Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ කාලයේ ෂට් ශාස්තෘවරු

සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයේ නොයෙක් මතවාද ආගම් දර්ශනයන්ගෙන් පිරී පැවතුනේය. එහෙයින්, දඹදිව දෘෂ්ටි කෞතුකාගාරයක් බඳු විය. එකල දෙසැටක් මිත්‍යාදෘෂ්ටි තිබුණ බව ප්‍රකට කරුණකි. බුද්ධ කාලීන භාරත සමාජයේ ආගමික නායකයන් ලෙස මහත් හරසර ලබමින් විවිධ දෘෂ්ටිවාද ප්‍රකාශ කළ තමන් බුදුවරුන් යැයි කියා ගත් ශාස්තෘවරු සය දෙනෙක් සිටියහ. මොහුනට දහස් ගණන් අනුගාමිකයන් සිය ගණන් ශ්‍රාවකයන් සිටිය බැව් බෞද්ධ හා ජෛන පොත්වල සඳහන් වේ. මේ හැර නාම ගෝත්‍ර අප්‍රකට බොහෝ දෘෂ්ටිවාදීහු සිටියහ.

විශාලා මහනුවර තුන් බියෙන් පෙළෙන්ට වූ කළ ඒ බිය දුරු කර ගැනීමට ඉහත කී ෂට් ශාස්තෘවරුන් ගෙන්වන ලෙස ඔවුන් ඇදහු ඇමැතිවරු රජුට කීහ. ඒ පිළිබඳ බුදුගුණාලංකාර කාව්‍ය ග්‍රන්ථයේ එන කවිද සඳහන් කරමින් කෙටි විස්තරයක් ඉදිරිපත් කරමි.

පූරණ කස්සප

සිත කෙලෙසුන් පසි ඳ
සැනහුන නිවන් පුර වැ ද
බුදු කෙනෙ’කැත මෙස ඳ
පවර පූරණ කසුබු නම් ල ද

දඹදිව සොළොස් මහා ජනපද අතුරින් එකක් වූ අඟුරට දකුණු දිග ප්‍රදේශයේ කස්සප නමින් ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ ගෝත්‍රයක් විය. එහි අධිපති කස්සප නම් බමුණෙකි. ඔහුට ලැබුණ දරුවන් අතුරින් මොහු උපන් දිනයේ අභිමතාර්ථ සිද්ධි කීපයක් සම්පූර්ණ වූ නිසා පූරණකස්සප යැයි නම් තැබීය. මේ ගැන තවත් මතයක් ඇත.

පූර්ණ කාශ්‍යප එක්තරා සිටු ගෙයක දාසියකගේ කුසින් බිහි වූ අතර දාසයින් සීයක් සම්පූර්ණ කරමින් බිහි වූ නිසා පූරණකාශ්‍යප යැයි නම් වීය. හෙතෙම එක්තරා ආජීවකයෙකු කෙරෙහි පැහැදී එම ධර්මය ඉගෙන ‘ නග්න වත’ පුරමින් සිය ගණන් ආජීවකයින් පිරිවරා ගෙන දඹදිව නොයෙක් ප්‍රදේශවල චාරිකා කළහ. අකිරියවාදය මොහුගේ ධර්මය යි. පව් පින් කරන්නාට ඉන් ලැබෙන විපාකයක් නැතැයි කියා කර්ම විපාක ප්‍රතික්‍ෂේප කිරීම ඔහුගේ් ධර්මයේ සාරාංශය ලෙස ගත හැකිය.

මක්ඛලි ගෝසාල

ලොව නරයින්කර          න
මහ පුද ලබන නිතියෙ න
බුදු කෙනේකැත නමි    න
පසිඳු මක්ඛලි ගෝසාල ය න

අස්සක ජනපදයට අයත් ගෝධාවරි ගඟබඩ මූලක නම් නගරයේ මාඛලි නම් අයගේ බිරිය වූ භද්ද්‍රා කුසින් උපන් මොහු නමින් ගෝසාල විය. ක්‍රමයෙන් වැඩුන මොහු දිනක් තම ස්වාමියා පසුපස තෙල් කලයක් ගෙන යමින් සිටියදී ‘මාඛලි නොවැටී ප්‍රවේශමින් එනු’යි කීය. එහෙත් වැඩිදුර යන්ට පෙර තෙල් කළයත් සමඟ ලිස්සා වැටුනේය. තම ස්වාමියාට භයෙන් ඔහු දුව ගිය අතර ඔහුගේ රෙද්දෙන් අල්ලා ගත්තේ ය. රෙද්ද ස්වාමියා අතේ තිබියදී ගෝසාල වහා පැන ගියේය. ස්වාමියා මාඛලි, මාඛලි යැයි ගෑ ගැසූ හෙයින් ද මක්ඛලී නම් විය.

