Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දිවියම වනසන මත් රකුසා පිටුදකිමු

මේ ලෝකයේ වාසය කරන හැම කෙනෙක්ම වැරැදිවලට පෙළඹෙන්නේ නැතිව, වැරැදි වලින් වෙන්වෙලා කටයුතු කරන්නෙ බියත්, ලැජ්ජාවත් නිසා. වැරැද්දක් කළාම ඒ වැරැද්ද හේතුකොටගෙන සමාජයෙන් ලැබෙන අවනම්බු නින්දා අපහාස ආදියට බිය නිසා වැරැදි නොකර ජීවත්වීමට උත්සාහ කරනවා. මේ ලැජ්ජාවත් බියත් යන දෙකම මිනිසාගේ මනසින් ඉවත් කරන ප්‍රධානම දෙය, මත්පැන් පානය යි.

අද සමාජයේ තියෙන සන්සුන් බව ඒ වගේම සාමකාමී බව නැතිවීමට තුඩුදෙන කරුණු අතර මත්පැන් පානය කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය මූලික කරුණක් වෙලා තියෙනවා. මත්පැන් පානය නිසා මිනිස්සු මනස විකෘති තත්ත්වයට පත්කර ගන්නව. විකෘති මනසක් ඇති පුද්ගලයා සිදුකරන දේවල ප්‍රතිඵලය ඒ තත්ත්වයට පත්වූ පුද්ගලයාට අවබෝධයක් නැහැ. එනිසා එබඳු පුද්ගලයන් සමාජයේ වගකීමවත් තමන්ගෙන් ඉටුවන්නට ඕනෙ කරන යහපත් ක්‍රියා පිළිබඳවත් අවබෝධයක් නොමැතිකම නිසා විවිධාකාර විසමාචාර අදහස්වලට පෙළෙඹෙනවා. එනිසා මත්පැන් පානය සමාජයට හතුරකුවෙලා තිබෙනවැයි කියන කාරණය. මුලින්ම සිහිපත් කරන්නට අවශ්‍යයි.

මත්පැන් පානය කරන පුද්ගලයා තුළ මානුෂික හැඟීම් සහමුලින් නැතිවෙලා යනවා. ඔහු තුළ කාරුණික බවක් නෑ. ඔහු තුළ මෛත්‍රී සහගත සිතිවිල්ලක් නෑ. ඔහු තුළ සාමකාමී බවක් නෑ. ඔහු තුළ සමානාත්මතාව පිළිබඳ හැඟීමක්, අවබෝධයක් නෑ. ඔහු තුළ සමගියෙන් සහයෝගයෙන් වාසය කරන්න ඕනෙයි කියන හැඟීමක් නෑ. ඒ පුද්ගලයාගේ මනස විකෘති තත්ත්වයට පත්වීම හේතු කොටගෙන සමාජයේ තමන්ගේ මව , පියා, හඳුනන්නේ නෑ. දූ දරුවන් හඳුනන්නේ නෑ වැඩිහිටියන්, ගුණවතා හඳුනන්නේ නැහැ. අසරණයා අහිංසකයා පිළිබඳ අවබෝධයක් නෑ. ඒ කවර තැනකදී වුවත් විකෘති මනසක් ඇති පුද්ගලයාගෙන් සිදුවන කාරණාවලින් අන් අයට හිරිහැරයක්, කරදරයක් පීඩාවක් මිස වෙනත් කිසිම ආකාරයක සැනසිල්ලක් ඇත්තේ නැහැ. මත්පැන් පානය අපරාධ වර්ධනයට ලොකු හේතුවක් වෙලා. මත්පැන් පානය නිසා විකෘති මනසක් ඇති පුද්ගලයා කතා කරන දේවල්, ක්‍රියාකරන ආකාරය සමාජයට අහිතකර ප්‍රතිඵලයක් උදාකරනවා විනා සාමකාමී යහපත් ඵලයක් ජනිත කරන්නේ නෑ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.මනුස්සයකු විසින් ආරක්‍ෂා කළ යුතු ගුණධර්ම අතර, මත්පැන් පානය නැතිකරගෙන එයින් මිදිල කටයුතු කළ යුතු බවට. බෞද්ධයන් අතර තිබිය යුතු ඉතා වැදගත් ප්‍රතිපත්ති මාලාව තමයි පංචශීල ප්‍රතිපත්තිය. පංචශීල ප්‍රතිපත්තියෙන් යුක්තව යම්කිසි කෙනෙක් කටයුතු කරනව නම් ඒ පුද්ගලයාගෙන් සමාජයට කිසිම පීඩාවක් , හිරිහැරයක් නෑ. පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන

