Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොතක මහිම දැක වැලපෙයි සිත මෙලෙස

විද්‍යාත්මක චින්තනය හෙවත් හේතුඵල දහම බුදුදහමේ හරයයි. ප්‍රඥාව හා බුදුදහම අතර අවියෝජනීය සම්බන්ධයක් පවතින්නේත් එහෙයිනි. 2050 වනවිට බුදුදහම හැරුණු කොට අන් සියලු ආගම් නැති වී යනු ඇතැයි ආතර් සී. ක්ලාක් පවසන්නේ ද එහෙයිනි.

මේ බව නොසැලකෙන බොහෝ අවිද්‍යාත්මක සංකල්ප ලාංකික බෞද්ධයන් අතරට වරින් වර එක් වෙයි. ජනප්‍රසාදය දිනා ගැනීම අරමුණු කොටගෙන ඇරඹෙන මෙම සංකල්ප සමහරක් ඉබේම නැතිව යන අතර සමහර ඒවා පූජාවිධි ආදිය ලෙසින් ද ජන ජීවිතයට බද්ධ වෙයි. අන්ධ භක්තිය මෙයට හේතු වන අතර එය සමීප වන්නේ බුදු දහමට නොවේ. ඇදහිල්ල මුල් කොට ගත් වෙනත් දේවවාදී ආගම් දර්ශනවලට ය. අන්ධ භක්තියත් ඇදහිල්ලත් ඇති තැන ප්‍රඥාව වල් වැදෙයි. අගතිය මතු වෙයි.

අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි යනුවෙන් නම් කැරුණු කෘතියක් මේ වසරේ පොසොන් ඇසළ නිකිණි මාස තුනෙහි වරින් වර මුද්‍රණය වෙමින් පිටපතක් අප අතට ද පත්විය. ප්‍රකාශකයා ද සඳහන් නොවන මෙම කෘතිය ධ්ඉඕව් අංකයක්ද සහිතව මාලබේ ආරිය මුද්‍රණ ශිල්පීන් විසින් මුද්‍රණය කරන ලද්දකි. පොත ශීඝ්‍රයෙන් පාඨකයන් අතර පැතිරීමද දන්නා හඳුනන උගත් පාඨකයන් කිහිප දෙනකුගේ ඉල්ලීම ද පොත කියවා උපන් සංවේගය ද මෙම ලිපියට පාදක විය.

කතු හිමියන්ගේ අරමුණ වී ඇත්තේ බුදුන් උපන් දේශය ලංකාව බව සනාථ කිරීමය. උන්වහන්සේ පවසන පරිදි අසෝක රජු දඹදිවම අල්ලා හෙළදිව අල්ලාගන්නට කළ ප්‍රයත්නය අසාර්ථක වෙයි. එයට හේතු ලෙස එකල ඉන්දියාවෙ සිටි බුද්ධ ශ්‍රාවකයන්ගෙන් ඔහුට දැනගන්නට හැකිවන්නේ හෙළදිව බුදුන් උපන් රාජ්‍යය හෙයින් යටත් කළ නොහැකි බවය. ඔහුටත් එවැනි බුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය වෙයි. ඒ අනුව දූතයන් හෙළදිවට එවා එහි සියලු වෙහෙර විහාර කොපි කර එහි ආකෘතීන් ඉන්දියාවේ ගොඩනැගීය. (23 පි) හෙළදිව එවකට යක්ෂ හෙළය. දේව හෙළය, නාග හෙළය, කුම්භාණ්ඩ හෙළය නම් ප්‍රදේශ හතරකින් යුතු විය. මෙයින් සොළොස්මහ ජනපද ද කිඹුල්වත් නුවර ද බුද්ධ භූමි ද අයත් ව තිබුණේ දේව හෙළයටය. අසෝක මේ සියල්ලෙහිම ආකෘතින්ද හෙළදිව තිබූ දෙව්රම් වෙහෙර රජගහ නුවර වේළුවනාරාමය, ආදියෙහි ආකෘතීන් ද භාරතයෙහි ඉදි කළේය. (23 පි) අද ලංකාවේ සැබෑ ස්ථාන වල් වැදී ඇති අතර අසෝක රජ සමයේ ඇති කළ ආකෘතීන් නිසා බුදුන් උපන් දේශය භාරතය ලෙස බෞද්ධයෝත් පිළිගනිති. කතුවර මතය ලෙස බුදුන් උපන් හෙළදිව එදා ජන්බුද්වීපය ද හෙළදිව හෙවත් ලංකාව පාලන ප්‍රදේශ 4 යුක්ත විය. දේව හෙළය, යක්ෂ හෙළය, නාග හෙළය, හා කුම්භාණ්ඩ හෙළය යනුවෙනි. ජන්බුද්වීපය නම් වූයේ දේව හෙළයයි. (ලංකා සිතියම් මැදින් දිග් අතට ඉරක් ඇඳ එහි හරි අඩකට වැඩි දකුණු කොටස දේව හෙළය ලෙස දක්වා තිබේ. (පි. 41)

