UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

බුද්ධගයාව ජය ශ්‍රී මහා බෝධි විහාරය

බුද්ධගයා මහා විහාරයේ කඨින පින්කම් මාලාව ඔක්තෝබර් 29 සිට 31 වන දින දක්වා පැවැත්වේ. ඔක්තෝබර් 29 වන දින ආරම්භ වන කඨින මහා පින්කමේ ප්‍රධාන අනුශාසනාව කරනු ලබන්නේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමින් වහන්සේ විසිනි. සංගීත විශාරද වික්ටර් රත්නායක මහතාගේ බැති ගී සංදර්ශනයක්ද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස මිහින්ලංකා ගුවන් සේවයේ අනුග්‍රහයෙන් එදින පැවැත්වේ. ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් විසින් මෙදින සිංහල ත්‍රිපිඨක ග්‍රන්ථ කාණ්ඩ 05 ක් දඹදිව ඉන්දීය මහාබෝධි සමාගමේ සෑම සිද්ධස්ථානයකටම පූජා කරනු ලැබේ. එසේම වර්තමානයේ දඹදිව වැඩසිටින වයෝවෘද්ධම ධර්මදූතයන් වහන්සේ නමක් වන ගලගෙදර ප්‍රඥානන්ද නාහිමියන්ගේ අසූවන ජන්ම දිනයද මෙදිනට යෙදී ඇත. 29 දා සවස ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ අබියසදී ආශිර්වාද පූජාවක් පැවැත්වීමට නියමිතය. ඔක්තෝබර් 30 වන දා සිදුවන පින්කම් මාලාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහභාගි වීමට නියමිත අතර, ජාතික ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ද විශේෂ පූජාවකට සහභාගි වීමට නියමිතයි. ඔක්තෝම්බර් මස 30 දා රාත්‍රී 08.00 ට පරිත්‍රාණ ධර්මදේශනාවක් සිදුකෙරෙන අතර කඨින මහා පෙරහර ආරම්භ වන්නේ බුද්ධගයා ජපන් විහාරයේ සිටය. කඨිනානිසංස ධර්මදේශනාව ඇලහැර බකමූනේ ප්‍රධාන සංඝනායක ලියන්ගස් වගුරේ දේවානන්ද නාහිමියන් විසින් පවත්වනු ලැබේ. බුද්ධගයාවේ මෙවර කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරනු ලබන්නේ සංඛපාල රාජමහා විහාරයේ බස්නායක නිලමේ රවින්ද්‍ර වනිගසේකර මහතා ප්‍රධාන පවුලේ අය විසිනි. බුද්ධගයා විහාරයේ සිදුකරන සියලුම පින්කම් සංවිධානය කරන්නේ පැලැන්වත්තේ සීවලී හිමියන් විසිනි.
 


අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරය

ඇල්පිටියේ අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශවයේ, ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක, මහෝපාධ්‍යාය, අමුගොඩ සෝමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි, පානදුර පිංවත්තේ සද්ධර්මාකර විද්‍යායතන පරිවෙනාධිපති, ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ සහ ජයසුමනාරාම පුරාණ මහා විහාර සංවර්ධන සමිතිය, උපාසක, උපාසිකා සමිතිය, ශ්‍රී ලුම්බිණි දහම් පාසල, කැල්ලපත ‘සුමුදු’ සර්වෝදය ශ්‍රමදාන සමිතිය හා ‘සිඟිති’ පෙර පාසලේ සංවිධානයෙන් කඨින පූජා පින්කම මෙම මස 30, 31 පැවැත්වේ. ඊට සමගාමීව ප්‍රතිසංස්කරණ කරන ලද සංඝාවාසයට ගෙවදීම, අභිනව ශ්‍රී සර්වඥධාතු හා බුද්ධ ප්‍රතිමා මන්දිරය විවෘත කිරීම, අභිනව දානශාලාව විවෘත කිරීම සහ ‘දරුවන්ට ඔවදන්’ කාව්‍ය කෘතිය එළිදැක්වීම, 30 වන දා සවස 6.09ට සිදුකෙරේ. 31 වන දා අළුයම 6.00ට කඨින චීවර පූජාව, කප්රුක් පූජාව හා සපිරිකර සංඝගත දක්ෂිණා පින්කම පැවැත්වේ.30 වන දින සවස ආශිර්වාද පූජාව කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, ඇත්කඳුරේ සුමනසාර මාහිමියන් විසින් සිදු කෙරේ.

