Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පොළොවට දිරා යන දරකඩ

දැවයෙන් වැඩ ගන්නා අය වනයට ගොස් අවශ්‍ය දැව දඬු සපයා ගනිති. තමන්ට සුදුසු නොවන දැව දඬු ඔවුන් වනයේම දමා යන අතර එම දැව දඬු කිසිවකුත් ප්‍රයෝජනයට නොගන්නා බැවින් වනයේම දිරා පොළොවට පස් වෙයි. එමෙන්ම මෙම ශරීරයෙන් ද කිසිවකුටත් වැඩක් නැති බැවින් පොළොවට පස් වන බව බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක.මෙම ගාථාව පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට මහා කාරුණිකයාණන් වහන්සේ දේශනා කිරීමෙන් පූතිගත්තතිස්ස තෙරුන්වහන්සේ අර්හත්භාවයට පත් වූහ.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අචිරං වතයං කායො
පඨවිං අධිසෙසසති
ජුදෙධා අපෙත විඤ්ඤාණො
නිරත්‍ථංව කලිංගරං

පින්වත්නි,

මාතෘකා කළ ගාථාව ධම්මපදයේ චිත්ත වග්ගයට අයත් වේ. එහි සාමාන්‍ය අදහස වන්නේ ඉවත දැමූ වැඩකට නැති දරකැබැල්ලක්මෙන් මේ කය ද පහවූ සිත් ඇතිව නොබෝ කලකින් පොළොව මත හෝනේ ය යනුයි.

සත්ත්වයා මරණයට පත්වන විට ඔහුගේ විඤ්ඤාණය චුත වන්නේ ය. තිදොරින් කරනා කුසලාකුසල කර්මය ද රැගෙන එම විඤ්ඤාණය වෙනත් භවයකට යයි. රූප ජීවිතේන්ද්‍රිය, කර්මජතේජෝධාතුව, විඥානය යන මෙය සිරුරෙන් ඉවත්වූ විට ඉතිරිවන ශරීරයකුණු වී දිරාගිය දරකඩක් මෙන් පොළවට දිරායයි. තිරත්ථංව කලිංගරං (වැඩකට නැති දිරාගිය දරකඩක්සේ)

දැවයෙන් වැඩ ගන්නා අය වනයට ගොස් අවශ්‍ය දැව දඬු සපයා ගනිති. තමන්ට සුදුසු නොවන දැව දඬු ඔවුන් වනයේම දමා යන අතර එම දැව දඬු කිසිවකුත් ප්‍රයෝජනයට නොගන්නා බැවින් වනයේම දිරා පොළොවට පස් වෙයි. එමෙන්ම මෙම ශරීරයෙන් ද කිසිවකුටත් වැඩක් නැති බැවින් පොළොවට පස් වන බව බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක. මෙම ගාථාව පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට මහා කාරුණිකයාණන් වහන්සේ දේශනා කිරීමෙන් පූතිගත්තතිස්ස තෙරුන්වහන්සේ අර්හත්භාවයට පත් වූ සේක.

බුදුන්වහන්සේ වෙත පැවිදිව සිටි තිස්ස නම් තෙරනමකට කුෂ්ඨ රෝගයක් වැළඳී ශරීරය කුණු වී ඕජාව ගලන්නට විය. තමන්ට හැකි අවස්ථාවේ කිසිවකුගේ හෝ දුකකට පිහිට නොවී හුදකලාව සිටි බැවින් කිසිවෙක් මෙම තෙරුන් කෙරෙහි අනුකම්පාවක් නොදැක්වීය. අලුයම ලොව බලන මහා කාරුණිකයාණන් වහන්සේගේ නුවණට තිස්ස තෙරුන්වහන්සේ පෙනීගිය සේක. අර්හත් භාවයට පැමිණීමට බලයක් ඇති තිස්ස තෙරුන්ට කිසිවකු පිහිට නොවන බැවින් පිහිට විය යුත්තේ තමන්වහන්සේම පමණක්ය යන බව දැන එම භික්‍ෂුවගේ කුටියට වැඩම කළ සේක. පැන් උණු කර පෙරවූ සිවුරු සෝදා තෙරුන්ගේ තුවාල සෝදා නහවා සුවපත් කළසේක. සිරුර කුණු වී ගිය බැවින් පූතිගත්ත තිස්ස නමින් ප්‍රසිද්ධ විය.