පළමුවෙනි ශික්‍ෂා පදයෙන් බුදුන් වහන්සේ අදහස් කළේ මේ ලෝකේ කෙනකුට ජීවත්වීමට ඇති අයිතිය තවත් කෙනෙකු විසින් උදුරා නොදැමිය යුතුයි යන්නයි.

මේ ලෝකයේ ජීවත්වන සෑම කෙනෙක්ම ජීවත්වීමට ආසාවක් දක්වනවා විනා, තමන්ගේ ජීවිතය නැතිකර ගැනීමට, ජීවිතයට හිංසාවක් පීඩාවක් කරදරයක් ඇතිවෙනවාට කිසිම සත්ත්වයෙක් කැමති වෙන්නේ නෑ. බලාපොරොත්තු වෙන්නේ නෑ.

“සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ “

අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. මේ ලෝකයේ වාසය කරන සෑම සත්ත්වයෙක්ම තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට බලාපොරොත්තු වෙන බව සියලු දෙනාම මරණයට බය වෙනවා. තමා උපමාවට ගෙන අනිත් කිසි කෙනකුගේ ජීවිත විනාශ නොකළ යුතුයි. මම කියන පුද්ගලයා හැම වෙලාවෙම තමන්ගේ ජීවිතය රැකගැනීමට ආරක්‍ෂා කරගැනීමට තමන්ගේ ජීවිතය සැපවත්ලෙස ගතකිරීමට තමයි. බලාපොරොත්තු වන්නෙ.

කිසිම කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නෑ. අනෙක් කෙනකුගේ බලය, ශක්තිය යොදලා කරන බලපෑම්වලට අපි තමන්ගේ ජීවිතය රැකගැනීමට මහත් ආසාවක් දක්වනව වගේ මේ ලෝකයේ වාසය කරන සෑම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට ආසා කරනවා. තමන්ගේ ජීවිතයට පි‍්‍රය කරනවා. තමන්ගේ ජීවිතය සැනසිල්ලේ ගතකිරීමට උත්සාහ වනවා. එනිසා තමන් තවත් කෙනෙකුට හානියක් නොකළ යුතුයි. හිරිහැරයක් නොකළ යුතුයි. හිංසාවක් පීඩාවක් නොකළ යුතුයි. කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා පංචශීල ප්‍රතිපත්තිය මූලිකම අංගය වෙලා තියෙනවා. අන් අයගේ ජිවත්වීමේ අයිතිය හැම කෙනෙකු විසින් තහවුරු කළ යුතුයි. ආරක්‍ෂා කළ යුතුයි. තමන්ගේ ජිවිතය රැකගැනීමට උත්සාහ දරනවා වගේම අනෙක් අයගේ ජීවිත ගැනත් කල්පනා කළ යුතුයි.

