Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුක වඩන හේතුව නැති කරන මඟ

සමහරු තමන් මිය යන විටත් තමන්ගේ දූ දරුවන් ගේ දොර ඉඩකඩම්, නැවත උපදින භවයේදී ලැබෙන්නයි ඉල්ලා සිටිනවා. ආයචනා කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ දේවල් වලින් සිදුවන්නේ තව තවත් සසර දිගු වීමයි. මෙවැනි සිතිවිලි සිතේ තබාගෙන ආශාවෙන්, ලෝභයෙන්, තණ්හාවෙන් මරණයට පත් වූ විට සිදුවන්නේ, නැවත යහපත් ආත්ම භාවයක්, ප්‍රතිසන්ධියක් ලබාගත නොහැකිව පේ‍්‍රත ආත්මවල ඉපදීම යි.

බුදුරජාණන් වහන්සේ විසින්, තෘෂ්ණාව පිළිබඳව මුලින්ම දේශනා කොට වදාළේ දම්සක් පැවතුම් සූත්‍රයේදී ය. එහිදී පුනර්භවය ඇතිවීමේ හේතුව තෘෂ්ණාව බව පස්වග මහණුන්ට දේශනා කළහ. සංයුක්ත නිකායේ දුක්ඛ සූත්‍රයේ පංචකාම වස්තුන්ගෙන් උපදින විඤ්ඤාණ තුළින් වේදනා හට ගන්නා බවත්, එම වේදනා තෘෂ්ණාවට හේතුවන බවත්, උන්වහන්සේ පැහැදිලි කර ඇත.

ඊට අමතරව ඉතිඋත්තක පාලියේ, තණ්හුත්පාද සූත්‍රයේදී දුක උපදවන දේ තෘෂ්ණාව ලෙසත්, සසරින් එතෙරවීම පිණිස තෘෂ්ණාව නැති කළ යුතු බවත් දේශනා කර ඇත. සංයුත්ත නිකායේ ජනෙති සූත්‍රයේ දී එක්තරා දෙවියෙක් සත්ත්වයා උපදවන්නේ කවරෙක්ද යන්න බුදුන් වහන්සේගෙන් විමසූ විට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ‘තණ්හාව‘ විසින් සත්ත්වයා උපදවන බවයි.

ධම්මපදයේදී තණ්හාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා තිබෙනවා. එනම්

1. කාම තණ්හා
2. භව තණ්හා
3. විභව තණ්හා ලෙසයි.

කාම තණ්හා යනු ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමට ඇති ඇල්මයි. පෘථග්ජන මිනිසුන් ලෙස අපි සියලු දෙනාම මෙම පංචකාම වස්තු මගින් වින්දන ලැබීමට ඇල්මක් දක්වන්නෝ වෙමු. ඇස පිනවීමට කන පිනවීමට නාසයට සුවඳවත් දේ විඳීමට සැලැස්වීමට දිවට රස ලබා දීමට ශරීරයට සැප පහස ලබා දීමට ආශා කරමු. නමුත් බෞද්ධයන් ලෙස මේ සෑම සැපයක්ම විඳීමේ සීමාවක් තිබෙන බව සිහියේ තබාගත යුතුයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ආහාරයෙහි පමණ දැන අනුභව කරන ලෙස කොසොල් රජතුමාට පවා දේශනා කර සිටියේ.

බුද්ධ කාලයේ පමණක් නොවේ, අද සමාජයේ පවා කෑමෙන් - බීමෙන් අගතියට ගිය බොහෝ දෙනෙක් සිටිනවා. තමන්ගේ තරුණ කාලයේදී කැමැත්ත, ආශාව, පාලනය කර ගැනීමට ශක්තියක් නොමැති කමින් වයසට ගිය පසුව බොහෝ රෝග පීඩා වලට ගොදුරු වෙනවා.

තවත් සමහර කොටසක් තමන් හරි හම්බ කරගත් දේ එක දවසකින් කෑමට, බීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා යොදවනවා. ඒත් අපේ පැරැණි මුතුන් මිත්තන් තමන් නෙළා ගන්නා අස්වැන්නෙන් කොටසක් තිරිසන් සතුන්ට පවා ඉතිරි කළා. නමුත් අද කාලේ සමහර ගෙවල්වල බල්ලෙකුට , පූසෙකුටවත් කෑම ටිකක් දීමට සිතේ නැමියාවක් නැහැ.

