Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තායිවානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා ධර්මචක්‍ර ළමා පදනමේ සභාපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සමාජ මෙහෙවරේ ප්‍රතිඵලයක් වශයෙන් මියැන්මාරය හා ශ්‍රී ලංකාව අතර ශාසනික සබඳතාවන්හි නවෝදයක් ඇතිවී තිබේ. මෙරට දහම් පාසල් සහ විහාරස්ථාන වලට අවශ්‍ය දහම් පොත් ලක්ෂ ගණනක් නොමිලයේ ලබා දුන් බෝදාගම චන්දිම නාහිමියෝ ඉකුත් කාලයේදී සුනාමියෙන් ගේ දොර අහිමි වූ දකුණේ වැසියන් වෙනුවෙන් තනා දුන් නිවාස ප්‍රමාණය දහස් ගණනකි. වව්නියාවේ සහන ගම්මානවල දිවි ගෙවන දෙමළ ජනතාව වෙනුවෙන්ද බෝදාගම නාහිමියන් කෝටි ගණනක් වටිනා ආධාර පිරිනැමූහ. මෙරට සසුන රකින්නට මියැන්මාරයෙන් සාමණේර හිමිවරුන් සියයක් ලැබෙන්නේ ද බෝදාගම චන්දිම නාහිමියන් ගේ සමාජ සේවය මෙරටින් නොනැවතී ජාත්‍යන්තරයට ගමන් කළ බැවිනි. බුරුමය හෙවත් මියැන්මාරය හරහා 2008 මැයි මාසයේදී හමාගිය නාර්ගීස් සුළි සුළගෙන් එරට ජනතාවට බොහෝ දේ අහිමි විය. දහස් ගණන් වැසියෝ උන්හිටි තැන් අහිමිව අසරණ වූවෝය. එම සිද්ධිය පිළිබඳ සිය ශෝකය පළ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරටේ සිටින මියැන්මාර් තානාපති නිලධාරීන් හමුවිය. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා විමසුවේ මියැන්මාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවට කළ හැකි දේ පිළිබඳවය. ඒ වන විට නාර්ගීස් කුණාටුවෙන් පසු ඇමරිකාව ඇතුළු රටවල් රැසක් මියැන්මාරයට ආධාර කිරීමට ඉදිරිපත් වුවද එරට හමුදා ආණ්ඩුව එම ආධාර ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව වූයේ පිටස්තර පුද්ගලයන් තම රටේ කටයුතුවලට අත දැමීම ගැන ඔවුන් තුල ඇති අකැමැත්තය. කෙසේ නමුදු බුදු දහමෙන් බැඳුණු ශ්‍රී ලංකාවේ සහ මියැන්මාරයේ දිගුකාලීන මිතුදම නිසා ජනාධිපතිතුමාගේ යෝජනාව මියැන්මාරය අහක දැමුවේ නැත. ජනාධිපතිතුමා වෙනුවෙන් එම වැඩ පිළිවෙළෙහි සම්බන්ධීකාරකයා වූයේ ජාත්‍යන්තර බෞද්ධ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය බෝදාගම චන්දිම නායක හාමුදුරුවන්ය. ඉකුත් වසරේ ජූනි මාසයේදී බෝදාගම චන්දිම නාහිමියන් මියැන්මාරයට වැඩම කළෝය.


නාගීස් සුළි කුණාටුවෙන් විපතටපත් ප්‍රදේශයෙන්....

