Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසම සම ශාස්තෘවරයාණෝ

බුදුහිමියෝ සියලු ලෝ වැසියන්ට නිදහසේ සිතන්නට ඉගැන් වූ පළමු අනුශාසකයාණෝ වෙති. ඒ බව කාලාම සූත්‍රයෙන් පැහැදිලි වෙයි. ගුරු මුෂ්ටියෙන් තොර වූ උන්වහන්සේ ශ්‍රාවකයන්ට අවශ්‍ය සෑම දේ දේශනා කොට, ගැටලු ඇති තැන් සම්බන්ධව විමසන ලෙසද පවසති. බුදුරදුන් තමන් නසන්නට පැමිණි දෙව්දත්, අංගුලිමාල, ධනපාල ඇතා ආදී සියලු දෙනාටත්, තම ලෙයින් උපන් රාහුල කුමරුන්ටත් එකම මෙත් සිතින් නිවැරැදි මාර්ගය පෙන්වාදීම මඟින් බුදුරදුන්ගේ අසහාය ශාස්තෘත්වයේ මහිමය ප්‍රකට වෙයි.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බව අවිවාදයෙන් යුතුව සඳහන් කිරීමට හැකි ය. ඒ බව, බුද්ධ චරිතය මඟින් ඉතා මැනවින් සනාථ වෙයි. සියලු ලෝ සතුන් කෙරෙහි අපමණ කරුණාවකින් යුතුව නිවැරැදි මඟ පෙන්වා දුන් සම්බුදු හිමියන් සෑම යහපත් ගුණාංග සහිත ඉතා ආදර්ශමත් ශාස්තෘවරයකු බව, බෞද්ධ සාහිත්‍යය හෙළි කරයි.

භාරත දේශයේ ගෞතම සම්බුදුරදුන් පහළ වන විට නොයෙක් දර්ශන මතවාද අනුව යමින් ක්‍රියා කළ බොහෝ ආගමික නායකයෝ වූහ. එවැනි දර්ශන හා මතවාද වලින් පිරුණු සමාජ වටපිටාවක අප සම්බුදු හිමියන් ඉතා පැහැදිලිව චතුරාර්ය සත්‍ය දහම සියලු ලෝසතුන්ට දේශනා කිරීම නිසා බුදු සසුන වටා ඉතා කෙටි කලක් ඇතුළත බොහෝ දෙනා එක්රැස් වූ බව පෙනෙයි.

මේ අයුරින් සම්බුදු දහම භාරතය පුරා ප්‍රචලිත වූ අතර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද අසම සම ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයකු බව සත්ථා දේව මනුස්සානං යන බුදු ගුණය අනුව පැහැදිලි වෙයි. මිනිස් ලොව පහළ වූ උන්වහන්සේ මිනිසුන්ගේ පමණක් නොව දෙවියන්ගේ ද ශාස්තෘවරයා බව බොහෝ සූත්‍ර දේශනා මඟින් පැහැදිලි වෙයි. බුද්ධ කාලයෙහි සිටි ප්‍රකට වෛද්‍යවරයා වූ ජීවක, අජාසත් රජතුමාට බුදුරදුන් පිළිබඳ හා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශාස්තෘ ගුණ පිළිබඳ දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු ඇසුරෙන් මනාව හඳුන්වා දී ඇති අයුරු, පහත සඳහන් පාඨයෙන් පැහැදිලි වෙයි.

“තං ඛො පන භගවතෝ ඒවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්භුග්ගතෝ, ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස දම්ම සාරථී සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවා...”

මේ අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැතිර තිබූ කීර්ති රාවය කෙබඳු ද යන්න සනාථ වෙයි. ‘සත්ථා’ යන්නෙන් දැක්වෙන ලෙස බුදුරදුන් අසම සම ගුරුවරයකු වන බව, බුද්ධ චරිතයෙන් පැහැදිලිව පෙනෙයි. භාරත දේශයට උන්වහන්සේ පහළ වන විට ප්‍රධාන පෙළේ ශාස්තෘවරුන් වශයෙන් සලකනු ලැබුවේ ෂට් ශාස්තෘවරුන් ය. නමුත් ඒ සියලු දෙනා අභිබවමින් ඉදිරියට පැමිණි බුදු හිමියෝ ඉතා කෙටි කලක් තුළ සියලු දෙව් මිනිසුන්ගේ ගුරුවරයා ලෙස බහුතරයකගෙන් පිදුම් ලැබූහ. බුදුරදුන්ගේ ඒ ශාස්තෘ ගුණය පිළිබඳ විසුද්ධි මාර්ගයේ දී මැනවින් කරුණු දක්වා ඇත.

“දිට්ඨ ධම්මෙහි ච සම්පරායේහි ච පරමත්තේ ථෙහිච යථාරහං අනුසාසතීති සත්ථා”

යනුවෙන් මෙලොව පරලොව හා නිර්වාණය ලැබීම උදෙසා බුදුන්වහන්සේ අනුශාසනා කරන හෙයින් බුදුන් වහන්සේගේ ශාස්තෘත්වයේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි වෙයි. මිනිසාගේ මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට හැකි වන අගනා කරුණු දීඝජානු කෝලිය පුත්‍රයාට ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී මැනවින් පෙන්වා දී ඇත. ඒ අනුව මෙලොව දිවියේ සාර්ථකත්වයට අවශ්‍ය කරුණු මෙසේ ය.

