Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මැදුම් පිළිවෙතෙහි හේතු - ඵල සබඳතාව

විවිධ සිතුවිලි නිසා සිතේ නොසන්සුන් ගති ඇති වෙයි. එවිට මිනිසා කරන කියන කිසිම කාර්යයක් සාර්ථක නොවෙයි. ඉන් මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතය ද අසාර්ථක විය හැකි ය. සිත සන්සුන් කර ගැනීමට භාවනාව මහෝපකාරී වෙයි. සිතේ එකඟතාවයෙහි සන්සුන්කමෙහි උච්චතම අවස්ථා හඳුන්වන්නේ, ධ්‍යාන යන නමිනි. ඉන් තමාට අවශ්‍ය ඤාණ ශක්තිය ද උපදවා ගත හැකි ය. විමුක්තිය සලසා ගත හැකි වන්නේද එසේ ක්‍රියා කිරීමෙනි.

බුදු සසුනෙහි සුවිශේෂ අවධියෙහිදී, දෙසුණු දහම් මුල් බුදුසමය ලෙස නම් කෙරෙයි. බුදුරදුන් පහළ වී ලොවට හෙළි කළ දහම් කරුණු අතර ඇති ඉතා හරවත්, ගැඹුරුදහම් කොටස්කීපයක් මේ යටතේ හැඳින්වෙන බව පෙනෙයි. චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, කර්මය හා පුනර්භවය යනු ඉන්කීපයකි. මුල් බුදුසමයෙහි සියලු ඉගැන්වීම්, සත්වයාගේ සසර දුක නැසීම, නිවන ලැබීම සෘජුවම ඉලක්ක කරගත් ඒවා ය. එම නිසාම මේ ඉගැන්වීම්, බුදු දහමේ හරය බව වටහා ගත හැකි ය.

බුදුරදුන් ජීවමානව වැඩ සිටි මුල් යුගයේ, භාරතයේ දර්ශනවාද හැට දෙකක් පැවැති බව, බ්‍රහ්මජාල සූත්‍රාගතය ඒ සියලු දර්ශනවල මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ සත්වයාගේ විමුක්තියයි. එදා විමුක්තිය සෙවූ එවැනි සමාජ පසුබිමක බුදු හිමියෝ බරණැස ඉසිපතනයේ දී දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාවෙන් සැබෑ විමුක්තිය මඟ වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන්හ. එය පෙන්වා දෙන ලද්දේ නිවන් මඟ ආවරණය කර කාමසුඛල්ලිකානු යෝගය හා අත්තකිලමථානුයෝගය යන අන්තගාමී පිළිවෙත් ප්‍රකටව පැවැති සමාජ පසුබිමක දී ය. මෙහිදී ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරන්නේ නිවන ලැබෙන මඟ වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳවයි. බුදුදහමෙහි ඉතා වැදගත් ඉගැන්වීමක් ලෙස අගය කැරෙන හේතුඵල දර්ශනය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අන්තර්ගතව ඇති අයුරු පෙන්වාදීම, මේ ලිපියේ අරමුණයි.

හේතුඵල ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වන අයුරු සොයා බලමු. බෞද්ධ අප හැම දෙනාම දන්නා ධර්ම පද්ධතියකි, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙය අරි අටඟි මඟ, මැදුම් පිළිවෙත දුක්ඛ, නිරෝග ගාමිණී පටිපදාව, නිවන් මඟ ආදී නම්වලින් හැඳින්වෙයි. ආර්ය මාර්ගය තුළ ප්‍රගුණ කළයුතු මාර්ග අංග අටකි. ඒවා මෙසේ ය.

1. සම්මා දිට්ඨි
2. සම්මා සංකප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
6. සම්මා වායාම
7. සම්මා සති
8. සම්මා සමාධි

මෙම මාර්ග අංග අට හේතුඵල සබඳතාවකින් යුක්ත වන අයුරු සහ එම අංගවලින් අදහස් කරඇත්තේ මොනවාදැයි සොයා බැලීමට අවධානය යොමු කරයි.

නිවන් මඟෙහි ප්‍රථම මාර්ගය අංගය සම්මා දිටිඨියයි. මෙහි අදහස වන්නේ නිවැරැදි දැකීම, හරි දැකීම යන්නයි. මෙම අංගයෙහි තේරුම වන්නේ, චතුරාර්ය සත්‍ය පිළිබඳ ආරම්භක අවබෝධයයි. දැනීමයි. දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග යන සිව් සතර දහම හෙවත් චතුරාර්ය සත්‍යය ගැන අවබෝධ ඤාණය, සම්මා දිට්ඨියයි. මෙය නිවන් මඟෙහි මූලික අංගය වන අතර අනිත් සියලු අංග කෙරෙහි ද බලපාන මූලින අවශ්‍යතාවයි. සත්වයා සිදු කරන කර්ම ගැනත්, ඒ කර්මවලට ලැබෙන විපාක ගැනත් පැහැදිලි අවබෝධය ඇති කර ගැනීමේ සිට චතුරාර්ය සත්‍යාවබෝධය දක්වා සියලු අවබෝධ සියලු නිවැරැදි පිළිගැනීම් ද සම්මා දිට්ඨියට ඇතුළත් වෙයි. මිනිසා මේ නිවැරැදි දෘෂ්ටියෙන් තොර වූ විට සම්මා සංකල්පනාවෙන් ද තොර වෙයි. එම නිසා සම්මා දිට්ඨිය හෙවත් හරි දැකීම නිවැරැදි සංකල්පනාවට හේතු වන බව පෙනෙයි.