රාත්‍රී මහා පිරිත් දේශනාව ආරම්භවන අතර 31 වන දා අළුයම 3.00 ට කඨින චීවරය රැගත් පෙරහර ද අනතුරුව කඨින චීවර පූජාව, කප්රුක් පූජාව හා සංඝගත දක්ෂිණාව පැවැත්වේ. සවස බෝධි පූජාව පිටිගල සෝමාලංකාර හිමියන් පවත්වන අතර රාත්‍රී කඨිනානිශංස ධර්ම දේශනාව ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන් විසින් පවත්වනු ලැබේ.


නාවිමන ආරණ්‍ය සේනාසනය

අඹේපුස්ස නාවිමන ආරණ්‍ය සේනාසනයේ කඨින පින්කම නවගත්තේගම සුගතවංශ හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. ඔක්තෝබර් 31 දා සවස 6 ට බෝධි පුජාව ගිරිල්ලේ සීලවංශ හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කැරෙයි. රාත්‍රි 9 සිට යුගාසන ධර්මදේශනාව නාථගනේ අග්ගවංශ හිමියන් සහ වේදෙනියේ නන්දසීල හිමියන් විසින් පවත්වන අතර, නොවැම්බර් 01 දින හීල්දානය සහ දහවල් සංඝගත දක්ෂිණාව කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුවේ සුධීරානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අනුමෝදනා ධර්ම දේශනාව නාථගනේ ආරණ්‍ය සේනාසනාධිපති හැවැන්පැලැස්සේ චන්දවංස නාහිමිපාණන් විසින් සිදු කරනු ලැබේ.


බරණැස ඉසිපතන මිගදාය මූලගන්ධකුටි විහාරය

බරණැස ඉසිපතන මිගදාස මූලගන්ධකුටි විහාරයේ කඨින පින්කම් මාලාව නොවැම්බර් මස 01 වෙනි දින ආරම්භ වන අතර එදින සර්වරාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක්ද පසුදා 02 කඨින චීවර පූජාව සහ මහා සංඝගතදක්ෂිණාවක් 250 නමකට පිරිනැමේ. නොවැම්බර් මස 03 වන දින උදේ 08.00 සිට සවස 05.00 දක්වා සර්වඥධාතු ප්‍රදර්ශනය පැවැත්වේ. 78 වන වරට සිදුකරන මූලගන්ධකුටි විහාරයේ වාර්ෂික උත්සවය සඳහා ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් නාගරික සංවර්ධන හා පූජාභුමි සංවර්ධන අමාත්‍ය හා ආණ්ඩුපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහභාගි වේ. එමෙන්ම මහාබෝධි පාසැල්වල වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සව සහ සංස්කෘතික හා ආගමික කටයුතු රාශියක්ද මෙදින පැවැත්වේ. මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරනුයේ කොළඹ 05 සක්විති මාවතේ පදිංචි එන්.එම්. මංජු නාරායන, ෂෙරනිකා නාරායන යුවල සහ කොළඹ 07 වෝඩ් පෙදෙසේ චන්දන වික්‍රමරත්න සහ මංජුලා වික්‍රමරත්න යුවල ඇතුලු පින්වතුන් විසිනි. මෙහි සියලු කටයුතු ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරේ.


පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ කඨින පින්කම්


පාතහේවාහැට තලාතුඹය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ කඨින චීවර පුණ්‍යෙීත්සවය නොවැම්බර් මස 01 හා 02 යන දෙදින සිදු කිරීමට පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතිය කටයුතු සලසා ඇත. උභය විහාරාධිපති හගුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ 37 වැනි පැවිදි දිනයද නිමිතිකරගෙන පින්කම සංවිධානය කෙරේ. 01 දින රාත්‍රී 6.30 ට විශේෂ බෝධි පූජාව මෙහෙයවනු ලබන්නේ වෙලේගම්මැද්දේ ශ්‍රී විමලජෝති නාහිමියන් විසිනි. රාත්‍රී 9.00 සිට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්ද දෙවැනි දින අළුයම කඨින පෙරහරද වීථි සංචාරය කෙරේ. දවල් මහා සංඝරත්නය විෂයෙහි සඟසතු දානමය පින්කම හා පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් වෙතද දානය පිරිනැමීමට කටයුතු සලසා ඇත. පින්නගොල්ල ශ්‍රී රතනජෝති දහම් පාසලේ ගුරු භවතුන් හා දූ දරුවන් එක්සත් සුභසාධක අවමංගල්‍යාධාර සමිතිය තලාතුඔය ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභි තරුණ පිරිස, පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතිය, විහාරස්ථ කාර්ය සාධක සමිතිය දායකත්වය දරයි. කඨින චීවර පුණ්‍යෙීත්සවය පවත්වා රජයටත් ලක්වැසි ජනතාවටත්, ත්‍රිවිධ හමුදාවටත් ජනාධිපතිතුමන්ට ආරක්ෂාව, ආශිර්වාද ප්‍ර‍්‍රාර්ථනා කරමින් ද අපවත් වී වදාළ බූටාවත්තේ ශ්‍රී රතනජෝති නාහිමියන්ට විහාරාධිපති හිමියන්ගේ දෙමාපිය දෙපලට, විහාරස්ථානයේ සතරපේරුවේ දායක පිංවතුන්ට ත්‍රිවිධ හමුදාවේ මියගිය රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට කටයුතු සලසා ඇත.


ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානය

කැලණිය, දුම්රියපල පාර ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතන විහාරස්ථානයේ විහාරාධිපති බෙංගමුවේ නාලක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් කඨින පින්කම ඇතුළු පින්කම් රාශියක් ඔක්තෝබර් 12 දින සිට 18 දක්වා සිදු කැරිණි.අපවත්වී වදාළ හක්මණ පඤ්ඤානන්ද හිමිපාණන් හා මහාචාර්ය මාරඹ රතනසාර හිමිපාණන් අනුස්මරණය කිරීම සහ අටවිසි බුද්ධ පූජා පින්කම් මාලාවක්, කුල දරුවන් දෙදෙනෙකු සසුන් ගත කිරීම සහ ගිලන් පස බුද්ධ පූජාව, පරිත්‍රාණ ධර්ම දේශනය. දුම්රියපල පාර ජේ.වී. වැන්දබෝනා මහතාගේ ව්‍යාපාරික ආයතනයෙන් කඨින චීවරය රැගත් පෙරහර පිටත්වීම. කඨින චීවර පූජාව හා 35 නමක් විෂයෙහි සාංඝික දානමය පින්කම, කඨිනානිසංස ධර්ම දේශනයද එම පින්කම් මාලාවට ඇතුළත් විය.


ලුම්බිණියේ ශ්‍රී මහාමායා විශ්වශාන්ති බුද්ධ විහාරය

ඔක්තෝම්බර් 27 හා 28 යන දෙදින තුල පින්කම් මාලාවක් සිදුවේ. 27 දින පරිත්‍රාණ ධර්මදේශනාවකින් ආරම්භ කර පසු දා කඨිනචීවර පූජාව සහ සංඝගත දක්‍ෂිනාවක් පිරිනැමීම සිදු කරනු ලැබේ. මෙම පින්කමේ දායකත්වය දරනුයේ නුගේගොඩ පදිංචි තුසිත ඕපනායක මහතා ප්‍රධාන පවුලේ සැම සහ තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙනි. මෙහි සියලු කටයුතු කේ. වනරතන හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරේ.

එසේම ඉන්දීය මහාබෝධි සමාගමට අයත් ඔරිස්සාවේ කාලිංග බුද්ධවිහාරය, ශ්‍රාවස්ති හා ලක්නව් යන මධ්‍යස්ථානයන්හි 2009 වසරේ කඨින පින්කම අතිඋත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට කටයුතු සම්පාදනය කර ඇත. කදුරුවැවේ වජිරවංශ හිමි


මලිදුව විජයානන්ද පුරාණ විහාරය

මලිදුව ශ්‍රී විජයානන්ද විහාරාධිපති බෝපිටියේ විමලවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, ශාස්ත්‍රපති මලිදුව අමරවංශ හිමි හා සුගතවංශ හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙම මස 30, 31 දිනයන්හි කප්රුක් පූජාව සමග කඨින චීවර පින්කම් එම විහාරයේදී සිදු කැරේ.

