Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාබෝධි සමාගමේ මුල් පුටුව ප්‍රසන්න ජයසූරියට

ප්‍රථම වරට ඉන්දියා මහාබෝධි සමාගමේ සභාපති ධූරයට ශ්‍රී ලාංකිකයෙක් පත්වී සිටියි. ඒ වෙන කිසිවෙකු නොව, අනගාරික ධර්මපාල පරපුරේම කෙනෙකු වූ ප්‍රසන්න ජයසුරිය මහතාය.

ප්‍රසන්න ජයසූරිය මහතා හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී ජයසූරිය මහතාගේ දෙවැනි පුත්‍ර රත්නයයි. අනගාරික ධර්මපාල පරපුරෙන් පැවැත එන ගාමිණී ජයසූරිය මහතා අවංක, සෘජු සත්‍යගරුක, මානවවාදී, එමෙන්ම හිතට එකඟව කටයුතු කරන තැනැත්තෙකි.

එදා ජේ. ආර්. ජයවර්ධන ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම ගෙනා අවස්ථාවේ එයට විරුද්ධව තම ඇමැති ධූරයෙන් ගාමිණී ජයසූරිය මහතා අස්වූයේ රට ගැන සිතාය. එවන් යුක්තිගරුක රටට නිතැතින්ම ආදරය කරන කළ මහතකුගේ පුතකු මේ තනතුරට පත්වීම කාලය විසින් ඉටු කළ විශ්ෂ්ටතම කාර්යක් වේ.

පසුගිය සැප්තැම්බර් මස 5 වැනිදා ඉන්දියාවේ කල්කටා නුවර මහා බෝධි මූලස්ථානයේ දී පැවැත්වූ වර්ෂික මහා සමුළුවේදී සංගමයේ යාවජීව සාමාජිකයන්වන ශ්‍රී. එස්. කේ. මෝහපත්‍රාගේ ආචාර්ය ප්‍රසන්න කුමාර් මිෂ්රාගේ යෝජනා ස්ථිරත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසන්න ජයසූරිය මහතා පත් කර ගන්නා ලදී. මෙය අපේ රටට පමණක් නොව සමස්ත ලෝකයටම ගෞරවයකි.

ප්‍රසන්න ජයසූරිය මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා තම උගත් ඥානය අමෙරිකාව, එංගලන්තය ආදී රටවලින් පරිපාකයට පත්කොට ගෙන භාෂා ශාස්ත්‍ර ඥානය ප්‍රගුණ කර ගත්තෙකි.

කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ විද්‍යාධාර සභාවේ සභාපතිවරයෙකු වන ජයසූරිය මහතා අනගාරික ධර්මපාල පදනමේ භාරකරු වශයෙන් ද කටයුතු කරයි. එමෙන්ම ඒ මහතා කලක් සිංහල බෞද්ධයා පත්‍රයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඉන්දියාවේ තවමත් වැඩි හරියක් මිසදුටුවෝ වෙති. මේ අය සමිදුටු මගට නිරන්තරයෙන්ම ගත යුතුය. මෙයින්ද බහුතරයක් හරිජනයන්ය. අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධ චින්තනයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ හරිජනයන් නිසි මගට ගෙන බෞද්ධයන් බවට පත් කෙළේ ය. මේ දෘෂ්ටිගත බෞද්ධ විඥානය ප්‍රසන්න ජයසූරිය මහතා කෙරෙහිත් ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.