සම්මා දිට්ඨිය හේතුවෙන් සම්මා සංකප්ප නම් ඵලය ඇති වන බවයි, එහි තේරුම. සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා දහම් පොත පත කියැවීම, දහම් ඇසීම, ධර්ම කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම නුවණින් යුතුව ඒ ගැන සිතා බැලීම අවශ්‍ය ය.

ආර්ය මාර්ගයේ දෙවන අංගය නම්, සම්මා සංකප්ප හෙවත් නිවැරැදි යහපත් කල්පනා ඇති කර ගැනීම ය. එම යහපත් කල්පනා කොටස් තුනකි. නෙක්ඛම්ම සංකල්පනාව, අව්‍යාපාද සංකල්පනාව, අවිහිංසා සංකල්පනාව යනු, එම කොටස් තුනයි. කම් සැප විඳීමේ ආදීනව දැක, කාමුක විමෙන් වැළකී සිටීම, ‘නෙක්ඛම්ම සංකප්ප’ නම් වෙයි. යම් කෙනෙක් දිවියේ නිසරු කම්සැප අත්හැර දමා අවබෝධයෙන් යුතුව සිත දියුණු කිරීමට උත්සාහ කරයි නම් ඔහු වාසනාවන්ත මනුෂ්‍යයෙකි. යමක් අවබෝධයෙන් අත් හරියි නම්, නැවත එය ළංකර නොගනියි. එසේම අව්‍යාපාද සංකල්පය යනු ගැටුම් ඇති කරන තමන්ටත් අනුන්ටත් හානිකර සිතුවිලි ඇති කර ගැනීමෙන් වැළැකී සිටීමයි. මෛත්‍රී, කරුණා ගුණ ඇති කර ගැනීම යි. අවිහිංසා සංකප්ප යනු අන්‍යයන්ට හිංසා පීඩා නො කළ යුතු යන අදහසයි.

මේ ආකාරයට කෙනෙක් තම සංකල්පනා යහපත් කර ගන්නේ නම්, ඔහු නිවන් අවබෝධයට හේතු වන චින්තනයක් ගොඩ නඟා ගත් උතුම් මිනිසකු බවට පත් වෙයි. මේ සම්මා සංකප්පය හේතුකොටගෙන පුද්ගලයා සම්මා වාචා හෙවත් යහපත් වචන කතා කිරීමට පෙළැඹෙයි. තමන්ගේ සන්තානගත නිවැරැදි අදහස් අනුව, ඔහු පිට කරන වචන ද එලෙසම යහපත් ඒවා වෙයි. හොඳ සිතිවිලි සමඟ පිටවන්නේ ද සමාජ හිතකර හොඳ වචනයි. හොඳ වචනයක ලක්‍ෂණ හතරක් දක්නට ලැබෙයි. එනම්, බොරුවක් නොවීම, කේලමක් නොවීම, රළු වූ දෑ අසත්‍ය වූ ද වචනය නොවීම, නිෂ්ප්‍රයෝජන හිස් වචන නොවීම යන ලක්‍ෂණයි. සමඟිය වඩන මෘදු, අර්ථවත් සත්‍ය වචන පාවිච්චි කිරීම, ඔහුගේ පිළිවෙත වෙයි. මේ සත්‍ය වූ ද සමාජ හිතකාමී වූද වචන භාවිතා කරන අයගෙන් කායිකව සිදු වන්නේ ද නිවැරැදි ක්‍රියාමය යහපත් වචනවල ප්‍රතිඵල ලෙස යහපත් ක්‍රියා ද ඔහු අතින් සිදු වෙයි. කායිකව සිදු කරනු ජීවිත නසන කාර්යය සිදු නොකිරීම, සොරකමින් වැළකීම හා කාම මිථ්‍යාචාරයෙන් වැළකීම ජීවිත හා දේපල සුරකින, සදාචාර සම්පන්න ක්‍රියාදායමයන්ගේ යුක්ත වීම, යහපත් කර්මාන්ත යන එම මාර්ගාංගයෙන් දැක්වෙයි.

