Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ‘දිවියම වනසන මත් රකුසා පිටුදකිමු’

පසුගිය පත්‍රය හා සම්බන්ධයි

මත්පැන් පානය නිසා මිනිස් ගතිගුණ විනාශ වනවා, ලැජ්ජා බිය දෙක නැති වනවා, මත්පැන් නිසා විවිධ විසම සාපරාධී ක්‍රියාවලට පෙළඹෙනවා. මත්පැන් පානය නිසා මිනිසාගේ දේපළ විනාශ වනවා පමණක් නොවෙයි. පුද්ගලයාගේ කායික මානසික නිරෝගීකම ද පිරිහී යනවා. ශාරීරික අවයව තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගන්න බැරිව යනවා. ඒ නිසා සමාජයට අහිතකර, සමාජය විකෘති කරන, පුද්ගලයා විනාශ කරන මත්පැන් පානයෙන් වැළකී සැවොම ජීවත් විය යුතුයි.

අපේ බණ පොතේ තියෙනව අපට ලොකු පාඩමක් ඉගෙන ගත හැකි කතා පුවතක්. මත්පැන් නිතරම අවශ්‍ය කරන රජ කෙනෙක් හිටියා.

මත්පැනින් තොර ජීවිතයක් ඔහුට තිබුණේ නැහැ. ඔහුගේ ආහාරයට මස් අවශ්‍යම යි. රාජ භෝජන සකස් කරන පුද්ගලයා රජ්ජුරුවන්ගේ ආහාරයට අවශ්‍ය කරන මස් සපයලා තිබුණත් අවාසනාවකට ඒ මස් බල්ලන් ඇදගෙන ගියා. රාජ භෝජනය සකස් කරන පුද්ගලයාට විශාල ප්‍රශ්නයක් වුණා. අද රජ්ජුරුවන්ට අනුභවයට මස් නැතිවීම පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබුණා. රජ්ජුරුවන්ගේ ආහාර වේලට සකස්කිරීමට තිබුණු මස් බල්ලන් ඇදගෙන ගිය බවට නිලධාරියකු මාර්‍ගයෙන් රජතුමාට සැළවුණා. ඒ අවස්ථාව වන විට මත්පැන් පානය කර සිටි රජු සම්පූර්ණ විකෘති මනසක් ඇති පුද්ගලයකු බවට පත්වෙලා හිටිය මොහොතක් වුණා. ඒ අවස්ථාවේම රජ්ජුරුවන්ගේ දරුවා නළවමින්, දේවිය ඒ අසල ම ඉන්නව දැක්කා. සිහිවිකල්ව සිටින රජු, දේවිය දරුවා හුරතල් කරමින් ඒ ස්ථානයේ රැඳී සිටිනු දැකීමෙන් මහත් කෝපයකට පත් වුණා. දේවියගේ අතින් දරුවා ඇඳලා ගත් රජු මට කන්න මස් නැත්නම් මෙන්න මේකා කපල උයපල්ලා කියමින්, දරුවා කපා උයන ලෙසට නියෝග කළා. රාජ නියෝගයට පිටුපාන්න නොහැකි වූ රාජදූතයන් රජුගේ අණ ක්‍රියාත්මක නොකළහොත් රාජ උදහසට ලක්වීමට සිදුවන නිසා එම දරුවා කපා ආහාරය සඳහා සකස් කර දුන්නා. රජතුමා තමාගේ භෝජනය ආහාරයට ගත්තා. රජතුමා ආහාර ගෙන මඳ වේලාවක් යන විට ඔහුගේ මත්ගතියද පහව යමින් තිබුණා. පියවි සිහිය ලැබූ රජු තමාගේ කිරිකැටි දරුවා සුරතල් කිරීමට දෙන ලෙස ඉල්ලුවත් ඒ මොහොත වන විට සියල්ල සිදු වී හමාරයි. තමන්ගේ දරුවා කෙරෙහි සෙනෙහසක් ආදරයක් නැති තත්ත්වයට මනස විකෘති කර ගැනීම නිසා තමයි රජතුමා වුවත් සාහසික අපරාධයක් කිරීමට පෙළඹුනේ. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පාවිච්චි කිරීම නිසා කෙනකුගේ මානසික තත්ත්වය විකෘති වෙනවා. පුද්ගලයාගේ ක්‍රියා කලාපය සම්පූර්ණයෙන්ම වැරැදි පැත්තට යොමු කරන මහා පාපතර ක්‍රියාවකි, මත් භාවිතය.

බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ මංගල කාරණ 37 ක් දේශනා කළා. ඉන් එක් කාරණාවක් තමයි, මත්පැන් පානයෙන් වෙන්විය යුතුයි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධනය විනාශ වීමට හේතුවන කාරණා කිහිපයක්. තමන්ගේ ප්‍රයෝජනය සඳහා; තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය සඳහා; තමන්ගේ මවුපිය මිත්‍ර ආදීන්ට යුතුකම් ඉටු කිරීම සඳහා; තමන්ගේ ඤාතීන්ට ඉටු වන්නට අවශ්‍ය යුතුකම් ඉටුකිරීම සඳහා; සමාජයට ඉටු විය යුතු යුතුකම් ඉටුකිරීම සඳහා සෑම කෙනෙක්ම මහන්සි වෙලා හරිහම්බ කරගත් ධනයක් තියෙනවා. මේ ධනය මත්පැන් පානය සඳහා යොමුකළහොත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අපේ බණ පොතේ කතා ප්‍රවෘත්තියක් තියෙනවා, මහා ධන සම්භාරයක් ඇති සිටු පවුල් දෙකක් පිළිබඳ . ඉන් එක් සිටු පවුලකට පිරිමි දරුවකුත් අනෙක් සිටු පවුලට ගැහැණු දරුවකුත් සිටියා. මේ සිටු පවුල් දෙකේම මවුපියන් තම දරුවන් දෙදෙනාටම නිසි අධ්‍යාපනයක් ලබා දී තිබුණේ නැහැ. ඉඩකඩම්, මුතු මැණික්, විශාල වස්තු සම්භාරයක් තිබෙන, නිසාත් අවශ්‍ය පමණටත් වඩා මිල මුදල් ජීවත්වීම සඳහා තිබෙන නිසාත් අධ්‍යාපනයක් අවශ්‍ය නැති බවට ඔවුන් කල්පනා කළා. පසු කාලීනව මේ දෙදෙනා විවාහ කරලා දුන්නා. දෙපාර්ශ්වයේම අසූ කෝටිය බැගින්, එකසිය හැට කෝටියක ධන ස්කන්ධයක් ඔවුනට හිමි වුණා.

මෙම සිටුපුතා කිසිම ශිල්ප ශාස්ත්‍රයක් නූගත්; සමාජය පිළිබඳ කිසි අවබෝධයක් නැති පුද්ගලයකු වුවත්, විශාල ධන සම්භාරයකට හිමිකම් කියූ නිසාම රජතුමා මොහුට උප සිටු තනතුරක් ලබා දුන්නා. මේ ප්‍රදේශයේ මත් පැන් පානය කරමින් වෙනත් දූෂණ ක්‍රියාවල ද යෙදුණු සල්ලාල පුද්ගලයන් කල්පනා කළා, මෙම විශාල ධන සම්භාරයක් ඇති උප සිටුවරයා මිතුරු කරගතහොත් ඒ අයට අවශ්‍ය පරිදි මත්පැන් පානය කරන්න පුළුවන් කියා. කැමැති ආහාරපාන ද ඕන තරම් කන්න ලැබේවි කියා එසේම සූදුවට යන්න මුදල් ලබා ගන්න පුළුවන් වේවි කියා. ඔවුන් දවසක් තරුණ සිටුවරයා යන මාර්‍ගයේ අසළ සින්දු කියමින් විනෝද වෙමින් සිටියා. ක්‍රමයෙන් මේ අයවෙත සිත ඇදී ගිය තරුණ උප සිටුතුමා ඔවුනට හිතවත් වුණා. ඔවුන් සිටුවරයා ඉතා ගෞරවයෙන් පිළිගෙන චාටු බස් දොඩමින් ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගත්තා. අවසානයේ සිටුතුමා මත් පැන් පානයට ලොල් වෙමින් සූදුවට ද ඇබ්බැහි වුණා. තමන්ගේ රාජකාරියටවත්, ගෙදරටවත් නොගොස් අවශ්‍ය මිල මුදල් ගෙදරින් ගෙන්වා ගනිමින් මත් පැන් පානය කරමින්, සූදුවට මුදල් යොදවමින් මිත්‍රයන්ට වියදම් කරමින් සල්ලාල ජීවිතයකට ඇබ්බැහි වුණා. එසේ තමන්ගේ ධනය එකසිය හැට කෝටියම වියදම් කරමින් විනාශ කළා. අන්තිමට සූදුවට ගොස් ඔට්ටු අල්ලන්න දෙයක් නැති තැන තමන්ගේ මාළිගාවත් ඔට්ටුවට අල්ලලා ඒකත් පරාද වුණා. සිටුතුමාට තමාගේ මාළිගාවත් අහිමි වුණා. මාළිගාව හිමි කර ගත් අය ඔහු එයින් එළියට ඇදල දැම්මට පසුව, හිඟා කමින් ජීවත් වුණා. මෙය, මත්පැන් පානයෙන් කෙනකුට සිදු වූ අති විශාල හානියක් පෙන්නුම් කළ කතා ප්‍රවෘත්තියකි.

“සන්තිට්ඨිඛා ධනන්ජානි” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා මත්පැන් පානය තමන් හරිහම්බ කරගත් ධනය ඇස් පනාපිටම විනාශ වන ක්‍රමයක් බවයි, එයින් කියැවෙන්නේ. පුද්ගලයකු තුළ තිබෙන්න ඕන කරන කරුණාව, මෛත්‍රිය, දයාව අනුකම්පාව වගේ යහපත් ගතිගුණ මත්පැන් නිසා ඉවත් වෙලා යනවා. එපමණක් නොවෙයි; මත්පැන් පානයට ඇබ්බැහි වීම නිසා යම්කිසි පුද්ගලයකු සතුව යම් දේපළක් තියෙනවා නම්, විනාශ වෙනවා.