පූතිගත්තතිස්ස තෙරුන්ගේ කුණු වී ඕජාවගලන සිරුර තම ශ්‍රී හස්තයෙන්ම සෝදා පිරිසුදු කිරීමට තරම් බුදුපියාණන් වහන්සේ කාරුණික වූ සේක. ගිලනුන්ට උපස්ථාන කිරීමේ අගය අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙන් ද පෙන්වාදුන් මහා කාරුණිකයාණන් වහන්සේ පින්වත් මහණෙනි! ‘ගිලනුන්ට උපස්ථාන කරනවානම් ඒ තැනැත්තා උපස්ථාන කරන්නේ මටයයි’ ගිලානෝපස්ථානයේ වැදගත්කම ද වටහා දුන් සේක.

නයකු දෂ්ඨ කර මියගිය තම සැමියාගේ වියෝවෙන් ද, ජලයට ගසාගන යාමෙන් හා උකුස්සකු ඩැහැගනයාමෙන් අහිමිවූ තම දෙමාපියන් සහ ගේදොර ගින්නෙන් විනාශවීමේ වියෝවෙන්ද පටාචාරා උන්මත්තියක බවට පත්වූවා ය. අර්හත් ඵලයට පැමිණීමට තරම් පින් බලයක් ඇති එම අසරණ කාන්තාව කෙරෙහි බුදු ඇස යොමු විය. සතවෙත පතල මහා කරුණාව ඇති මහා කාරුණිකයාණන් වහන්සේ එම අහිංසක කාන්තාවට ද කරුණාව පතල කළ සේක.

බුදු සසුනේ ශ්‍රාවිකාවක් වූ පටාචාරා අර්හත් ඵලයට පැමිණ විනයධාරිනියන් අතරින් අග්‍රස්ථානයට පැමිණි අතර තෙලෙස් මහා තෙරණින් අතරට ඇයද එක්වූවා ය.

මහාකාරුණියාණන් වහන්සේගේ කරුණාබර දෑත දිගුකළ තවත් එක් අයෙක් කිසාගෝතමිය. ‘මරණය’ යනු කුමක්දැයි නොහඳුනන තරුණ කිසාගෝතමිය තමන්ගේ මැරුණු කුලුඳුල් පුතුගේ මළකුණ ඔසවාගෙන වීථියක් පාසා දිවගියේ තමපුතු සුවකරගැනීමට ඔසුවක් සොයා ගැනීම සඳහා ය. ‘අනේ මගේ පුතාගෙ හදගැස්ම නැවතුනා, පුතා සනීප කරගන්න කවුරුහරි බෙහෙතක් දෙන්න’ වීථිය දිගේ වැළපෙමින් යන කිසාගෝතමියට පිස්සියක යැයි ඇතමුන් ගල්මුල් වලින් ගසා පන්නාගත්තද ඒ අතර නුවනැති පුරුෂයින් ද වු බැවින් නැගණිය ඔබ පුතු සුව කිරීමට දක්‍ෂ වෙදැදුරාණන් දෙව්රම්වෙහෙර වැඩ වසති. උන්වහන්සේ ඔබගේ පුතු සුවකරාවි. යන වදන කන වැකුනෙන් යුහුසුළුව දෙව්රම් වෙහෙරට ගියා ය. තිලොව සනසන බුදුනෙතට යොමු වූ කිසාගෝතමියගේ පුතුවියෝව ඇයගේ නිවන් මගේ පෙර සලකුණු බව දුටුසේක.

අවස්ථානුකූල දහම් දෙසන බුදුපියාණන් වහන්සේ සසලසිත නිසලකරමින් සියලු සතට මරණය උරුම බව සත්‍ය බව වටහාදීම පිණිස උපායෙදූ සේක. ජීවිතයේ අනියත බව වටහාගත් කිසාගෝතමිය අර්හත් ඵලයට පැමිණ දල සිවුරු දරන්නියන් අතර අග්‍රස්ථානයට පැමිණ තෙලෙස්මහා තෙරණීයන් අතර ඇය ද එක් අයෙක් වූවා ය.