මක්ඛලි ගෝසාල හය වසරක් නිගණ්ඨනාථ පුත්ත සමඟ එකතුව දුකින් මිදීමට මග සොයමින් පසුපස ඇවිද පසුව අමනාප වී වෙන්වූහ. මොහු මහජන ගරු බුහුමන් ලබමින් තමා බුදුහු යැයි කියමින් මහත් පිරිවර සමඟ වාසය කළහ. නාස්ථිකවාදියෙක් වූ මොහු ‘සත්වයන්ගේ් කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත. සත්වයන් විශුද්ධියට හේතුවක් ප්‍රත්‍යයක් නැත සියලු සත්ත්වයෝ නියමිත කාලයක් සසර සැරිසරමින් දුක් කෙළවර කරති’යි ඉගැන්වූහ. මෙය ඔහුගේ දහමයි.

අංගුත්තර නිකායේ එන පරිදි අප ගෞතම බුදුරජාණන් වහන්සේ මක්ඛලි ගෝසාල ගැන මෙසේ වදාළ සේක. මහණෙනි! ලෝකයේ පුද්ගලයන් අතුරින් මක්ඛලී ගෝසාල තරම් බොහෝ දෙනාට අහිත පිණිස අවැඩ පිණිස හේතුවන අයෙකු මම නොදකිමි. මසුන් ඇල්ලීම පිණිස ගඟට දැමූ කෙමන මසුන්ට අහිත වේ ද? එපරිද්දෙන් මේ මක්ඛලි ගෝසාල බොහෝ සත්ත්වයන්ට අනර්ථ පිණිස හේතුවන මිනිස් කෙමනක් කොට සලකමි’ යනුය.

අජිත කේසකම්බලි

සිදුහත් මහ බෝසතාණන් වහන්සේ බුදුවීමට කලින් අජිතකේස කම්බලි ශාසතෘවරයෙකු වශයෙන් ප්‍රසිද්ධව සිටියේ ය. මවුපියන් විසින් මොහුට අජිත යන නම තබන ලදී. මොහු කෙස්වලින් විසූ වස්ත්‍රයක් ඇන්ද නිසා කේසකම්බලි නම අගට යෙදුණි. මොහු පමණක් නොව ශ්‍රාවකයෝත් කෙස් වලින් වියූ වස්ත්‍ර ඇන්දෝය.

හිස මුඩු කර අත කර වළලු පැළඳ කෙස් රෙද්දක් හැඳ සිටි ඔහුට පන්සීයක් ශ්‍රාවකයෝ වූහ. දසවස්තුක මිථ්‍යා දෘෂ්ටිය මොහුගේ ආගම බව කිව හැකිය. ‘සතර මහා භූ®තයන්ගෙන් හට ගත් සත්ත්වයා මළ පසු ශරීරගත පඨවි ධාතුව බාහිර පෘතුවි ධාතුවට එක් වෙයි.

ආපෝ, තේජෝ, වායෝ, ධාතුන්ට ඒ ඒ ධාතු කොටස් එක්වෙයි. ඉන්ද්‍රියන් අහසට යයි. දානාදී පූජා අළු බවට යයි. දානය නම් මෝඩයින් විසින් පනවන ලද්දකි. දානයේ ඵල කියන්නාගේ කතා හිස්ය. බොරුය. වැලපිල්ලකි. මෝඩයෝද පණ්ඩිතයෝද මරණින් පසු උපදින්නේ නැත. කර්මය හා විපාක නැත’ යනු අජිත කේසකම්බලි ගේ දර්ශනයයි.

දුසිරී සිත නැව ති
තපෝ ගුණයෙන් ලද තු ති
බුදු කෙනෙකුත තෙදැ ති
අජිත කෙස්කම්බලි නම් ඇති

කකුධ කච්චායන

කළ සතන පිරිසි දු
තපෝ ගුණයෙන් පිරිසි දු
ඇත බුදු කෙනෙක් සි දු
කකුධ කසයින් නමින් පරසි දු

මොහු ශාස්වතවාදියෙකි. මොහුගේ පියා කච්චායන නම් බමුණෙකි. මොහු මවුකුස පිළිසිඳගත් පසු පියා මිය ගියේය. එම වැන්දඹු ස්ත්‍රිය කුඹුක් ගසක් යට දී මොහු ප්‍රසූත කළාය. එහෙයින් කකුධ යන නම තැබීය. මේ දරුවාට තිබුණෙ ඉතා දුක්ඛිත ළමා කාලයකි.

නිගණ්ඨ ආරාම ආශ්‍රය කරමින් මහත් උත්සාහයෙන් නුවණින් ක්‍රියා කොට විද්‍යා ශාස්ත්‍ර ඉගෙන ගත්තේය. ඔහු ඉදිරිපත් කළ දර්ශනය මෙසේය. ‘සත්ත්වයා පිළිබඳ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සැප දුක, ජීව යනුවෙන් කොටස් හතක් ඇත. සත්ත්වයා යම් කිසිවෙකු විසින් මැවූවෙක් නොවන බවත් සදාකාලික බවත් සලකයි. පරමාර්ථ වශයෙන් බලන කල ප්‍රාණඝාතය ආදී පව් කරන කෙනෙක් හෝ නැත. සත්ත්වයාගේ ජීවය කිසිවෙකුටත් වෙනස් කළ නොහැක’ මේ ඔහුගේ ධර්මයයි.