තෙල්දෙණිය සිදුහත් කුමරු උපන් ලුම්බිණියය. දඹුල්ල, හබරණ පාරේ හිරිවඩුන්න බෝධිය බුද්ධත්වය ලැබූ ස්ථානයයි. මැදවච්චියෙහි ඇති ඉසින් බැස්ස ගල දම්සක් දෙසූ ඉසිපතනයයි. රිටිගල කඳු වැටියෙහි වූ බුදුගල පිරිනිවන් පෑ කුසිනාරාවයි. බලංගොඩ මහවලතැන්න මල්ල රාජධානියයි. කපිල වස්තුපුර දෙව්දහ නුවරට අයත් වන්නේ දිඹුලාගල සිට කුණ්ඩසාලේ තෙල්දෙණිය දක්වා ප්‍රදේශයි. රිටිගල යනු අනේපිඬු කළ දෙව්රම් වෙහෙරයි. උහන, බක්කිඇල්ල, මීගහකිවුල, මහියංගනය ගල්ඔය ආදිය මගධයට අයිති විය.

දිඹුලාගලට පහළින් මාදුරු ඔය සිට මාරවිල, සේරුවිල දක්වා ශාක්‍ය ජනපදය පැවතිණි. ගඟේ අනිත් පස සෝමාවතිය, පොළොන්නරුව, කන්තලේ, පිහිටි ප්‍රදේශය එදා කෝලිය ජනපදයයි. සිදුහත් උපත සිදුවූයේ තෙල්දෙණිය කිට්ටුව නමුත් තවමත් එය මතු කරගෙන නැති බව කතුහිමියන්ගේ අදහසයි.

එසේ තමන් බුදුබව ලැබූ බෝධිය නම් හිරිවඩුන්නේ පිහිටා ඇත. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය මෙයින් ගත් ශාඛාවකි. ගත් තැන අද ද වෙසක් පෝයට සුදු බෝපත් මතු වෙයි. ඒ බෝධිය යට නොසෙල්වෙන සේ වජ්‍රාසනයක්ද තබා ඇති අතර එය තබන ලද්දේ මුචලින්ද නා රජු විසිනි. ( පින්තූරය 57 පි) ඒ බෝධිය අසල අදද කස්සප නම් ගමක් ඇතිලු. එය තුන් බෑයන්ගේ ගමයි. බුද්ධත්වය ලැබූ තැන සල් උයනක් නැති මුත් කතුහිමියන් තම රචනාවට සල් උයනක් ද ඈඳා ගනී. සල් උයන සල්වත්ත බවටද, පසුව තල්වත්ත බවට ද, පත්වී අද ද ඒ ආසන්නයේ ඇත.

කතුහිමියන් පවසන පරිදි උඩංගාව නම් ගමට ඒ නම ලැබී ඇත්තේ සුජාතාව කිරිපිඬු දුන් පාත්‍රය උඩුගං බලා ගිය හෙයිනි. අසලම ඇති මාමිණියාව නම් ගමට ඒ නම ලැබී ඇත්තේ මහ මුණි ආව යන්න වෙනස් වීමෙනි. කුස තණ පඳුරු අදටත් දකින්නට ලැබේ. (පිටකවර පිංතූ®රය) හිරිවඩුන්නේ අදටත් බුද්ධ ශක්තිය හා විශ්ව ශක්තිය ඇතැයි පවසන කතුහිමියෝ එතැන් සිට දම්සක් දෙසීමට මැදවච්චියෙහි ඉසින් බැස්ස ගලට වැඩි බව පවසති. එහිදී තපස්සු භල්ලුක හමුව සිදුවීලු. පිරිනිවන් පෑ මල්ල රට යනු බලංගොඩට පහළින් වූ මහවලතැන්න බව සොයාගෙන ඇති කතුහිමියන් බුද්ධ ආදාහනය බුදුගල දී සිදුවුණු බව පවසයි.