නාර්ගීස් කුණාටුවෙන් වැඩියෙන් ම හානිවූයේ මියැන්මාරයේ කොන්යන්ගොන් ප්‍රදේශයයි. රැංගුන් සිට කොන්යන්ගොන්වලට දුර සැතපුම් අසුවකි. එම දුර ගෙවා විපතට පත් වූවන් බැලීමට ගිය උන්වහන්සේ ආහාර, ඇඳුම්, සෙවිළි තහඩු ඇතුළු කෝටි ගණනක ආධාර අවතැන් වූවන්ට බෙදා දුන්හ. අනතුරුව උන්වහන්සේ අවතැන්වූවන් වෙනුවෙන් ගමක් හදන්නට ඉඩමක් ලබා දෙන ලෙස මියැන්මාර් පාලකයන් ගෙන් ඉල්ලා සිටියහ.මියැන්මාර් පාලකයෝ කොන්යන්ගොන් ප්‍රදේශයේ අක්කර එකසිය තිහක ඉඩමක් ඒ සඳහා උන්වහන්සේට පූජා කළහ. මියැන්මාර් හමුදා ආණ්ඩුව විදේශිකයකුට තම රටේ සංවර්ධන කටයුත්තක් කිරීමට ඉඩදුන් පළමු අවස්ථාව එයවේ. බෝදාගම චන්දිම නායක හාමුදුරුවෝ කොන්යන්ගොන් බිමේ නිවාස දහසක් ඉදි කර ඒ ගමට ‘සමාධි මෙත්තා’ ගම්මානය යනුවෙන් නම් කළහ. ඊට ප්‍රජාශාලා, පාසල්, ළමා උද්‍යානද ගොඩනැඟූහ. බෝදාගම චන්දිම නාහිමියන් මියැන්මාරයේ කොන්යන්ගොන් ප්‍රදේශයේ ඉදි කළ සමාධි මෙත්තා ගම්මානය ඉකුත් ජුනි 15 වනදා විවෘත කැරිණි. ඒ නිල සංචාරයකට මියැන්මාරයට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතිනි.

එම පරිත්‍යාගයෙන් පසු බෝදාගම චන්දිම නාහිමියන් මියැන්මාරයේ ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ ලංකාවට රැගෙන යාමට සාමනේරයන් වහන්සේලා පිරිසක් දෙන ලෙසය. එම යෝජනාවට එකඟ වූ එරට “පාලකයෝ රැංගුන් නුවර ස්වේතගොන් චෛත්‍යය අභියස මහ පින්කම් සූදානම් කළෝය. මියැන්මාරයේ බොදු සම්ප්‍රදායට අනුව ස්වේතගොන් චෛත්‍යය අබියස උත්සව පැවැත්වීමට ඉඩ නොලැබේ. එහෙත් ඒ සම්ප්‍රදාය මුල්වරට වෙනස් කැරුණේ ලංකාවට වැඩම කරවන දරුවන් පැවිදි කිරීමටය. එහිදී දරුවන් හැට දෙනකු පැවිදි කැරුණේ ලංකාව හා මියැන්මාරය අතර තානාපති සබඳතා ඇරැඹී වසර හැටක් සපිරීම සිහිකිරීම පිණිසය.

එසේ පැවිදි කළ සාමණේරයන් වහන්සේ අතරින් කිහිප නමක් දැනට ලංකාවට වැඩම කර සිටිති. උන්වහන්සේලා දැන් වැඩ සිටින්නේ කැලණියේ බොල්ලෑගල මානෙල්වතු මහා විහාරයේය. උන්වහන්සේලා මේ දිනවල මෙරට ශාසනික සම්ප්‍රදායන් හදාරමින් වත් පිළිවෙත් පුරුදු පුහුනු වෙමින් සිටිති. තවත් නොබෝ දිනකින් මියැන්මාරයේ සිට සාමණේරයන් වහන්සේලා කීප නමක් වැඩම කිරීමට නියමිතය.

ඒ අනුව මුල් අදියර යටතේ මෙරට වැඩ සිටින මියැන්මාර් සාමණේරයන් වහන්සේලා සියක් නමක් පමණ වේ. උන්වහන්සේලාගේ මෙරට භාරකරු බෝදාගම චන්දිම නායක හාමුදුරුවෝය. “ අපි මෙම සාමණේරයන් වහන්සේලාට විභාග ඉලක්ක කරගෙන උගන්වන්නේ නැහැ. අපේ අරමුණ ශාසනය රැකීම සඳහා ආගමික වත් පිළිවෙත් වලට ප්‍රමුඛත්වය දෙමින් උන්වහන්සේට දැනුම් දීමයි. නිසි අධ්‍යාපනය දීමෙන් අනතුරුව උපසම්පදා විනය කර්මය කර මේ භික්ෂූන් වහන්සේ දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවලට යොමු කිරීමට අප බලාපොරොත්තු වනවා “ යැයි බෝදාගම චන්දිම නාහිමියෝ පවසති.

එම සාමණේරයන් වහන්සේලාට පළමුව උගන්වන්නේ සිංහල බසය. මෙරට බෞද්ධයන් ගේ ආගමික වත් පිළිවෙත්, ථෙරවාදී බුදු දහම, ඉංග්‍රීසි පාලි, භාවනා යන විෂයන්ද මානෙල්වතු මහා විහාරයේදී ඉගැන්වේ. ආගමික දැනුම වර්ධනයෙන් පසු නිසි වයස් සපිරීමෙන් මෙරට පුරවැසි භාවය දී අධිසිල්හි පිහිටුවනු ඇත.