සංජය බෙල්ලට්ටිපුත්ත

සඳසෙ තරුවැල මැද
බබලන තවුස්ගණ මැද
බුදු කෙනෙකැත මෙසඳ
සජය බෙල්ලට්ටිපුත් නම් ලද

සංජය යනුවෙන් මෙහි අදහස් කරන්නේ ගෝත්‍ර නාමයකි. බෙල්ලට්ටි නම් එක්තරා දාසියකගේ පුත්‍රයෙක් වුන නිසා බෙල්ලට්ටිපුත්ත නම් විය. තමා බුදුන්යැයි කියාගත් මොහු කර්ම හා කර්මඵල පිළි නොගනී. මොහුගේ දහම අමරා වික්‍ෂෙපවාදයයි. මේවා කුසල් ද ඇසුවොත් මට එසේ නොසිතෙන්නේ යැයි කියන අතර, කිසි ප්‍රශ්නයකට අසුවන සේ පිළිතුරු නොදී ආෙඳකු මෙන් ලිස්සලා යාම ඉහත කී වාදයේ තේරුමයි.

මොහු රජගහනුවර පරිබ්‍රාජකාරාමයක පන්සීයක් පිරිවර සමඟ මහත් තේජසින් වාසය කළේය. බුදුපියාණන් එහි වඩින්නට පෙර රජ, ඇමැති ආදී උසස් අය මොහු ශාස්තෘවරයෙකු ලෙස පිළිගෙන තිබුණ බව කිව හැකිය. සැරියුත්, මුගලන් දෙනම නිවන සොයා පළමුව ගියේ මොහු ළඟට බව ඇතැම් ග්‍රන්ථවල සඳහන් වේ. බුදුදහම ලොව පහළ වූ පසු පළමුවෙන් ඉතා දුර්වල තත්ත්වයට පත් වූයේ කිසි පදනමක් නැති මොහුගේ් ධර්මයයි.

නිගණ්ඨනාතපුත්ත

තුටු කළ සත සත න
දිලි නව තෙදින් ඇමතැ න
බුදු කෙනෙකැත සොබ න
නිගට නත පුත් නමින් බබල න

විශාල ශ්‍රාවක පිරිසක් හා අනුගාමික පිරිසක් ඇතිව මහත් ප්‍රසිද්ධියක් ඇතිව මෙතුමා කර්මවාදී ආගමික නායකයෙක් විය. වර්ධමාන මහාවීර, ජින යන නම්වලින්ද මෙතුමා හැඳින්වේ. ලිච්ඡවි ආදී සුප්‍රසිද්ධ රජවරුන් සිටි වජ්ජිරට කෝටිග්‍රාම, ඤාතක ග්‍රාම යන ප්‍රදේශ දෙකේ ද ක්‍ෂත්‍රියන්ගේ් ආධිපත්‍ය පැවතිණි. ඥාතකගම සිද්ධාර්ථ නම් රජෙක් සිටියේය. විදේහදත්තා කුමරිය ඔහුට බිසොව වූවාය. මේ දෙදෙනා හට ලැබුණ කුමරුට වර්ධමානයයි නම් තැබූහ. වර්ධමාන නොයෙක් ශිල්ප ශාස්ත්‍ර උගත්තේය. ඉන්පසු ඔහු යසෝදරා නම් කුමරියක් හා විවාහ විය. මේ දෙදෙනාට දියණියක් ලැබුණ පසු වර්ධමාන සියල්ල අතහැර ගොස් පැවිදි විය. එතුමා දොළොස් අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට කේවල ඥාණය ලබා ජින යන උසස් තත්ත්වයට පත්විය. ඉන්පසු තිස් වසරක් තම ධර්මය දේශනා කළේය. මෙතුමාට සිය ගණන් ශ්‍රාවකයින්ද දහස් ගණන් අනුගාමිකයින්ද සිටියහ. මොහු පළමුව එකම වස්ත්‍රය 13 මසක් ඇඳගෙන සිට පසුව එයද අත්හැර නිර්වස්ත්‍රව සිටියේය. අවුරුදු 72 ක් ආයු විඳ පාවා නගරයේදී මිය ගියේය. කලක් ගිය පසු මොහුගේ ශ්‍රාවකයන් භේද වී ශෙවතාම්බර, දිගම්බර වශයෙන් කොටස් දෙකක් විය. දිගම්බර යනු නිරුවතින් සිටි පිරිසය. සුදු රෙදි ඇඳගෙන සිටි කොටස ශෙවතාම්බර නම් විය. මොහුගේ ආගමේ අවිහිංසාව ප්‍රධාන වෙයි. එම ජෛන ආගමේ ඇතැම් කොටස් බුදු දහමට අනුකූ®ල වේ. කාය කර්මය, චතුයාම සංවරය, අවිහිංසාව, කර්මය පුනරුත්පත්තිය විශ්වාස කිරීම ප්‍රධාන ඉගැන්වීම් වෙයි. බුදු සමයේ මෙන ජෛන දහමේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය විරති යන මේවායින් වෙන්වීමේ පංචශීලයක් ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.