බුද්ධ භාෂිතය ද ඇතැම් විට තම මතය තහවුරු කිරීමට යොදා ගන්නා කතුහිමියන් තර්කවලට සාපේක්ෂව ප්‍රාමාණික කියවීමක්ද ඇති බවක් ලේඛනයෙන් හෙළි වෙයි. කතුහිමියන් පවසන ලෙස ආටානාටා සූත්‍රය (ආටානාටිය නොවේ) හා මහා සමය සූත්‍රයෙහි ඇත්තේ එදා හෙළදිව ග්‍රාම නාම සහ පුද්ගල නාමය. එහි පැවසෙන ආලකමන්දාව, ආලකපුර හෙවත් ලංකාපුර නම් යක්ෂ හෙළයේ අගනුවරයි. අද එය විලච්චිය නමින් හැඳින්වේ. ධතරට්ඨ ගාන්ධර්ව රාජ්‍යය තොප්පිගල මහවනය මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයයි. කුම්භාණ්ඩ රාජධානිය ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක වලට අයත් වේ. විරූපාක්ෂ නා රජයට අයත් වූයේ කල්පිටිය සිට ගාල්ල දක්වා බටහිර වෙරළ තීරයට කැලණිය හා මීගමුවයි. නාගදීපය, නයිනති වු, නයිනමඩම නාග රාජධානිය වූ අතර චූලෝදර මහෝදර මනිඅක්ඛිත මේ ප්‍රදේශවල රජ කළහ. බුදුන් වහන්සේ අලව් යකු දමනය කරන ලද ප්‍රදේශය අද අලව්ව නමින් හැඳින්වේ. (පි 46)

ඒ අනුව බුදුන් වහන්සේ වෙත රජගහ නුවර ගිජ්ජකුට පර්වතයේදී වෙස්සවන රජු තම පාලන ප්‍රඥප්තිය ආටානාටා නමින් ඉදිරිපත් කරයි. (ආටානාටා නම් යකුන්ගේ රාජසභාව ආලක පුර හෙවත් අද විලච්චියෙහි පිහිටා තිබුණි. එහි එන්නේ යක්ෂ පාලන ක්‍රමයයි. බුදුහු එය පිළිගනිති. එහි එන සියලුම යක්ෂයන් යක්ෂ ගෝත්‍රික මනුෂ්‍යයන් වන අතර ඔවුහු විලච්චිය අගනුවර කොට වාසය කළෝය. එහෙත් කතුහිමියන් ගිජ්ජකුට පර්වතය සෘජුවම හඳුන්වා නොදෙයි. රජගල, නිල්ගල, බුද්ධංගල, සමන්ගල, හා නුවරගල නමින් පිහිටා විශාල ගල් පර්වත සහිත අම්පාර , බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශයෙහි වේළුවනාරාමය යන නමින් මගධ රාජ්‍යයට අයත් විය. ගිජ්ජකූට පර්වතය පිහිටියේද රජගහ නුවරට නුදුරු වේළුවනාරාමය පිහිටි ප්‍රදේශයේ ය.

සාහිත්‍යයේ හැඳින්වෙන රජගහ නුවර වේළුවනාරාමය තපෝදා නදිය සප්තපණ්ණි ගුහාව, ආදිය ලංකාවේ ඇති බවට හඳුන්වා දීමෙන් මඟ හරියි. කතුහිමියන් පවසන්නේ මිහිඳු ආගමනය ද දේව හෙළයේ සිට යක්ෂ හෙළයට සිදුවන්නක් බවයි. ජන්බුද්වීපය යනු බුදුන් ජන්මය ලැබූ ලබන ද්වීපයයි. ජන්බුද්වීපය යනු දේව හෙළයයි. ජන්බුද්වීපය හෝ දඹදිව හෝ යන නම්වලින් භාරතය හඳුන්වාදීමක් ඉන්දීය ඉතිහාසයේ කිසිම කාලයක නම්කර නොතිබූ බවට සහතික කර ප්‍රකාශ කළ හැකිය. (49 පි) කතුහිමියන්ගේ තර්කය නිවැරදි විය හැකිය. එහෙත් ලංකාව ද තැප්‍රෝබේන්, තාම්රලිප්ත, තාම්රපර්ණි, සෙයිලාන් ආදි නම් වලින් ඉතිහාසය තුළ හඳුන්වා ඇති බව කතු හිමියන් අමතක කර ඇත. දඹදෙනි යුගයේදී දෙවැනි පැරකුම් රජුගේ අගමැති රචනා කළ පූජාවලියෙහි මේ ගාථාව කතුහිමියන් අසා ඇතුවා විය හැකිය.