මේ සමාජය තුළ අපි දන්නා සිදුවීම් තියෙනවා. විශාල ප්‍රමාණයක් දේපල තිබුණු; අප දන්නා එක් පරපුරක් හිටියා, එම මවුපියන් දරුවන්ට තමන්ගේ දේපල බෙදා දුන්නා. එක් දරුවකුට ලැබුණු කොටසට විශාල ගෙයක් අයත් වුණා. මේ පුද්ගලයා මිත්‍රයන් සමග මත්පැන් පානයට ගිජු වෙලා තමන්ගේ තිබුණු දේපල විනාශ කරගත්තා. අන්තිමට තමන්ගේ ගෙයත් උකස් කරලා මුදල් ගත්තා. ඒකත් සින්නක්කරයටම ගියා මිසක් උකස බේරගන්න බැරිව ගියා. අන්තිමට ඒ පුද්ගලයා අපේ පන්සලට ආවා. දන්න පුද්ගලයෙක් නිසා පන්සලෙන් ආහාර පාන සපයලා, දහම් පාසල් ගොඩනැගිල්ලේ ඔහුට ඉන්නට දුන්නා.

පසුව මේ පුද්ගලයා උදේ වරුවේ තමන්ගේ මිත්‍රයන් සොයාගෙන ගිහින්. මත්පැන් පානය කර, හවස් වන විට පන්සලට එන්න පටන් ගත්තා. කුණුහරුප කියමින් කෑගසමින් හැසිරෙන්න පටන් ගත්තහම දහම් පාසලේ ගොඩනැගිල්ල වහලා යතුර ගත්තා. අන්තිමට ඔහු මරණයට පත්වූ බව ආරංචි වුණා. තමන් උපයාගත් දේ හෝ තම මවුපියන්ගෙන් උරුම වූ දේ හෝ තමන්ට කවර ආකාරයකින් හෝ ලැබුණු දේපලක් තියෙනවා නම් ඒවා විනාශවීමට හේතුවන කරුණු අතර මූලිකම හේතුව තමයි, මත්පැන් පානය.

මත්පැන් පානය නිසා මිනිස් ගතිගුණ විනාශ වනවා, ලැජ්ජා බිය දෙක නැති වනවා, මත්පැන් නිසා විවිධ විසම සාපරාධී ක්‍රියාවලට පෙළඹෙනවා. මත්පැන් පානය නිසා මිනිසාගේ දේපළ විනාශ වනවා පමණක් නොවෙයි. පුද්ගලයාගේ කායික මානසික නිරෝගීකම ද පිරිහී යනවා. ශාරීරික අවයව තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගන්න බැරිව යනවා. සමහර පුද්ගලයන්ගේ හදවත, වකුගඩු ආදී සිරුරු අවයව පවා මත්පැන් නිසා දියවෙලා, මරණයට පත් වෙනවා.

තමන්ගේ දූ දරුවන්ගේ දියුණුව නැතිවෙලා යනවා. බැංකුවක රාජකාරි කරන ඉහළ වැටුපක් ලැබුණු පුද්ගලයකුගේ දරුවන් සහ බිරිය පන්සලට ඇවිත් මල්පූජාව සඳහා සූදානම් වෙමින් සිටියා. ඒ අතර සරමක් ඇඳගත් පුද්ගලයෙක් කුලී රථයකින් ඇවිත් බැස්සා. මල්පූජාවට සූදානමින් සිටි දරුවන් සමාජයට මුහුණ දෙන්න බැරිව එකපාරටම හැංගුණා. පස්සේ ඔහුගේ නෝනා මහත්මයා කියනවා අනේ හාමුදුරුවනේ ඒ ආවේ මගේ මහත්මය තමයි. බැංකුවක රාජකාරි කරන්නේ. පඩි ගත්තහම බොන එක තමයි කරන්නේ. මත්පැන් ශාලාවේ පඩි පැකට් එකත් දාලා තමයි එන්නේ. තමන්ගේ තත්ත්වය පරම්පරාවේ තත්ත්වය තමන්ගේ පවුලේ තත්ත්වය විනාශ වන්නට මේ මත්පැන් පානය හේතු වන බව, එයින් පෙනෙනවා.

ඒ නිසා සමාජයට අහිතකර, සමාජය විකෘති කරන පුද්ගලයා විනාශ කරන මත්පැන් පානයෙන් වැළකී සැවොම ජීවත් විය යුතුයි. කියන කාරණය, කරුණාවෙන් සිහිපත් කරනවා. මත්පැන් පානය කරන අය මේවා ගැන කල්පනා කරලා, එහි ඇති අයහපත් ප්‍රතිඵල ගෙන දෙන ස්වභාව පිළිබඳ කල්පනා කරලා, මත්පැන් පානයෙන් වැළකීමට අධිෂ්ඨාන කරගත යුතුයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.