 

බුරුමය සහ ශ්‍රී ලංකාව

බුරුමය අග්නිදිග ආසියාවට අයත් ථෙරවාදී බෞද්ධ රටකි. ඈත අතීතයේ සිටම බුරුමයත් ලංකාවත් අතර ආගමික සබඳතා මෙන්ම රාජතාන්ත්‍රික සබඳතාද පැවතිණ. භික්ෂූන් වහන්සේලා මෙන්ම වෙළඳ ප්‍රධානීහුද මෙම සම්බන්ධතා ගොඩනැගීමට මූලික වූහ. ලංකාවේ මෙන්ම බුරුමයේද ථෙරවාදී බුදු දහම පිහිටුවන ලද්දේ භාරතයේ ධර්මාශෝක අධිරාජයාගේ (ක්‍රි.පූ. 268 - 233) මූලිකත්වයෙන් පාඨලීපුත්ත නගරයෙන් පිටත්ව ගිය ධර්මදූතයන් වහන්සේලා විසිනි.

සෝණ හා උත්තර දෙදෙනා වහන්සේගේ් නායකත්වයෙන් යුත් ධර්ම දූතයින් ස්වර්ණ භූමියට වැඩම කළ බව වංශ කථාවල සඳහන් වෙයි. මේ ස්වර්ණභූමිය යනු බුරුමයයි.

ලංකාව හා බුරුමය යන බෞද්ධ රටවල් දෙකේ ආගමික හා සංස්කෘතික සබඳතා තහවුරුකර ගැනීමට ලංකාවේ මහා විහාරය ප්‍රධානත්වය ගෙන ඇත. රුවන්වැලි මහා සෑයේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වූ නියෝජිත පිරිස පිළිබඳ විස්තරයේ සූරිය ගුප්ත තෙරුන් පැමිණියේ බුරුමයෙනි. දුටුගැමුණු රජතුමාගේ යුධ සටන් හා විහාරමහා දේවිය පිළිබඳ පුවත් බුරුමයේ පේගු හා මණ්ඩලේ වැනි නගර වල පිහිටි පුරාණ විහාරස්ථාන වල බිතුසිතුවම් අතර දක්නට ලැබේ. ඒ අනුව ක්‍රි.පූ. දෙවන සියවස වන විට බුරුම වැසියන් ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටින්නට ඇති බව අනුමාන කළ හැකිය. බුද්ධඝෝෂ තෙරුන් ලංකාවට පැමිණ අටුවා කරණය කොට ඒවා බුරුම අකුරෙන් ලියා බුරුමයට රැගෙන ගිය කතාවක්ද බුරුම ජනප්‍රවාද වලින් කියවේ.