ජීවිතය රැක ගැනීමට යම්කිසි කෙනකුට තියෙන අයිතිය වගේම කෙනෙක් සතුව යම් ධනයක් තියෙනවා නම් එම ධනය තවත් කෙනකුගේ පැහැර ගැනීමකින් බලහත්කාරයෙන් ගැනීමකින් ආරක්‍ෂා කර ගැනීමට අයිතියක් තියෙනවා. දේපළ ආරක්ෂාව ජීවිත ආරක්‍ෂාව වගේම ආත්ම ගෞරවයද ආරක්‍ෂා කළ යුතුයි. සෑම කෙනකුම තමන්ගේ ජීවිතය ආත්ම ගෞරවයෙන් යුතුව ආරක්‍ෂා කර ගැනීමට තමයි බලාපොරොත්තු වන්නේ. යම්කිසි පුද්ගලයකුගේ බලය ශක්තිය යොදවල තවත් කෙනෙකුගේ තිබෙන ආත්ම ගෞරවය විනාශ කරනව නම් ඒක ‍ෙබෟද්ධ ප්‍රතිපත්තිය නොවෙයි. ඒවගේම බොරුවෙන්, වංචාවෙන් සමාජයේ අන් අය රැවටීමත්, බුද්ධ ධර්මය මගින් තරයේම ප්‍රතික්ෂේප කැරෙනවා. මෙම කරුණු හතරට අමතරව පස්වන ප්‍රතිපත්තිය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා “ සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ යනුවෙන් මත්පැන් පානයෙන් වෙන් විය යුතු බව, මත්පැන් පානය එම පුද්ගලයාගේ මනස විකෘති කරන විෂ පානයකි. මත්පැන් පානය කර විකෘති මනසක් ඇතිවුණා. පස්සේ ඒ පුද්ගලයාට පවට වරදට ඇති බිය හා ලැජ්ජාව නැතිව යනවා. මේ ලෝකයේ වාසය කරන හැම කෙනෙක්ම වැරැදිවලට පෙළඹෙන්නේ නැතිව, වැරැදි වලින් වෙන්වෙලා කටයුතු කරන්නෙ බියත්, ලැජ්ජාවත් නිසා. වැරැද්දක් කළාම ඒ වැරැද්ද හේතුකොටගෙන සමාජයෙන් ලැබෙන අවනම්බු නින්දා අපහාස ආදියට බිය නිසා වැරැදි නොකර ජීවත්වීමට උත්සාහ කරනවා. මේ ලැජ්ජාවත් බියත් යන දෙකම මිනිසාගේ මනසින් ඉවත් කරන ප්‍රධානම දෙය, මත්පැන් පානය යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ප්‍රකෘති මනස විකෘති කිරීම හේතුකොටගෙන සම්පූර්ණයෙන් ඔහුගේ ස්වභාවික චින්තනය යටපත් වෙලා, ඒ පුද්ගලයා උමතු ස්වරූපයකට පත්වනවා. උමතු තත්ත්වයට පත්වූ පුද්ගලයා තුළ සම්පූර්ණයෙන් ලැජ්ජාව බිය නැතිව යනවා. ලැජ්ජාව බිය ඉවත්වුණාට පසුව ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම සමාජයට අහිතකර වනවා. එබඳු පුද්ගලයෙකු කතා කරන වචන සමාජයට හිතකර වන්නේ නෑ. දූදරුවන් ඥාතීන් අතර පවසන වදන් බොහොම අහිතකර වනවා. කායික ශක්තිය, මානසික ශක්තිය වාචසික ශක්තිය සම්පූර්ණයෙන් විකෘති කර ස්වාභාවිකත්වයෙන් ඈත් කරලා මිනිසා කායික, මානසික වශයෙන් වැරැදි පැත්තට යොමුකරන ප්‍රධානම බලවේගය, මත්පැන් පානය බව අපට ඒකෙන් පේනවා. ලැජ්ජා බිය දෙක නැතිවුණාම ඒ පුද්ගලයා පහත් පුද්ගලයෙකු බවට පත්වනවා. මත්පැන් පානය කරල උමතු ස්වරූපයකට පත්වූ පුද්ගලයන් කරන අපරාධ, මත්පැන් පානය කරලා තමන්ගේ මෑණියන්ට තමන්ගේ පියාට , භාර්යාවට දරුවන්ට තාඩන පීඩන කරමින් සමහර විට ජීවිත හානි පවා සිද්ධ කරපු අවස්ථා මාධ්‍ය තුළින් අපට අසන්නට දකින්නට ලැබිලා තියෙනවා.

මතු සම්බන්ධයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.