කාන්තා පක්ෂයේ බොහෝ දෙනෙක් අද කාලේ තිබෙන වෛවාරණ ඇඳුම්, පැළඳුම්, ආභරණ, අනවශ්‍ය ප්‍රමාණයට තමන් සන්තක කර ගැනීමට කැමැත්තක් දක්වනවා. අපේ බෞද්ධ සංස්කෘතියේ හැදුණු වැඩුණු අය හැම දෙයක්ම කළේ යම් සීමාවක් ඇතිව යි. ඒ අය සුවසේ ජීවත් වී සුවසේ මරණයට පත් වුණා. නමුත් දැන් සිටින බොහෝ කාන්තාවන් අවසන් හුස්ම හෙළන වෙලාවෙත් සිහි කරන්නේ, අනේ මට අර දේ ගන්න බැරි වුණා. මේ දේ ගන්න බැරිවුණා යන සිතිවිල්ලයි.

‘භව තණ්හා’ යනු භවය පැතීම හෙවත් සංසාරයෙන් සංසාරයට ගමන් කිරීමට ඇති කැමැත්ත යි. සමහරු තමන් මිය යන විටත් තමන්ගේ දූ දරුවන් ගේ දොර ඉඩකඩම්, නැවත උපදින භවයේදී ලැබෙන්නයි ඉල්ලා සිටිනවා. ආයචනා කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ දේවල් වලින් සිදුවන්නේ තව තවත් සසර දිගු වීමයි. තවත් සමහරුන් තුළ ඇත්තේ් මේ ලෝකයේ දී අත්පත් කරගත හැකි ප්‍රාර්ථනා නොවේ.

මෙවැනි සිතිවිලි සිතේ තබාගෙන ආශාවෙන්, ලෝභයෙන්, තණ්හාවෙන් මරණයට පත් වූ විට සිදුවන්නේ, නැවත යහපත් ආත්ම භාවයක්, ප්‍රතිසන්ධියක් ලබාගත නොහැකිව පේ‍්‍රත ආත්මවල ඉපදීම යි.

‘විභව තණ්හා’ යනු මරණින් මතු යළි ඉපදීමක් නොමැතිව මේ ජීවිතය අවසන් වන්නේ ය යන උච්ඡේද දෘෂ්ටිය නිසා ඇතිවන තණ්හාව යි.

බුද්ධ කාලයේ විසූ ගිහියන් තණ්හාවෙන් අගතියට ගිය අයුරු පිළිබඳ බොහෝ උදාහරණ අපට හමු වෙයි. අදින්නපුබ්බක සිටුතුමා විසින් තමන්ගේ දරුවාට පංචායුධයක් සාදා දීමට තිබූ ලෝභකම නිසා තඔ තහඩුවක් තලා පංචායුධයක් සාදා දුන් හේතුවෙන් පරම්පරා සිය ගණකක් යනතුරු ඔහුගේ ලෝභකම පිළිබඳ අපකීර්තිය පැවැති බව අපි සියලු දෙනා දනිමු.

කෑමට හා සුරාවට අධික ලෙස ලොල් වූ චත්තපාණි රජ්ජුරුවන් විසින් තමන්ගේ ලෙයින් උපන් දරුවා මරණයට පත් කරන ලෙස නියෝග දෙන්නේ අධික තණ්හාව නිස යි. ගිහි - පැවිදි දෙපාර්ශවයටම තණ්හාව අඩු වැඩි වශයෙන් පවතියි.

තණ්හාව නැත්තටම නැති වන්නේ රහත් වූ විට පමණයි. තණ්හාව හේතුවෙන් ලෝභය, ද්වේශය, මෝහය යන අකුසල ධර්ම ඇති වේ. තණ්හාව දුරුකිරීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාරන්නේ, අලෝභය, අමෝහය, අද්වේෂය වඩන ලෙසයි.

ඒ අනුව අලෝභය සඳහා පරිත්‍යාගයත්, අද්වේෂය සඳහා මෛත්‍රීයත්, අමෝහය සඳහා ප්‍රඥාවත්, පුරුදු පුහුණු කළ යුතු යි. බුදුන් වහන්සේ නිවන සාක්ෂාත් කර ගැනීමට යන ගමනේ දී තමන්ගේ ඇස්, ඉස්, මස්, ලේ දරුවන් සහ දේපළ සියල්ලම පරිත්‍යාග කළ බව සඳහන් වෙයි.

බුදුන් වහන්සේ විසින්, සිංහයකු උපමා කොට තෘෂ්ණාව නැති කළ යුතු ආකාරය දක්වන්නේ මෙසේ යි. ‘සිංහයකුට ගලක් ගැසුවහොත් ඒ ගල ගැසුවේ කව්රුන් විසින්දැයි සෝදිසි කර බලා ගල ගැසූ තැනැත්තා විනාශ කර දමනවා. ඒ අනුව සිතා, හේතුව සොයා නැති කරන සිංහයකු මෙන් තෘෂ්ණාව නැතිකළ යුතු ය’.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.