මලිදුව ශ්‍රී විජයානන්ද විහාරාධිපති බෝපිටියේ විමලවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, ශාස්ත්‍රපති මලිදුව අමරවංශ හිමි හා සුගතවංශ හිමිපාණන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙම මස 30, 31 දිනයන්හි කප්රුක් පූජාව සමග කඨින චීවර පින්කම් එම විහාරයේදී සිදු කැරේ.

වාද්දුව තල්පිටිය ‘බෝධිරාජාරාමයේ කඨින මහා පූජෝත්සවය ආචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන්වහන්සේ ඇතුළු විහාරස්ථ මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි විහාරස්ථ විශාඛා කුලඟන සමිතිය දායක සභාව, ඇතුළු අනෙකුත් සංවිධාන ප්‍රදේශවාසීන්ගේ සංවිධානයෙන් මෙම මස 31 වන දා දවස පුරා සිදුකැරේ.මෙම කඨින වස්ත්‍රය රැගත් පෙරහර දකුණු තල්පිටිය පුණ්‍යසිරි පෙරේරා මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම නිවසේ සිට පෙරවරු 3.00 ට ආරම්භ වේ.


හැව්ලොක්ටවුන්

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ කඨින පින්කම විහාරාධිපති ශාස්ත්‍රපති කිහිඹියේ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි අශෝකා ගුණවර්ධන මහතා සහ කාන්ති ගුණවර්ධන මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් මෙම මස 30 දා රාත්‍රී පිරිත් දේශනාව ද 31 වනදා දාවල් දානයද පැවැත්වේ. ඒ නිමිත්තෙන් මේ මස 17 දා සිට දිනපතා ධර්මදේශනා මාලාවක් ද පැවැත්වේ.


ජල්තර ධම්මික යෝගාශ්‍රමය

හංවැල්ල - ජල්තර ධම්මික යෝගාශ්‍රමයේ කඨින මහා පින්කම මෙම මස 30, 31 බියගම සුසිරි නිවසෙහි කරුණාවතී පෙරේරා මහත්මිය ප්‍රධාන සියලු දායක දායිකාවන්ගේ සහයෝගයෙන් පැවැත්වේ. 30 දා රාත්‍රී 7.00ට සූවිසි ප්‍රත්‍යපූජාව ද රාත්‍රී 9.00 ට මහ පිරිත් දේශනයද 31 දිනට එළිවෙන පාන්දර 3.30 ට කඨින චීවරය වැඩමවීමේ මහ පෙරහරද 31 දින දවල් කඨින චීවරය ධර්මාසන මණ්ඩපය කප්රුක් සහිත මහා සංඝගත දක්ෂිණාවද දවල් 1 ට කඨිනානිශංස ධර්ම දේශනයද පැවැත්වේ.


රත්මලාන පුරාණ රජ මහා විහාරය

රත්මලානේ පුරාණ රජමහා විහාරයේ කඨින පින්කම නොවැම්බර් මස 1 – 2 දිනයන්හිදී සිදුකැරේ. මේ නිමිත්තෙන් මෙම 25 වැනි දා සිට 31 දා දක්වා දිනපතා සවස 6 ට ධර්ම දේශනා මාලාවක් පැවැත්වෙන අතර, රාත්‍රී 7.30 ට ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වේ. 1 වැනිදා සවස 5 ට කඨින චීවරය රැගත් පෙරහර වීථි සංචාරය කැරෙන අතර රාත්‍රී 9.30 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කැරේ. 2 වැනි දා අලුයම කඨින චීවර පූජාවෙන් අනතුරුව දහවල් සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. රාත්‍රී කඨිනානිසංස ධර්ම දේශනයෙන් පින්කම නිමාකැරේ.මෙවර පින්කමේ දායකත්වය දරන්නේ රත්මලාන ඉන්දජෝති පාරේ සේනක බටදූව ආරච්චි මහතා සහ අරෝෂා පෙරේරා මහත්මිය, චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය සහ පවුලේ සාමාජික පිරිස ඇතුළු දායක පිරිසයි.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 25 වනදා ඉරිදා අපර භාග 4.54 ට ලබයි. 26 වනදා සඳුදා අපර භාග 7.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]