.

කයින්, වචනයෙන් , සිතින් කෙරෙන කුසලාකුසල ධර්ම පිළිබඳ බුදු සමයේ පැනෙන විග්‍රහය අනුව වචනයෙන් සිදුවන අකුසල කර්ම 04 ක් ද කුසල කර්ම 04 ක් ද හදුනා ගත හැකිය. වචනයෙන් කෙරෙන අකුසල කර්ම වන්නේ,

මුසාවාද (බොරුකීම)
පිසුණාවාචා (කේලාම් කීම )
පරුසාවාචා (පරුෂ වචන)
සම්පප්ඵලාප (හිස් වචන කීම)

යන ඒවාය. මේ කවර වචනය වුව භාවිතය අකුසල කර්ම විපාක රැස් වීමට උපකාරි වේ. එකිනෙක විමසන්නේ නම් එය තමන්ටත්, අනෙක් අයටත් , කාටත් අහිත පිණිස, අවැඩ පිණිස හේතු වන බව වටහා ගත හැකිය. යමෙක් එබඳු වදන් පි‍්‍රය වේ නම් හෙතෙම දූෂිත වූ මනසකින් යුතු වූවෙකි. එබඳු භාෂණයක් ඇත්තා පිළිබඳ කවරෙකුට හෝ ගෞරවයක් , විශ්වාසයක් හෝ පි‍්‍රය මනාප බවක් ඇති වන්නේ නැත. පිලී දුගඳ හමන කුඩමසු විලක් සේ කාගේත් පිළිකුලට ලක්වීමම හෙතම මෙලොව වශයෙන් ලබන අකුසල විපාකයයි.

වචනයෙන් කුසල කර්ම රැස් කිරීමට නම් උක්ත වාග් වාරණයෙන් මිදිය යුතුය. එවිට,

මුසාවාදයෙන් වෙන්ව සත්‍ය වචන කථා කිරීම
කේලාම් කීමෙන් වෙන්ව අන් අය සමඟි වන සේ කථා කිරීම
පරුෂ වචන කථා කිරීමෙන් වෙන්ව අර්ථවත් වචන කථා කිරීම
හිස් වචන කථා කිරීමෙන් වෙන්ව අර්ථවත් වචන කථා කිරීම

වශයෙන් වාග් සුචරිතයක් ඇති වේ. එබඳු වාග් සුචරිතයක් ඇති තැනැත්තාට සමාජය නිතැතින්ම ගෞරවය පිරිනමයි. ඔහු කෙරෙහි මහත් විශ්වාසයක් හා ඇසුරෙහි පි‍්‍රය ,ප්‍රසන්න , බවක් දක්වයි.

සුවඳ හමන පැහැපත් මහනෙල්, නෙළුම්, ඈ මල් ගැවසි ගත් විලක් සේ කාගේත් පි‍්‍රයතාවයට පත් වීම හෙතෙම මෙලොව දීම ලබන කුසල විපාකයයි.

එවන් උසස් විපාකයක් ලබන්නට ඔබ වැය කළ යුතු ධනය හෝ ශ්‍රමය ඔබට ගණනය කළ හැකිද? එය දශමයක් හෝ නොවන්නේ නොවේද? ලොව්තුරා මඟ සාදන්නට අවැසි සම්මා වාචා, සපුරා ගන්නට පිළිපැදිය යුත්තේය.

මහනෙල් සුවඳ                         මය
කුඩ මසු පිළී ගඳ                     මය
දෙකට එක දිය                          මය
හොඳට නරකට දෙකට කට මය


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.