මේ සම්මා කම්මන්ත හේතුකොටගෙන සම්මා ආජීවය ගොඩනැඟෙයි. යහපත් සාමකාමී ජීවන පැවැත්මක් ඇතිව වාසය කිරීම සම්මා ආජීවයෙන් අදහස් වෙයි. අධාර්මික ප්‍රතිපත්තිවලින් බැහැරව, දැහැමි, නිවැරැදි රැකියා කර, බැහැරව, දැහැමි නිවැරැදි රැකියා කර, ජීවත් වීමයි. එයින් ප්‍රකාශ වන්නේ වෙළෙඳාමක් කරයි නම්, සතුන් ආයුධ, මස්, මත්පැන්, වස විෂ වෙළෙඳාමෙන් තොර විය යුතු ය. එසේම එය තුලා කූට කංසකූට මාන කූට ආදියෙන් වැලකී කරන දැහැමි වෙළෙඳාමක් විය යුතු ය. වෙනත් රැකියාවක් කළ ද එය දැහැමි එකක් විය යුතු ය. මේ සම්මා ආජීවයෙන් යුක්ත පුද්ගලයාගේ අනෙක් ප්‍රතිපත්තිය වන්නේ, සම්මා වායාමයි. නූපන් අකුසල් හට නොගැනීමට ගන්නා උත්සාය ද හට ගත් අකුසල් බැහැර කිරීම සඳහා ගන්නා උත්සාහය ද හට නොගත් කුසල් උපදවා ගැනීම සඳහා ගන්නා උත්සාහය ද හටගත් කුසල් දියුණු කර ගැනීමට ගන්නා උත්සාහය ද මෙයට ඇතුළත් වෙයි. සම්මා වායාමයෙහි ලක්‍ෂණ හතර, ලෙස දක්වා ඇත. මෙය ‘සතර සම්‍යග් ප්‍රධාන වීර්යය ලෙස ද දහමෙහි දැක්වෙයි. ජීවිතයේ දියුණුවට මෙන්ම, ලෝකෝත්තර වීමට ද මේ මාර්ග අංගය ඉවහල් වෙයි.

සම්මා වායාමය හේතුවෙන් සම්මා සතිය හෙවත් යහපත් සිහිකල්පනාව ද ඇති වෙයි. මිනිසාගේ සිහිය ඇතිවීමට අත්‍යවශ්‍ය දෙයකි, උත්සාහය. ජීවිතයක් ජය ගැනීම මනා සිහියෙන් කටයුතු කළ යුතු ය. සතර සතිපට්ඨානය වශයෙන් සඳහන් වන කයෙහි ස්වභාවය බැලීම විඳීම් ස්වභාව බැලීම, සිතෙහි ස්වභාව බැලීම ධර්මයන්හි ස්වභාවය බැලීම මෙයින් අදහස් වෙයි. සතර සති පට්ඨානය, නිවන ලබන ඒකායන මාර්ගය බව බුද්ධ වචනයයි.

සම්මා සතිය දියුණු කිරීම සම්මා සමාධිය ලැබීමට හේතුවකි.ඒ අනුව සම්මා සමාධිය, සම්මා සතියෙහි සිත පිහිටුවීමෙහි ඵලයකි. සිතෙහි මනා එකඟකම, සන්සුන්කම සම්මා සමාධිය යන්නෙන් අදහස් වෙයි. විවිධ සිතුවිලි නිසා සිතේ නොසන්සුන් ගති ඇති වෙයි. එවිට මිනිසා කරන කියන කිසිම කාර්යයක් සාර්ථක නොවෙයි. ඉන් මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතය ද අසාර්ථක විය හැකි ය. සිත සන්සුන් කර ගැනීමට භාවනාව මහෝපකාරී වෙයි. සිතේ එකඟතාවයෙහි සන්සුන්කමෙහි උච්චතම අවස්ථා හඳුන්වන්නේ, ධ්‍යාන යන නමිනි. ඉන් තමාට අවශ්‍ය ඤාණ ශක්තිය ද උපදවා ගත හැකි ය. විමුක්තිය සලසා ගත හැකි වන්නේද එසේ ක්‍රියා කිරීමෙනි.

මෙසේ සලකා බලන විට ආර්ය මාර්ගය වශයෙන් දේශිත අරි අටඟි මඟ, ශික්‍ෂණ මාර්ගයක් බව පෙනෙයි. ත්‍රිශික්‍ෂාවට එය ඇතුළත් කිරීමෙන් එය පැහැදිලි වෙයි. ඒ අනුව ප්‍රඥා ශික්‍ෂණය වශයෙන් මෙහි පළමු අංග දෙක ද, ශීල ශික්‍ෂණය වශයෙන් ඊළඟට ඇති අංග තුන ද ඉතිරි අංග තුන සමාධි, ශික්‍ෂණය වශයෙන් ද සඳහන් අංග තුන සමාධි, ශීක්‍ෂණය වශයෙන් ද සඳහන් වෙයි. මේ සෑම අංශයක්ම හේතුඵල ලෙස එකිනෙක සම්බන්ධ වී ඇති බව මේ අනුව මනාව පැහැදිලි වෙයි. පින්වත් ඔබත්, මේ ආර්ය මාර්ගයෙහි ගමන් කර සසර දුක අවසන් කර ගැනීමට උත්සුක වන්න.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.