එකො ථූපෙ රාජගහෙ - එකො වේසාලියා පුරෙ

එකො කපිලවස්තුස්මින් - එකො සා අල්ලකප්පකෙ

එකො ථූපෙ රාමගාමෙ - එකො සා වේටදීපකෙ

එකො පාවෙස්සකෙ මල්ලෙ - එකො සා කුසිනාරකෙ

එතෙ සාරීරිකා ථූපා- ජම්බුදීපෙ පතිට්ඨිතෙ

අංගාරකුම්භ ථූපෙහි - දසථූපේ භවන්තිතෙ

පූජාවලියෙහි කියැවෙන මේ කපිලවස්තු ධාතූන් පිප්රවා නගරයෙන් සොයා ගැනීමත් සමග කපිලවස්තු ව ද හඳුනා ගැනිණි. ධාතු සහිත මංජුසාවේ එය ධාතු බෙදීමේදී ශාක්‍ය ඤාතීන්ට ලැබුණු කොටස බව ලියා තිබුණු අතර මේ ධාතුන් වහන්සේගෙන් කොටසක් 1897 අපේ‍්‍රල් 21 ලංකාවට වැඩමවා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේදී ලාංකික බැතිමතුන් සඳහා ප්‍රදර්ශනය කෙරිණි. (ධාතු පෙන්වීමේ සිට ලංකාවට ගෙනැවිත් ප්‍රදර්ශනය කරන තුරුම මේ කාර්ය හා සබඳතා පැවැති නොයෙල් පීරිස් නම් රාජ්‍ය තාන්ත්‍රිකයා විසින් ලියා කැණීම් කළ පුරාවිද්‍යාඥ කේ.එම්. ශ්‍රී වාස්තවට පිළිගන්වන ලද කෘතියෙහි අදාළ පින්තූ®ර සමග විස්තර කියවා බලන්නැයි මේ කතුවරයාට ඇරයුම් කරමු. එසේම හිරිවඩුන්න බෝධිය නොව අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ද එහි මුල් අංකුර 32 එවා පැළ කළ තැන් ද සමග (හිරිවඩුන්නත් ඇත්දැයි විමසා බලන්න) වැඩුණු බෝධි සංස්කෘතියත් ශිල්ප ප්‍රාගුණ්‍යයත් ගැන සවිස්තර ලේඛනයන් වන බෝධිවංශය නම් කෘතියක් ඇති බව කතු හිමියන් අසා ඇත් ද?

මෝගල් හා බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන්ට බුද්ධාගම සම්පූර්ණයෙන් විනාශ කළ නොහැකි වූයේ විනාශ කළ නොහැකි ප්‍රබල සාක්ෂි නිසාමය. සාංචි තොරණෙහි ඇත්තේ සම්පූර්ණ බුද්ධ චරිතයයි. එයද බොරුවක් බව මේ කෘතිය කියයි. මේවා පිහිටා ඇත්තේ බෞද්ධ ප්‍රදේශවල නොවන අතර කැණීම් කළ පෙපේ කනිංහැම් ශ්‍රී වාස්තව මෙන්ම ලොස්ට් සිටි ඔෆ් කපිලවස්තු ලියූ ලාංකික නොයෙල් පීරිස් ද බෞද්ධයෝ නොවෙති.