ලංකාවත් බුරුමයත් අතර සබඳතා වඩාත් ප්‍රකටව දක්නට ලැබෙන්නේ 11 වන සියවසින් මෙපිට කාලවකවානු වලයි. මේ කාලය වනවිට බුරුමයේ ථෙරවාදී බුදුදහම වඩාත් ප්‍රචලිතව තිබිණ. එම දියුණුවත් සමගම බුරුමය ලංකාව සමග සබඳතා ඇතිකර ගැනීම කෙරෙහිද අවධානය යොමු කරන ලදී. මේ කාලය වන විට ශ්‍රී ලාංකික භික්ෂූන්ද බුරුමයේ ජනපි‍්‍රයත්වයට පත්ව සිටින්නට ඇත. බුරුමයේ රජකළ අනුරුද්ධ (1044 - 1077) නම් රජතුමා බුරුම ත්‍රිපිටකයේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ලංකාවෙන් පාලි ත්‍රිපිටකය ගෙන්වා සසඳන ලද බවද කියවේ. සොළීන් නිසා ලංකාවේ දේශපාලන අවුල් සිදුවන විට ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ආරක්ෂිත ස්ථානයක් ලෙස බුරුමය තෝරා ගත්හ. පස්වන මිහිඳු රජ දවස අනුරාධපුර සතුරු ආක්‍රමණ වලදී ආරක්ෂාව පතා ලාංකික භික්ෂූන් බුරුමයට වැඩියහ. චෝලයින් සමග සටන් වැදීමට පළමුවන විජයබාහු රජතුමා ආධාර ඉල්ලා දූතයන් යවන ලද්දේද බුරුමයේ අනුරුද්ධ රජුන් වෙතය. එමෙන්ම විජයබාහු රජතුමාගේ කාලය වන විට ලංකාවේ පිරිහී පැවති සංඝ ශාසනය ප්‍රතිසංවිධානය සඳහා සිල්වත් වූද ත්‍රිපිටක ධර්මය මැනවින් හදාළා වූද භික්ෂූන් එවන ලෙස ඉල්ලා රාමඤ්ඤ දේශයට දූතයන් යැවු බව මූලාශ්‍ර වල සඳහන් වේ. අරුමණ හෙවත් අරමුණ (රාමඤ්ඤ) දේශයෙන් ලංකාවට උපසම්පදාව පිහිටුවීම සඳහා උපසම්පන්න භික්ෂූන් පැමිණීම පිළිබඳ සිද්ධිය පොළොන්නරුවේ වේලයික්කාර සෙල් ලිපියෙන් හා පොළොන්නරුවේ පළමුවන විජයබාහු රජුගේ සෙල් ලිපියෙන්ද තහවුරු වේ. පෙර පටන් දෙරට අතර තිබූ සම්බන්ධය නිසා ලංකාවෙන් ගිය භික්ෂු පරම්පරාව විසින් බුරුමයේ සීහල සංඝ සම්ප්‍රදායක්ද ආරම්භව තිබිණ. එම සීහල සංඝ සම්ප්‍රදාය අනුගමනය කළ භික්ෂූන් වහන්සේලා මෙසේ නැවත ලංකාවට පැමිණෙන්නට ඇතැයි අදහස් කෙරේ. මිත්‍ර සම්බන්ධය තහවුරු කර ගැනීම සඳහා පළමුවන විජයබාහු රජතුමා දළදා වහන්සේගේ අනුරුවක් සාදා බුරුමයට පරිත්‍යාග කරන ලදී. මේ කාලය වන විට ඉන්දියාව හා අග්නිදිග ආසියාවට යාත්‍රා කළ නැව් කීපයක්ම ලාංකික වෙළඳුන් සතුව තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ. බුරුමයේ සතුරු වියවුල් ඇති වූ අවස්ථා වලදීත් සඟ සසුනට ආපදා පැමිණි අවස්ථා වලදීත් ආරක්ෂාව පතා උන්වහන්සේලා ලංකාවටද පැමිණ ඇත.

පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ ශාසන සංශෝධනයෙන් අනතුරුව බුරුමයෙන් පැමිණි වන්දනා කණ්ඩායමක සිටි වපට නම් සාමණේර භික්ෂුවකගේ උපසම්පදාවක්ද දෙරටෙහිම භික්ෂූන් එක්ව සිදුකළ පුවතක් ද ඇත. ඒ අනුව දෙරටම විනය පිළිබඳ එකඟතාවයකින් කටයුතු කර ඇති බව පැහැදිලි වෙයි. පොළොන්නරුවේ රජකළ නිශ්ශංකමල්ල රජුගේ ශිලා ලේඛන වලද බුරුම රටට සර්වඥධාතුන් වහන්සේලා සිවු නමක් යැවු බව සඳහන් වේ.

දහතුන්වන සියවස වන විට ලංකා බුරුම සබඳතාවය ප්‍රකට කරන මූලාශ්‍රයකි. මහානාග කුල සංදේශය (මානා වුළු සංදේශය) රුහුණේ වළවේ ගඟ අසබඩ රම්බා විහාරයේ වැඩ විසූ නාගසේන නමැති තෙර කෙනෙකුන් විසින් රචිත මෙම සංදේශය ඥාන නමැති බුරුම අමාත්‍යතුමාගේ මාර්ගයෙන් පගාන් රාජධානියේ විසූ කස්සප නමැති මහා තෙරකුන් වෙත යවන ලද්දකි. එවකට රුහුණේ නැව් තොටුපළවල් කරා බුරුමයෙන් ආ බඩු නැව් වලින් බුරුම හා ලාංකික භික්ෂූන්ට ගමනාගමනය පහසු කරන ලදී. ඉහත සංදේශය රැගෙන ගියේද මෙම නාවික මාර්ගය හරහාය.