උස් පහත් කුළභේද නොසැලකූ බුදුපියාණන් වහන්සේ පහත් චරිත ඇත්තාම වසලයා ලෙස සැලකූ අතර වසලයා යයි සැවොම ගර්හාවට ලක්කළ අනුන්ගේ අසූචි ඇද ජීවත් වන සුනීත රහත් තෙරනමක් කළසේක. බුදුපියාණන් වහන්සේගේ මහා කරුණාව තරාතිරමක් නැතිව සියලු සතුනටම පතල කළ සේක.

රජවරු, බිසෝවරු, කුමර කුමරියෝ, සිටු ඇමැති, බමුණු ගොවි, කම්කරු, කසලශෝධක, වහල්ලු, සැඩොලු මෙන්ම මිනීමරුවන්, හොරුන්, ගෝඝාතකයින්, ගණිකාවන්, යක්‍ෂයින්( ආලවක) සැවොම කෙරෙහි භේදයක් නොමැතිව සමසේ කරුණාව පැතිරූ සේක. තමන්වහන්සේගේ බුදුනෙතට යොමු වූ කරුණාව දැක්වීමට සුදුසු අයවෙත පාගමනින්ම වැඩිසේක. දුප්පත් මිනිසකු සුඛිත කරනු සඳහා දොළොස්ගව්වක් පාගමනින් වැඩිසේක. තමන්ගේ නැතිවූ ගවයින් සොයා ගිය ඒ මිනිසා බඩසයින් පෙලෙමින් බණ ඇසීමට පැමිණි බැවින් ඔහුට ආහාර ලබාදී ධර්මය දේශනාකර එම දුප්පතා සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. එක ගාථාපදයක් පාඩම්කිරීමට අපහසු වූ චුල්ලපන්ථක පොඩිහාමුදුරුවන් සහෝදර මහාපන්ථක හාමුදුරුවන්ගෙන් ගැරහුම් ලබා වැළපෙමින් සිටින විට උන්වහන්සේට නිවනේ මඟ හෙළිකර දීමට තරම් බුදුපියාණන් වහන්සේ කාරුණික වූ සේක.

භගවා තත්ථ ආගක්‍ජි
සීසං මයිහං පරාමසී
බාහාය මං ගහෙÀවාන
සංඝාරාම පවේඝසි

“සම්බුදු පියාණන් වහන්සේ මාවෙත වැඩිය. මගේ හිස පිරිමැද්ද මගේ අත අල්ලගත්ත සංඝරාමෙට කැඳවගන ගියා” මේ ප්‍රකාශය කරන චුල්ල පන්ථක පොඩිහාමුදුරුවන්ට කෙතරම් හිතට සැනසිලි සුවයක් ලැබෙන්න ඇද්ද? විපතටපත් කිසිවකුටත් බුදුපියාණන් වහන්සේ සැර පරුෂ වූයේ නැත. සියල්ලටම මවක දරුවකුට දක්වන සෙනෙහසමෙන් කාරුණික විය.

මහා නියගයකට හසුව ඉරිතලාගිය පොළවේ වියළීගිය රුක්‍ෂලතාවලට මහා වර්ෂාවක් ඇදහැලීමෙන් දළු ලියලා ගෙඩිමල් හටගත්තා මෙන් අපගේ හදවත් තුළ ජනිතව ඇති ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, ලෝභ ද්වේශ, මෝහ මහා නියගයෙන් අත්මිදීමට ශාන්තිනායකයාණන් වහන්සේගේ ඒ අනන්ත වූ කරුණා මෛත්‍රී සිසිල් ජලයෙන් අපගේ හදවත් තෙමා කරුණා මෛත්‍රියේ මල්ඵල ජනිත කර සැනසීම ලබා ගනිමු.

සැමට තෙරුවන් සරණයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.