මේ කෘතියෙහි අරමුණ පරම විචිත්‍ර ශ්‍රී සද්ධර්මය අඩංගු ධර්ම දේශනා පොත් වශයෙන් මුද්‍රණය කර බෙදා හැරීම බව ද දැනට පොත් 20 ක් පමණ මුද්‍රණය කර ඇති බවද කතුහිමියෝ පවසති. බුදුන් උපත සිදු වූ තැන, බුදු වූ තැන, දම්සක් දෙසු තැන, පිරිනිවන් පෑ තැන, වැඳ පුඳා ගැනීමෙන් කුල පුත්‍රයකුට පැහැදිය හැකි යැයි පැවසෙන බුදු වදන ද මහා පරිනිබ්බාණ සූත්‍රයෙන්ම උපුටා දක්වා ඇත්තේ (16, 17 පි) ඒ අතරම පසුගිය අවුරුදු 1500 කාලයක් තිස්සේම කාලයාගේ වැලි තලාවෙන් වැසී යාම නිසා මිනිසුන්ට නිවන් දැක ගැනීමට ලැබූ අවස්ථාව අහිමි වූ බව කියයි. (19 පි) දන්ත හා හේමමාලා කුමරිය මල්ලව රජ පරපුරට අයත් හෙළදිව උපන් දෙදෙනෙකි. (70පි) (අද මහවලතැන්න) කතු හිමියන් නොදන්නවාට හේමමාලා හා දන්ත කුමරු ගැනත් දළදාව ලක්බිමට වැඩම කළ යුගයේ ඉන්දියානු සම්බන්ධතා ගැනත් දීර්ඝ ඓතිහාසික විස්තරයක් ඇත. අද භාරතයේ නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තයේ පූරි දිස්ත්‍රික්කයේ පූරි නමින් හැඳින්වෙන්නේ ඔවුන් දෙදෙනාගේ් නිජ බිම බව ඓතිහාසික සාධකවලින් සනාථ වී ඇත. පරිනිර්වාණ විස්තරයේ විසාලා මහනුවර නම් යාල වනයේ කැලයක්ලු. බේළුව ගම නම් බුත්තලයි. යාල කැලයේ සිට බුත්තල හරහා වැල්ලවායට වැඩි බුදුන් වහන්සේ ඇතිලි වැව හම්බේගමුව හරහා මහවලතැන්න (මල්ල රාජ්‍යය) බුදුගලට පැමිණ පිරිනිවියාලු.

‘මගපල ලබන්නන්ට උපකාර වන ශක්තිය කේන්ද්‍ර ගතව තිබෙන්නේ මේ ස්ථානයේම පමණි’ සියලුම බුදුවරයන් වහන්සේලාට ජන්මය ලබන්නට හේතු වාසනා ඇත්තේ මේ දීපයේදී පමණි. (09 පි) විස්මිත විශ්ව ශක්තිය ද මේ ස්ථානයේ අදටත් පවතින බව අත්දැකීමෙන් ප්‍රකාශ කරමු. මෙම මුල් ශ්‍රී‍්‍රමහා බෝධියට ආරක්ෂාව සලසා ඇත්තේ අතිපුදුම අදෘශ්‍යමාන බලවේගයකිනි. එදා ගෞතම බුදුන් බුදු වූ මොහොතේ සිටම මෙම අදෘශ්‍යමාන බලවේගය මෙම ස්ථානයට ආරක්ෂාව සපයමින් අදටත් සිටින බව ළඟදී ගත් ඡායාරූපයෙන් අවබෝධ කරගත හැකිය. (63 පි)

මේ ස්ථානයේ පරම පවිත්‍ර බුද්ධ ධර්මය දේශනා කර ‘සං’ දේශනා කර (19 පි) එහෙයින් බුදුවරුන් නිකුත් කළ විශ්ව ශක්තිය ලබා ගැනීමට නම් මෙම ස්ථානයත් එහි ඇති බෝධියත් වැඳපුදා ගත යුතු බව පවසන කතුහිමියන් ඒ තැන් හෙළිකිරීම අරමුණ බව පවසයි. පාඨකයා දැන් ඉතින් කළ යුත්තේ තෙල්දෙණියට ගොස් ලුම්බිණිය වැඳ හිරිවඩුන්නට ගොස් විශ්ව ශක්තිය අදෘශ්‍යමාන බලවේගයේ පිහිට හා මගඵල නිවන් ලැබ සං (නොදනිමු) පිහිට ලැබ ඉසින් බැස්ස ගලට ගොස් දම්සක් පැවැත් වූ බිම වැඳ, මහවලතැන්නට ගොස් පිරිනිවන් චෛත්‍යය වැඳගෙන බුදුගල ගොස් ආදාහන චෛත්‍යයද වැඳ ගැනීමයි.

