Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්මයෙන් පෝෂණය වූ දැහැමි සමාජයක් අප රට තුළ බිහිකිරීමට කටයුතු කරන මෙම අවස්ථාවේ අටුවා සියල්ල සිංහලෙන් පළ කිරීම, ඓතිහාසික සිද්ධියකි. ත්‍රිපිටක ධර්මයේ සඳහන් දහම් කරුණු මැනවින් අවබෝධ කර ගැනීම සඳහා අටුවා පරිශීලනය විශාල අනුබලයක් වනු නොඅනුමාන යැයි දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියෝ පවසති.

ධර්මයෙහි ව්‍යක්ත මෙන්ම දක්ෂ භික්ෂූන් වහන්සේ නමක් වන්නේ, පෙළ මෙන්ම අටුවා ද පරිශීලනය කිරීමෙනි. එසේ කළ භික්ෂුවට හෝ ගිහි සැදැහැවතකුට ධර්මය දේශනා කර පැහැදිලි කිරීමේදි එය ඉතා දක්ෂ හා නිවැරැදි ලෙස සිදුකළ හැකි ය.


සිංහල අටුවා ග්‍රන්ථ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත කිරම විමලජෝති නා හිමියන් විසින් පිළිගැන්වූ අවස්ථාව

සිංහලෙන් අටුවා ග්‍රන්ථ මුද්‍රණයෙන් පසු පැවැති සාකච්ඡාවක දී කිරම විමලජෝති හිමියෝ ඉහත අදහස් දැක්වූහ.

කිරම විමලජෝති හිමියන් දැක්වූ අදහස් මෙසේ ය. ‘අටුවා’ යනු පාලි භාෂාවෙන් පවත්නා ත්‍රිපිටකයෙහි සඳහන් දහම් කරුණු සඳහාම නිරවුල්ව අර්ථ දක්වා ලියා ඇති ග්‍රන්ථ සමූහයයි. හෙළටුවා නමින් මුල් කාලයේ පැවැති අටුවා තුළින් බුදු දහමේ නියම අරුත් විචාරාත්මකව පැහැදිලිව අවබෝධ කර ගැනීමට හැකි විය. බුදුරජාණන් වහන්සේ විසින් කෙටියෙන් දේශනා කරන ලද දහම් කරුණු පිළිබඳ සැරියුත් මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි මහා ප්‍රාඥ ශ්‍රාවක මහ රහතන් වහන්සේ විසින් විස්තරාර්ථ වශයෙන් සිදු කළ දේශනා එම අටුවා ග්‍රන්ථවල සඳහන් වෙයි. බුද්ධ කාලයේ සිට අනුරාධපුර යුගය දක්වාම වැඩ සිටි මහ රහතන් වහන්සේ විසින් විස්තර වශයෙන් දේශනා කරන ලද කරුණු ද එම අටුවා වල ඇතුළත්ව ඇත.

බුද්ධ වර්ෂ 953 -975 මහානාම රජු දවස ලංකාවට වැඩම කළ බුද්ධ ඝෝෂ හිමියෝ හෙළටුවා පාලි භාෂාවට නැගූහ. ඒ පාලි අටුවා සියල්ල එදා වැඩ සිටි මහ සඟරුවන ඉතා දුෂ්කර ජීවිත ගත කරමින් රැක ගත්හ.

වළගම්බා රජු දවස ‘බැමිණිටියා සාය නමින් පැවැති මහ සාගත කාලයේදී ඉතා දැඩි දුක් විඳිමින් විටෙක නිරාහාරව වැඩ හිඳිමින්, විටෙක කොළ වර්ග හා ගෙඩි වර්ග අනුභව කරමින් ස්වකීය ජීවිතයටත් වඩා උනන්දුවෙන් ඕනෑකමෙන් ඉමහත් ගෞරවයෙන් ත්‍රිපිටක ධර්මයත්, අටුවාවනුත් රැක ගැනීම ඊට උදාහරණයක් ලෙස සඳහන් කළ හැකි යි.

වසර 1575 ක් අටුවා පැවැතියේ පාලි භාෂාවෙනි. අද පාලි භාෂාව ඉගෙනීමට එතරම් උනන්දුවක් නොදැක්වීම නිසා ගිහිපැවිදි විශාල පිරිසකට පහසුවෙන් අටුවා පරිශීලනය කිරීමේ හැකියාවක් නැත. එම අඩුව සපුරාලීමටත් පරපුරෙන් පරපුරට බුදුදහම රැක ගැනීමේ අවශ්‍යතාව මුදුන් පැමිණවීම සඳහාත් නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පළමු වරට සියලු අටුවා ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කිරීමට කටයුතු සලසන ලදී.

තිස් පස් දෙනකුගෙන් සමන්විත වූ ගිහි පැවිදි විද්වත් මණ්ඩලයක් මගින් පුරා සිව් වසරකට ආසන්න කාලයක් ඉතා කැපවීමෙන් හා මහන්සියෙන් ග්‍රන්ථ 47 කින් අටුවා සියල්ල සිංහලට පරිවර්තනය කර මුද්‍රණය කර, අවසන් කර තිබෙනවා.