බුරුමයේ අරිමද්දන පුරය හෙවත් පගාන් රාජධානියේ වෙහෙර විහාර හතළිස් දහසක් ඇතැයි සැලකේ. වර්තමානයේ ද මෙයින් විශාල ප්‍රමාණයක් සංරක්ෂණය වී පවතී. මෙම පගාන් නගරයේ බොහෝ වෙහෙර විහාර බිතුසිතුවම් වල පාලි අට්ඨකතා හා වංශකතා වල එන කතා පුවත් වස්තුබීජ වී ඇත. ලාංකික ගෘහ නිර්මාණ ආභාසය ද මෙහි දක්නට ලැබේ. දොළොස්වන දහතුන්වන ශතවර්ෂ වලදී ලංකා සඟ සසුනේ ඉතා වැදගත් තැනක් ගත් වනවාසී උදුම්බරගිරි (දිඹුලාගල) වැඩ සිටි මහ තෙරවරුන්ද බුරුමය සමග සබඳතා පවත්වන ලදී. කෝට්ටේ හයවන පරාක්‍රමබාහු (1415 - 1467) රජ සමයේ බුරුමයේ සද්ධම්ම ජෝතිපාල වැනි බුරුම තෙරවරුන් මෙරටට පැමිණ එවකට කීර්තිමත් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම් ඉගැන්වීම් වල නිරත වූ බව දක්නට ඇත. හයවන පැරකුම්බා රජුගේ දසවෙනි රාජ වර්ෂයේ කෝට්ටේ උපසම්පදා විනයකර්මයක් සිදුවිය. මෙහි උපසම්පදාපේක්ෂකයින් වූයේ සියම් දේශයේ තෙරවරු 25 ක්ද, කාම්බෝජ තෙරවරුන් 8 නමක්ද රාමඤ්ඤ රටින් පැමිණි තෙරවරු 6 නමක් ද වූහ. දකුණු බුරුමයේ කිරිගරුඬ ගල් පුවරුවක පාලි භාෂාවෙන් ලියා ඇති කල්‍යාණි ශිලා ලේඛනයට අනුව රාමඤ්ඤ දේශයේ අධිපති ධම්මචේතිය රජතුමා විසින් සංඝ සංශෝධනයක් කරන ලද බවත් ඒ සඳහා ලාංකික තෙරවරුන්ගෙන් හා හයවන බුවනෙකබා රජුගෙන් දුන් සහය අගය කොට ඇත. මේ සඳහා රාමඤ්ඤ දේශයේ මුළුල්ලේ විසූ දාසය දාහයක් භික්ෂූ සංඝයා සහභාගි වූ කල්‍යාණි උපසම්පදාව රාමඤ්ඤ දේශයේ භික්ෂූ සංඝයා ශ්‍රී ලංකාවේ මහා විහාර පරම්පරානුගත විනය පාරිශුද්ධිය පිළිගැනීමක් ලෙස සැලකිය යුතුය.

පරිහානියට පත් බුරුම සඟ සසුන යළි ගොඩනැංවීමට මෙම සම්බන්ධය ඉතා වැදගත් විය.


ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මියෙන්මාර් සංචාරයේදී

පළමුවන විමලධර්මසූරිය රජු දවස ලංකාවේ උපසම්පදා භික්ෂුන්ගේ ඌනතාවයක් දක්නට ලැබුණු බැවින් රාමඤ්ඤ දේශයෙන් පැමිණි නන්දිවක්ක තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණියේ ගැටඹේ තොටෙහි ඉදිකළ උදකුක්ඛෙප සීමාවේදී උපසම්පදා විනය කර්මයක් කරන ලදී. ඉන් වසර 100 කට පසුව දෙවන විමලධර්මසූරිය රජු දවස නැවතත් බුරුමයේ රක්ඛංග දේශයෙන් භික්ෂූන් වැඩමවා ගැටඹේ තොටෙහිදී 33 නමක් උපසම්පදා කළ බවත් 120 ක් සාමණේර බවට පත්කළ බවත් සඳහන් වේ. වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන් පැවිද්ද ලබා ගත්තේ ද බුරුමයේ රක්ඛංග උපසම්පදාවෙන් උපසම්පත්තිය ලබා ගත් සූරියගොඩ කිත්සිරිමෙවන් රාජසුන්දර තෙරුන්ගෙනි. ක්‍රි.ව. 1753 දී සියම් රටින් වැඩම කළ උපාලි තෙරුන් ප්‍රධාන තෙරවරුන් සිදුකළ ලංකා ශාසන ඉතිහාසයේ අද්විතීය ශාසනික පුනර්ජීවනයේ ආරම්භය තෙක් මෙම රාමඤ්ඤ දේශය හා විවිධ සබඳතා තිබුණු බව පැහැදිලි වෙයි.