කොඳු කඩන්නාක් මෙන් තර්ත කරන කතුහිමියන් වචනවල නිරුක්තිය මෙසේ දක්වයි. ජන්බුද්වීය, ජන්+බුද්+දීපය (බුදුන් ජන්මය ලබන දීපය) හැම සත්ත්වයාම විඤ්ඤාණ ශක්තිය නොකඩවාම පුනබ්භවෝති- උත්පාදනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙයි. බු + උද්ධ - බුද්ධ යනු මේ ක්‍රියාවලිය මුලින්ම උදුරා දැමීමයි. (උද්ද යනු ඉදිරීම බව කියැවේ) මේ තර්කය නිවැරදි නම් බව ගමන නතර කළ සමන බුද්ධ නම උචිත බව හැඟවේ. ආටානාටි සූත්‍රයේ සඳහන් වන සමනල කන්ද ප්‍රදේශය පාලනය කළ රහතුන්ට ද යක්ෂ ගෝත්‍රිකයෙකි. හිරිවඩුන්න සෑදී ඇත්තේ හිමි වැඩ උන්න යන වචනයෙනි. ඒ අසල ඇති මාමිනියාව නම් ගමේ නම සෑදී ඇත්තේ මහ මුණි ආව යන්නෙනි. (මහ මුණි යනු බුදුන්ය) තවත් ගමක් වූ උඩංගාව සෑදී ඇත්තේ මෙසේය. උඩු ගං ආව - උඩංගාව වීමෙනි. බුද්ධ ධර්මය විකෘති කරන තැන් ඇත්තේ එක් තැනක දෙතැනක නොවේ. කතුහිමියන් පවසන බුදුවීමට වජ්‍රාසනය සෑදු මුචලින්ද, බුදුරදුන්ට මුණ ගැසුනේ බුදුවීමෙන් පසු සවන සතියේ බව කතු හිමියන් නොදනිතත් පාඨකයෝ දනිති.

නොදැනුවත් කමෙන් පද පරම දැනුමෙන් අවිද්‍යාව නිසාම දඹදිව දඹගස් සහිත දීපය වශයෙන් හඳුන්වති. (පද පරම යන්නෙහි අර්ථය අප දන්නා පරිදි නම් මේ ආත්මයේ මගපල ලැබිය නොහැකි යන්නය) බුද්ධ ධර්මයේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන සමන්විත බුද්ධියෙන් අර්ථය ධර්මය හා නිරුක්තිය මතු වී එය බුදුන් උපදින දීපය, ජන්මය ලබන දීපය වශයෙන් හඳුනාගෙන ඇත. (අර්ථ ධර්ම නිරුක්ති පටිභාන නම් චතුසම්භිදා ඥානයට අරුත දී ඇති සැටි මෙසේය) ලේඛනය යනු හැමටම කළ හැක්කක් නොවේ.

ඒ ප්‍රතිභාව ලබන ලේඛකයා තම පෑන එසවිය යුත්තේ පාඨකයා වල්මත් කිරීමට නොව ඔහු ඥානනය කිරීම සඳහාය. ඔහුගේ පර්යාලෝකය වැඩීම සඳහාය. නව මතවාද ඉදිරිපත් කිරීමට හැකිවීම ලේඛකයාගේ ව්‍යුත්පත්තිය හෙළි කරන මුත් ඒ මතවාද පාඨකයා වල්මත් කරන බහුභූත නොවිය යුතුය. බෞද්ධයා විශ්වාස කරන්නේ පිරිතෙහි බලය දස දහසක් සක්වල පැතිර ඇති බවය. මේ කෘතියෙහි කියැවෙන්නේ ආටානාටිය හා මහා සමය සූත්‍රවලින් ඈත ලක්දිව 1/4 ටත් අඩු කොටසක් පාලනය කළැයි පැවසෙන වෙස්සවන නම් ගෝත්‍රික යක්ෂ පාලකයාගේ රාජ්‍ය පාලනය පිළිබඳ තොරතුරු හෙළිවන බවය. විශේෂයෙන්ම වෙස්සවන ගිජ්ජකූට පර්වතයට ගොස් තම පාලක ප්‍රතිපත්තිය බුදුන් වහන්සේට පිළිගැන් වූ බවත් බුදුන් වහන්සේ එය පිළිගත් බවත්ය. එසේනම් විශ්වය පවතින තුරා දසදහසක චක්‍රාවටයන්හි බලය පවතින්නේ මේ සුළු ජාතික පාලකයාගේ ආඥාවද?.

