Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

අත්තනගලු රජ මහා විහාරයට මියන්මාරයෙන් ප්‍රදානය කරන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ තායිවානයෙන් ප්‍රදානය කරන ලද අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව වන්දනාමාන සඳහා නිරාවරණය කිරීමේ පින්කම පසුගියදා තායි සහ මියන්මාර භික්ෂු භික්ෂුණින්ගේ සහභාගිත්වයෙන් අත්තනගලු රජමහා විහාරස්ථානයේදී සිදු කෙරිණි. තායිවානයේ චිගුත් ෆෙයාන් විහාරාධිපති ආචාර්ය ෂික් සී.සූ. නාහිමි, භික්ෂුණි සික් චි චින් සමග කැලණිය සරසවියේ කුලපති, කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝද එම පින්කමට සහභාගි වූහ.
ඡායාරූපය -
ජයවීර සුගතපාල - අත්තනගල්ල විශේෂ

පින් කළ දෙනෙත් බැතිබර කළ මේ ආර්ය දසුන කුලියාපිටියේ ගලහිටියාව ප්‍රදේශයේදී දැක ගන්නට ලැබිණි. වස්සාන සමය නිමිති කොට හා ප්‍රදේශයේ සැදැහැතියන් තුළ බොදු පුබුදුවක් නංවාලීම ද අරමුණු කොට කුලියාපිටියේ ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේ සිට මහා සංඝරත්නය මෙසේ පිඬුසිඟා වැඩියහ. ඡායාරූපය - කුලියාපිටිය විශේෂ ඩබ් ලිව්. රණසිංහ

ජපානයේ ෂී ෆෑන් ෆුති විහාරයේ ෂෙන්හායි භික්ෂුනී වහන්සේ ගේ අනුග්‍රහයෙන් දහසක් භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මිරිසවැටිය විහාරාධිපති ඊතල්වැටුණවැවේ ඥානතිලක හිමියන් සංවිධානය කළ රටට සෙත් පැතීමේ මහා අධිෂ්ඨාන පූජාව ආරම්භ කරමින් කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් අනුශාසනාවක් කළ අයුරු. සහභාගි වූ මහා සඟරුවනින් කොටසක් මෙහි වෙති.
ඡායාරූප - වෝල්ටර් දයාරත්න - අනුරාධපුර දිසා විශේෂ

ඇසළ උත්සව සමය නිමිත්තෙන් දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ විදුලි ආලෝක පූජාව ස්වදේශී සමාගමේ අනුග්‍රහයෙන් සිදු කැරිණි. එහිදී ස්වදේශී සමාගමේ සභාපතිනි/ කළමනාකාර අධ්‍යක්ෂිකා අමරි විජයවර්ධන මහත්මිය දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ ආලෝක පූජාව ආරම්භ කළ අවස්ථාව. එම අවස්ථාවට සහභාගි වූ දේවාලයේ බස්නායක නිලමේ කාංචන විජේසේකර මහතා සහ ස්වදේශී සමාගමේ නිලධාරිහු ද ඡායාරූපයේ වෙති.

2006 සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය ආගමික කටයුතු හා සාදාචාර වර්ධන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙහෙයවන ලද මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සංවිධානයෙන් ක්‍රියාත්මක වූ භික්ෂූ ආකල්ප ප්‍රවර්ධන සාමණේර පුහුණු නේවාසික වැඩමුළු දෙකක් ගලේවෙල ඇවරියපතහ ශ්‍රී ජිනරතන පරිවේණාස්ථානයේදී හා මාතලේ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පරිවෙණස්ථානයේදී සාමණේර භික්ෂූන් වහන්සේ හැට නමකගේ සහභාගිත්වයෙන් පසුගිය දා පවත්වන ලදී. එහිදී උපදේශන කාර්යය සඳහා කොළඹ හලාවත දෙ දිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමි, ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, අකුරටියේ නන්ද නාහිමි , ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ආනමඩුවේ ධම්මදස්සි හිමි, ඉද්දමල්ගොඩ වජිරඤාණ හිමි, ශාස්ත්‍රපති කහගල සාරානන්ද හිමි යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා විශේෂ දේශන පැවැත් වූ අතර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා ද දේශනයක් පැවැත්විය. එහි සමාරම්භක උත්සවය සඳහා මාතලේ පුරිජ්ජල සංඝබෝධි විහාරස්ථානයට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි අනුනාහිමියන් වැඩම කළ අතර සහතිකපත් බෙදාදීමේ උත්සවය සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතා ද සහභාගි විය. මාතලේ උකුවෙල පල්ලේපොල හා ගලේවෙල යන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල සම්බන්ධ කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර වැඩමුළු දෙකෙහි සියලු සංවිධාන කටයුතු ගලේවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මිල්ලවානේ බුද්ධරක්ඛිත නාහිමි, උකුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මාඋස්සාවේ අග්ගධම්ම හිමියන් සමග මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති සහ පල්ලේපොල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති ලෙනදොර සෝරත හිමියන් හා මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මහලකොටුවේ විමලධම්ම හිමිවරුන් විසින් සිදුකරන ලදී. වැඩමුළුවට සහභාගිවූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවට සූදානම් වූ අයුරු.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.