සරණංකර සංඝරාජයන් වහන්සේ අපවත් වී දශක දෙකක් පමණ ගතවෙද්දී පහත රට විසූ වැලිතර අඹගහපිටියේ ඤාණවිමලතිස්ස සාමණේරයන් ප්‍රධාන පිරිස දහඅටවන ශතවර්ෂය අගභාගයේදී උතුරු බුරුමයේ අමරපුර රාජධානියේ භික්ෂූ සංඝයා සමග සබඳතා ඇතිකර ගන්නා ලදී. මේ සම්බන්ධය නිසා ශ්‍රී ලංකාවේ වර්තමානය දක්වා පවතින අමරපුර නිකාය බිහිවිය. ඤාණවිමලතිස්ස සාමණේරයන්ගේ් උපසම්පදාව සඳහා සියලු අනුහය සලසන ලද්දේ එවකට බුරුමයේ සංඝරාජ ධූරය දැරූ ඤාණාභිවංස ධම්ම සේනාපති රාජාධිරාජ ගුරු තෙරුන්වහන්සේ විසිනි. පසු කලෙක (1864) දී පිහිටුවන ලද රාමඤ්ඤ නිකාය ආරම්භ වූයේ අඹගහවත්තේ සරණංකර (පසුව අඹගහවත්තේ ඉන්ද්‍රා සභවරඤාණ සාමි) තෙරුන් ක්‍රි.ව. 1860 දී උතුරු බුරුමයට ගොස් මණ්ඩලය නගරයේදී එවකට සංඝරාජයාණන් වහන්සේගෙන් උපසම්පදාව ලබා යළි දකුණු බුරුමයේ රාමඤ්ඤ දේශයේ කල්‍යාණී සීමාවෙන් පුනශික්ෂාවද ලබාගෙන ලංකාවට පැමිණීමෙන් අනතුරුවය. 2500 බුද්ධ ජයන්තිය නිමිති කොට ගෙන හය වන මහා ත්‍රිපිටක ධර්ම සංඝායනාව වසර හතරක් තිස්සේ පවත්වන ලද්දේ බුරුමයේ ය. මෙම සංගායනාව සඳහා ලංකාවෙන් වැඩම වූ බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, ධර්මධර තෙරුවරු දෙනමට අග්ගමහා පණ්ඩිත යන ගරු නාමයද ප්‍රදානය කරන ලද්දේ සංගීතිකාරක බුරුම යතිවරුන් විසිනි.

දෙරටෙහි බෞද්ධාගමික සම්බන්ධය තහවුරු කිරීම සඳහා 2009 වසරේදී තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් ශ්‍රී ලංකාවේ පරිත්‍යාගයක් ලෙස නිවාස දහසක් තනා මියන්මාරයේ බෞද්ධයින්ට පරිත්‍යාග කරන ලදී.


ශ්‍රී ලංකා මියෙන්මාර් මිතු දමින්...

ශ්‍රීලංකාවේ පැරැණි සංදේශ කාව්‍යයක් ලෙස මානාවුළු සංදේශය සැලකෙයි. පාලි සංදේශ කාව්‍යයක් වන මෙම සංදේශය ලියා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පෞරාණික විහාරස්ථානයක් වන රම්බා විහාරයේ බව ඉතිහාසඥයින්ගේ මතයයි.

රම්බා විහාරයේ වැඩ විසූ මහාසේන නම් හිමිනමක් විසින් මානාවුළු සංදේශය ලියා බුරුමයේ ආරිමද්දන පුර සංඝරක්ඛිත නම් රජ කෙනෙකුට යැවූ බව මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනා හිමියන් විසින් සංස්කරණය කළ මනාවුළු සංදේශයේ සිංහල පිටපතේ සඳහන් වී ඇත. වසර දහස් ගණනක් ඈතට දිවයන ශ්‍රී ලංකා බුරුම මිත්‍රත්වයේ ස්වර්ණමය අවධිය එසේ වුවත් අප රටේ අද වෙසෙන අමරපුර රාමඤ්ඤ භික්ෂු පරපුරේ ආරම්භයත් වත්මන් බුරුමය හෙවත් මියන්මාරය බව ඉතිහාසය පෙන්වා දෙයි.