අනෙක් අතට, අතට පත් රාජසම්පත්තියත් උතුම් ශාක්‍ය වංශයත් අලුයම කෙළ පිඬ සේ හැර දමා සිඟන පාත්‍රයත් දළ සිවුරත් වැළඳ මගට බට උත්තම රාජපුත්‍රයකුව පියාපත් බර පමණක් රැගෙන යන පක්ෂීන් වැනි සංඝ සංස්ථාවක් වැඩෙන්නට ඉඩ හළ නර ශ්‍රේෂ්ඨයකුට මේ සුළු පාලකයාගේ ඇන්නෑව කුමට ද? බුදුදහම පරිහානියෙන් ගොඩ ගෙන මේ තත්ත්වයට ගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැප වුණු ගිහි පැවිදි මහා පුරුෂයෝත් කළ කැප කිරීමත් මෙවැනි නිසරු ප්‍රලාපයන්ගෙන් වැනසී යාමට ඉඩ තැබීම යුතු නොවේ. අසත්‍යය අද්භූතය ඉතා ශීඝ්‍ර‍්‍රයෙන් පැතිරෙයි. අද්භූතය හා පරිකල්පනය පි‍්‍රය කරන නොමේරු බුද්ධිය ඇති පාඨකයන්ට මේ රචනාවලින් සිදුවන බලපෑම සුළුපටු නොවේ.

ගොඩනැගිමට වඩා පහසුවෙන් යමක් කඩා දැමීම හැකිය. කතුහිමියන් කෘතියේ අවසානයට පරම පවිත්‍ර බුද්ධ ධර්මය කියවා අසා දැන ධර්ම මාර්ගයට අනුගත වන්නැයි පාඨකයාට ආයාචනා කරයි. (අවසාන පිටුව) බුදුන් වහන්සේ පළමු වස්සානයෙන් පසු අතළොස්සක් වූ භික්ෂූ පිරිසට සංචාරයට අවසර දෙන්නේ චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය - බහුජන සුඛාය යනුවෙන් අවවාද දෙමිනි.

යතිවරයකු හෝ අන් කවරකු හෝ වේවා සත්‍යය වළකා යමකු මිථ්‍යාව කරා ගෙන යන්නේ නම් ඒ තැනැත්තා බෞද්ධයකු නොවේ. විශ්ව ශක්තියේ ‘සං’ ශක්තියේ හා අන්තගාමී ජාතිවාදයේ ගැලී සිටින්නකුට සත්‍යය අසත්‍යයෙන් වෙන්කර ගත හැකි වේද? බෝධි මූලයේදී අදෘශ්‍යමාන බලවේගයක පිහිට ලැබී යයි යන කියුම ම බුද්ධත්වයට පමණක් නොව සාමාන්‍ය බෞද්ධයකුට පවා නිග්‍රහයක් නොවේ ද? මේ අපට කියවන්නට ලැබුණු පළමු රචනාව නමුත් අනෙක් රචනා දහනමයෙහි කවර ශාසන විලෝඵනයක් කර ඇත්දැයි නොදනිමු.

අද බෞද්ධයන්ට ගිහි පැවිදි සර්වඥයන්ගෙන් අඩුවක් නැත. පෙර දවස නම් මෙබඳු දේ සංගායනාවකට හේතු වනු ඇත. නුවණැති බෞද්ධයන්ට විමංසන බුද්ධියෙන් මෙම මතවාද කියවා ප්‍රඥාවෙන් වටහා ගන්නට ශාසන ආරක්ෂක දෙවියෝ ද ශාසනාලයැති නිලමක්කාරයන් ඇත්නම් ඔවුන් ද පිහිටවෙත්වා පතමින් බුදුසරණ පතමින්, හිසේ අත්ගසා ගැනීම හැර අපට වෙන අන් කුමක් කළ හැකි ද?


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.