Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලුම්බිණියේ ‘ ශ්‍රී ලංකා මහා විහාරය ‘ ජනපති සඟ සතු කර පූජා කරයි

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ නේපාලයේ ලුම්බිණි නුවර පින්බිමේ ශ්‍රී ලංකා රජය ඉදිකළ ශ්‍රී ලංකා මහා විහාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 30 වන දා පෙරවරුවේ මහා සංඝරත්නය වෙත පූජා කරන ලදී.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස බුදුරදුන් උපන් ස්ථානය වන්දනා කරති - ඡායාරූපය සුදත් සිල්වා

ශ්‍රී ලංකාවත් - නේපාලයත් අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සබඳතාව ශක්තිමත් කිරීමේ එක් අවස්ථාවක් ලෙස මේ අවස්ථාව නම්කළ හැකියැයි මහා සංඝරත්නය මෙහිදී ප්‍රකාශ කොට සිටියහ.

ශ්‍රී ලංකා මහා විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 1.5 ක මුදලක් ජනාධිපතිවරයා විසින් මෙහිදී ප්‍රදානය කරන ලදි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ලුම්බිණි සංවර්ධන භාරකාර අරමුදලෙන් මේ විහාරයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 74කි.

දෙවැනි අදියර සඳහා රුපියල් මිලියන 195ක මුදලක් වෙන් කොට ඇත. පුස්තකාලයක්, කෞතුකාගාරයක්, විවේකාගාරයක්, භික්‍ෂු නේවාසිකාගාරයක් මෙහි පළමු අදියර යටතේ ඉදි කොට ඇත. බෙලිඅත්ත ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයා වශයෙන් 1970 ජුලි මස 06 වැනි දින එවකට තරුණ මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ලුම්බිණි සංවර්ධන කාර්යයන් යළි ආරම්භ කැරැ ඇත. මීට වසර 25කට පමණ පෙර ඉදි කිරීම් කටයුතු ආරම්භ කර අතහැර දමා තිබූ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා මහා විහාරය ශ්‍රී ලංකාවට ආවේණික වු සංස්කෘතික ලක්‍ෂණවලින් අනූනව අංගසම්පූර්ණ විහාරස්ථානයක් ලෙස ප්‍රතිසංස්කරණයකර බෞද්ධ සැදැහැවතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා ඉඩ සලසා දීමත්, එම විහාරය ආසන්නයේ පිහිටා ඇති දුටුගැමුණු විශ්‍රාම ශාලාව නවීකරණය කර වන්දනාකරුවන්ගේ නවාතැන් පහසුකම් සඳහා ලබාදීමත් ජනාධිපතිවරයාගේ අපේක්‍ෂාවයි.

ලුම්බිණි පුදබිමේ සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා ලුම්බිණි විහාරය වැඳපුදා ගත් අතර, අනතුරුව ලුම්බිණි නුවර පිහිටි මහා බෝධි විහාරය ද වැඳ පුදා ගත්තේය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ද, ශ්‍රී ලංකා ලුම්බිණි සංවර්ධන භාරකාර අරමුදලේ සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ , අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රෝහිත බෝගොල්ලාගම, තිස්ස කරලියද්ද, මර්වින් සිල්වා, ජනාධිපති අතිරේක ලේකම් ගාමිණි සෙනරත්, ජනාධිපති විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් සජින් වාස් ගුණවර්ධන, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති තොසපාල හේවගේ යන මහත්වරුද, නේපාලයේ පාර්ලිමේන්තු කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය Dr. Minendra Rijal මහතා ඇතුළු එරට නියෝජිත පිරිසක් ද මීට එක්ව සිටියහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.