Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රෝමයේ ධර්මාශෝක විහාරස්ථ සිදුහත් දහම් පාසල

දේව මැවුම්වාදී ආගම් මුල් කර ගෙන ක්‍රියාත්මක වන ආගම් පරිසරයක් ඇති රටවල් ලෝකයේ බොහෝ ඇත. ලාංකීය බෞද්ධයන් තම මව් බිමෙන් ඈත්ව රැකියාවන් හි හෝ අධ්‍යාපන කටයුතුවල නිරත වන සැලකිය යුතු පිරිසක් මෙම රටවල ජීවත් වෙති. ඔවුහු මැවුම්වාදී ආගම් මුල්කර ගත් අප ශ්‍රී ලාංකීය උතුම් සංස්කෘතියට අසලකින්වත් තැබිය නොහැකි සංස්කෘතියකට අනුගත වෙමින් ජීවත් වෙති. මෙම රටවල් අතරින් යුරෝපාකරය ප්‍රධාන තැනක් ගනී. තම ළමා කාලය මවු රටේ ගතකර පන්සලේ, දහම් පාසලේ ඇසුර ලබා හැදී වැඩී වැඩිහිටි වූ පසු දැනුම් තේරුම් ඇති බැවින් ලෝකයේ කොතැනක සිටියද හරි දේ වැරැදි දේ කුමක්ද යන්න තේරුම් ගෙන ජීවත් වීමට හැකිය. එසේ වුවද එවැනි පිරිස් ද ඇති ගුණ නසාගනිමින් නැසෙන්නෝ ද සිටිති.

ඉතාලියේ රෝම නගරයේ ශ්‍රී ධර්මාශෝක විහාරස්ථානය බුදු හිමි දෙසූ මඟ ගමන් කිරීමට අප හැමටම අවස්ථාවක් සලසා දෙන පින් බිමකි. විහාරස්ථානයේ නිර්මාතෘ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සද්ධම්මපෝතික ශාසන කීර්ති ශ්‍රී ලෝකක්‍ෂචාරී ගෞරව නාමය සහිතව ඉතාලියේ සංඝ නායක වශයෙන් පත් කර ඇති ගෞරවණීය දඹදෙණියේ ධම්මාරාම හිමිපාණන් වහන්සේ යි. උන්වහන්සේ වසර 18කටත් අධික කාලයක් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ට ද බුදු දහම උගන්වමින් එහි අගය වටහා දෙමින් ඒ උතුම් ආගමික මෙහෙවර අදටත් ඉටුකරමින් සිටිති.

විහාරවාසී නේපාල ජාතික ආචාර්ය නන්ද ස්වාමීන් වහන්සේ ද මනා ලෙස සිංහල භාෂාව හසුරවමින් මහත් ආගමික මෙහෙවරක් ඉටු කරති. ප්‍රධාන වශයෙන් විහාරස්ථානයේ වාර්ෂිකව වෙසක් පින්කම, පොසොන් පින්කම, කඨින පින්කම මහත් උත්සවත්ශ්‍රීයෙන් සිදු කරන අතර මීට අමතරව ආගමික සේවාවන් රැසක් ද සිදු කෙරේ.

මෙම විහාරස්ථානයේ සිදු කෙරෙන තවත් උතුම්ම සේවාව ඉරිදා දහම් පාසලයි. “සිදුහත් දහම් පාසල” නමින් පවත්වාගෙන යනු ලබන මෙහි සිහල බොදු දරු දැරියෝ විශාල ප්‍රමණයක් විනයානුකූ®ලව බුදු දහම උගනිති. ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ හා පූජ්‍ය ආචාර්ය නන්ද ස්වාමීන් වහන්සේ හා තවත් ගිහි ගුරුවරු දෙදෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් විසින් ඉගැන්වීමේ කටයුතු කෙරෙන ‘සිදුහත් දහම් පාසල’ මවුබිමෙන් ඈත්ව සිටින මෙම දරුවනට සරුසාර ඵල නෙලා ගත හැකි තෝතැන්නකි.


රෝමය සිසු සිසුවියන්ගෙන් කොටසක්

ළමා පරපුර යනු අනාගත ලෝකය භාර ගැනීමට සිටින්නෝය. මොවුන්හට නිවැරැදි දේ ලබා දීම වැඩිහිටියන්ගේ පරම යුතුකම වේ. තරගකාරී සමාජ රටාව තුළ දැන් දැන් මවුපියන් ද වෙහෙසෙන්නේ තම දරුවන් හට නව තාක්‍ෂණය හා දැනුම ලබාදීමටය. උදාහරණයකට පරිගණකය හා ජංගම දුරකථනය අද නැති කෙනෙක් නැති තරම්ය.

අනාගතයේ හොඳ රැකියාවක් කිරීමට මිල මුදල් හම්බ කිරීමට දැනුම අවශ්‍ය වේ. එබැවින් ගණිතය, විද්‍යාව, නොයෙක් විෂයන් හා භාෂාවන් ඉගෙන ගත යුතුය. එසේම අනාගතයෙත්, වර්තමානයෙත් ගුණ ධර්මයන්ගෙන් පිරි යහපත් පුද්ගලයකු වීමට නම් නිවැරැදි දෑ නිවැරැදිව ඉගෙන ගත යුතු වේ. ආගම දහම, රට ජාතිය පිළිබඳව හැඟීමක් ඇති කරගත යුතු වේ.

දහම් පාසල තුළින් දරුවනට ආගම දහම පමණක් නොව සිංහල භාෂාව ඉගෙන ගැනීමේ මහඟු අවස්ථාව ද ඇත. මෙහි ඉගෙනුම ලබන දරු දැරියෝ රෝමයේ පැවැත්වෙන විවිධ සංස්කෘතික, ආගමික උත්සව වලදී නාට්‍ය, ගායනා හා විවිධ ඉදිරිපත් කිරීම් තුළින් සබකෝලය නැතිකර ගනිමින් තම දක්‍ෂතා ලොවට විදහා පාති. විහාරස්ථ දායක සභාව, අනුලා කුළගන සමිතිය සහ දහම් පාසල් සංවර්ධන කමිටුව මේ සැමගේ කැපවීම හා උත්සාහය ඉදිරියට යන මේ උදාර ගමනට තවතවත් ශක්තිය ධෛර්ය්‍ය වාසනාව ලැබේවා!

එසේම අවසාන වශයෙන් ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබට අප විවෘතව ආරාධනා කර සිටින්නේ මෙම විහාරස්ථානයේ ඇසුර ලබන්නත් දූ පුතුනුත් සිදුහත් දහම් පාසලට යොමු කරවා නැණ ගුණ වඩවන පිරිසක් කිරීමට උත්සුක වන මෙන්ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.