‘මියන් මාරය’ හෙවත් බුරුමය ශ්‍රී ලංකාවට බොහෝ සමානකම් ඇති රටකි. දේශගුණය, කාලගුණය තුරුලතා සහ භූ විෂමතා වලින්ද එය මනාව පැහැදිලි කරයි. ථෙරවාදී නිර්මල බුද්ධ ධර්මය ඇති රටවල් අතර ශ්‍රී ලංකාවට මෙන්ම මියන් මාරයටද ඓතිහාසික වශයෙන් ඇත්තේ අපට නොදෙවැනි බෞද්ධ උරුමයකි. චෝල ආක්‍රමණිකයින් අපේ රට අල්ලා ගැනීමට කළ සටනේ දී පළමු විජයබා රජු වෙත බුරුම රජු විසින් හම්බන්තොට ගොඩවාස වරාය හරහා ආධාර අනුබල දුන් බව ඓතිහාසික සාක්ෂි තහවුරු කර ඇත.

අනාදිමත් කාලයක සිට පවතින ශ්‍රී ලංකා මියන්මාර් මිතු දමේ මේ සියවසේ ස්වර්ණමය යුගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රාජ්‍ය පාලන කාලය බව පෙන්වා දිය යුතුය. 2008 වසරේ මියන්මාරය හරහා හමාගිය ‘නාගීස්’ සුළි සුළගින් එරට පවුල් දෙලක්ෂ පහස් දහසක් පමණ දැඩි සේ විපතට පත්විය.

මේ මහා විනාශයේ දී මියන්මාරය මිතුරෙකු ලෙස ශ්‍රී ලංකා රජය සෘජු ලෙස උදව් කිරීමට ඉදිරිපත් වූ අතර ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේ හා ජනතාව වෙනුවෙන් ජනාධිපති ජාත්‍යන්තර ආගමික කටයුතු උපදේශක ධූරය දරන ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් ක්‍රියාත්මක කළ මිත්‍රශීලි මහා ව්‍යායාමය වසර දහස් ගණනක මියන්මාර් - ශ්‍රී ලංකා වංශකතාවේ දැවැන්ත සංධිස්ථානයක් ලෙස සටහන් කළ යුතුය.

තානාපතිවරුන් ආත්මාභිමානය ගොඩනගා ගැනුමට රාජ්‍ය තාන්ත්‍රික බලතල යොදන කාලයක නිල නොලත් තානාපතිවරයකු ලෙස චන්දිම නාහිමියන් හමුදා පාලනයක් සහිත රාජ්‍යයකට ගොස් උන්හිටි තැන් අහිමි වූ පවුල් දහසකට විධිමත් ලෙස නිවාස තනා දෙමින් ආරම්භ කළ දැවැන්ත ව්‍යාපෘතිය ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේ විසින් වසර දහස් ගණනක අපේ ඉතිහාසය තුළ විදේශ රටක ඉදිකළ පළමු නිවාස ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එක්වනු ඇත. මෙම නිවාස ව්‍යාපෘතියෙන් මේ වනවිට නිවාස 736 ක් ඉදිකර විපතට පත් පවුල් ඒවායෙහි පදිංචි කර අවසන් කර ඇත. මෙම නිවාස ව්‍යාපෘතියේ ඇති සියලු නිවාස සඳහා අවශ්‍ය ගෘහභාණ්ඩ ඇතුළු අනෙකුත් පොදු පහසුකම් සියල්ල මේ වනවිට ලබාදී අවසන් කර ඇත.

පාසල්, පෙරපාසල්, ළමා උද්‍යානය, ප්‍රජාශාලා, වෛද්‍ය මධ්‍යස්ථාන, සෞඛ්‍ය හා උපදේශන සේවා, ස්වයං රැකියා උපකරණ ආදී නිවැසියන්ට අවැසි සියලු පහසුකම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියකට සමාන ලෙස චන්දිම නාහිමියන් විසින් පෞද්ගලික මැදිහත්වීම මතම සිදුකර ඇත. ජාතික හා ජාත්‍යන්තර ආගමික කටයුතු ක්‍ෂේත්‍රයේ ප්‍රතාපවත් චරිතයක ශ්‍රී ලාංකීය සළකුණ ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් සිදු කිරීම ජාතියේ වාසනාවක් බව සිහිපත් කළ යුතුය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.