1. උට්ඨාන සම්පදා
2. ආරක්‍ඛ සම්පදා
3. කල්‍යාණ මිත්තතා
4. සමජීවිකතා

පරලොව දිවි මඟ සද්ධා සීල, ත්‍යාග, පඤ්ඤා යන ගුණාංග දියුණු කිරීම මඟින් සාර්ථක භාවයට පත් වන්නේ යනුවෙන් අනුශාසනා කොට ඇති සම්බුදු හිමියන් දෙවියන්ගේ ද ශාස්තෘවරයා වන බව, සුසීම, පරාභව මහා සමය මහා මංගල ඇතුළු බොහෝ අගනා සූත්‍ර දේශනා මඟින් ද පැහැදිලි වෙයි. බුද්ධත්වයෙන් පසු පස් වන වස් කාලයේ දී තව්තිසා දෙව් ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම මඟින් මෙන්ම දෙවියන්ට නොයෙක් ගැටලු ඇති වූ පසු ඒවා විසදා ගැනීමට ගෞතම බුදුරදුන් කරා එළැඹීම අනුව ද උන්වහන්සේගේ ශාස්තෘගුණයේ ශ්‍රේෂ්ඨත්වය මැනවින් ප්‍රකට වෙයි. ප්‍රධාන වශයෙන්ම භාරත දේශයට සම්බුදුපියාණන් වහන්සේ පහළ වන විට බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් කුලය පදනම් කරගෙන සමාජ වර්ග කරනු ලැබූවද, සියලු භේද විවේචනය කළ උන්වහන්සේ, සියලු මිනිස් ප්‍රජාව වෙතට තමන්ගේ ශාස්තෘත්වය ප්‍රකට කරමින් නිවැරැදි මඟ පෙන්වා දුන්හ. ඒ නිසා බොහෝ දෙනා සසුන්ගත වී මාර්ග ඵල වලට පත්ව ශාසනයෙහි අගනා තනතුරු ද ලබා ගත් බව, බොදු සාහිත්‍ය කරුණු දක්වයි. එසේම තථාගතයන් වහන්සේගේ ශාස්තෘත්වයේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වන ප්‍රධාන ගුණාංග කිහිපයක් මෙසේ ය.

1. ශ්‍රාවකයන්ට චින්තන නිදහස ලබා දීම.
2.ගුරු මුෂ්ටි තබා ගැනීමකින් තොර බව
3.යථාවාදී තථාකාරී (කියූ දේ කරන), යථාකාරී තථාවාදී (කරන දේ කියන )ගුණය

මෙවැනි උතුම් ශාස්තෘත්වයකින් හෙබි බුදුහිමියෝ සියලු ලෝ වැසියන්ට නිදහසේ සිතන්නට ඉගැන් වූ පළමු අනුශාසකයාණෝ වෙති. ඒ බව කාලාම සූත්‍රයෙන් පැහැදිලි වෙයි. ගුරු මුෂ්ටියෙන් තොර වූ උන්වහන්සේ, ශ්‍රාවකයන්ට අවශ්‍ය සෑම දේ දේශනා කොට, ගැටලු ඇති තැන් සම්බන්ධව විමසන ලෙසද පවසති. මජ්ඣිම නිකායේ වීමංසා සූත්‍රය මෙන්ම, පරිනිර්වාණයට ආසන්න අවධියේ දී දෙසූ මහා පරිනිබ්බාණ සූත්‍රය ද ඊට නිදසුන් ය. “ඒහි පස්සිකෝ” (එව ධර්මය පිළිබඳ බලව) යනුවෙන් ඕනෑම අයකුට විමසීමේ නිදහස ලබා දුන් බුදුන් වහන්සේ ශ්‍රාවකයාට කියූ දේම තමන් විසින් ද කරන සහ තමන් කරන දේම දේශනා කරන ආදර්ශමය ශාස්තෘවරයකු බව බුද්ධ චරිතය සනාථ කරයි.

එසේම,

“වදකේ දේවදත්තම්හි
චෝරේ අංගුලිමාලකේ
ධනපාලේ රාහුලේ වේච
සබ්බත්ථ සමමානුසෝ”

යනාදී වශයෙන් බුදුරදුන් තමන් නසන්නට පැමිණි දෙව්දත්, අංගුලිමාල, ධනපාල ඇතා ආදී සියලු දෙනාටත් තම ලෙයින් උපන් රාහුල කුමරුන්ටත් එකම මෙත් සිතින් නිවැරැදි මාර්ගය පෙන්වාදීම මඟින් බුදුරදුන්ගේ අසහාය ශාස්තෘත්වයේ මහිමය ප්‍රකට වෙයි. මෙතෙක් ලොව පහළ වූ උත්තරීතර ශාස්තෘවරයා වන බුදුන් වහන්සේ ගේ එම අගනා ක්‍රියා කලාපය සියලු ආගමික නායකයන්ට මෙන්ම නූතන ගුරුවරුන්ට ද මහඟු ආදර්ශයක් බවට විවාදයක් නැත.

මේ නිසාම මිනිසුන් වන අප තථාගත අමාමෑණී ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ අගනා ශාස්තෘ ලක්‍ෂණ පිළිබඳ අවබෝධ කරගෙන ක්‍රියා කිරීම, දෙලොව ජීවිත සාර්ථක කර ගැනීමට හේතුවක් වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.