ඊට රජයෙන් හා බුද්ධ ශාසන අරමුදලෙන්ද ආධාර ලබා ගත්තා. අටුවා ග්‍රන්ථ මුද්‍රණය කොට ජනාධිපතිතුමා වෙත පසුගියදා පිළිගැන්වූවා.

ටීකා පොත් , මාර්ගඵල ලාභී, ඇතැම් විට උගත් යතිවරයන් වහන්සේ ලියන ලද ග්‍රන්ථ යි. ටීකා සටහන් වී ඇත්තේ පුස්කොළ පොත්වලය. තවත් වසර කීපයක් ගත වී යෑමෙන් පෞරාණික එම පුස්කොළ පොත් දිරාපත් වී යා හැකි යි. අපේ යුතුකමක් වනුයේ අපේ හාමුදුරුවරු සහ අපේ පැරැණි රජවරු රැකගෙන ආ ශ්‍රී සද්ධර්මය අනාගත පරපුරට ආරක්ෂා කර දීම යි.

නවීන තාක්ෂණය ඇතුළු පහසුකම් ඇති මෙකල එම කටයුත්ත සිදු නොවුවහොත් එය අපෙන් කෙරෙන විශාල අඩුවක් විය හැකියි. ඒ අනුව විශාල විද්වත් මණ්ඩලයක් මගින් පුස්කොළ පොත්වල සඳහන් ටීකා නැවත සිංහල භාෂාවට පරිවර්තනය කර සිංහල අක්ෂරයෙන් ලියැවීම සිදුකැරේ. එම ටීකා ග්‍රන්ථද 2600 සම්බුද්ධත්ව ජයන්තියේ දී නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතී. ඒ සඳහා ද ආගමික කටයුතු අමාත්‍යංශයේ සහ බුද්ධ ශාසන අරමුදලේ අනුග්‍රහය ලැබී තිබෙනවා.

පෞරාණික වැදගත් බෞද්ධ පොත් පත් දුලබ යුගයක , එම වටිනා බෞද්ධ පොත් නැවත මහජනතාවට ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දීමේ අරමුණින් දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 1992 දී ආරම්භ කළා.

සමාජයෙන් ඈත් වී තිබූ වටිනා දහම් පොත් නැවත මුද්‍රණය කර, වසර අටක් පුරා ජංගම රථයක් මගින් රට පුරා බෙදා හරිමින් බොදු මහජනතාවට කියවීමට පහසුකම් සලසා දුන්නා.

එමෙන්ම 1994 සිට ගිහි පැවිදි විද්වතුන්ගේ සහාය ලබා ගනිමින්, ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය සිංහලට පරිවර්තනය කිරීම සිදු කළා. රජයට අයත්ව තිබූ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ සියල්ලම , රජයෙන් අවසර ලබාගෙන වසර හතරකින් නැවත මුද්‍රණය කිරීමක් සිදුකර තිබෙනවා. ඒ නිසා ම ත්‍රිපිටක ධර්මය පරිශීලනය කරන ගිහි පැවිදි පිරිස ඉතා ඉක්මනින් වර්ධනය වුණා.

පැරැණි බෞද්ධ පොත් මෙන්ම ප්‍රයෝජනවත් වර්තමාන බෞද්ධ පොත් සහ පරිවර්තන ග්‍රන්ථ ද ඇතුළු සිංහල සහ ඉංගී‍්‍රසි බෞද්ධ පොත් ද බෞද්ධ ළමා පොත් ද ඇතුළු ව ග්‍රන්ථ දහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර තිබෙනවා.

ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී. එදා මාතලේ ආලෝක විහාරයේ දී ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම දක්වා ඒ නිර්මල සම්බුදු දහම කට පාඩමින් පරපුරෙන් පරපුරට ආරක්ෂා කළා. නිර්මල ත්‍රිපිටක දහම ආරක්ෂා කළ නිසාම ථේරවාදී බෞද්ධ රට ලෙස අපේ රට අතීතයේ සිටම හැඳින්වූවා. ත්‍රිපිටක ධර්මය, අපේ රටේ ඇති උතුම් නිර්මල වස්තුවක්.

එමෙන්ම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නිකුත් වන ග්‍රන්ථවල ගුණාත්මක භාවයද වැඩි දියුණු කළා. මේ වන විට ලංකාවේ වැඩියෙන්ම කියවන පොත් බවට පත් වී ඇත්තේ, බෞද්ධ පොත පතයි. මේ වන විට අට දහසකට වැඩි බෞද්ධ පොත් සංඛ්‍යාවක් ඇති ලෝකයේ විශාලතම බෞද්ධ පොත් හල බවට නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය පත්ව තිබෙනවා.

අටුවා ග්‍රන්ථ සියල්ලම පළමු වරට ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කිරීමත්, දැනට පුස්කොළ පොත්වලට පමණක් සීමා වී තිබෙන ටීකා ග්‍රන්ථ සියල්ල පාලි හා සිංහල භාෂාවලින් පළ කිරීමේ කටයුතුත් උගත් ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය ලැබෙනවා.

ලංකාවේ පිරිවෙන්වල පාලි, සංස්කෘත භාෂා ඉගෙනීමට අවශ්‍ය අයට, දැනට ලබා ගැනීමට නොහැකි සියලු පොත් සකස් කොට මුද්‍රණය කිරීමත් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සිදුකරමින් තිබෙනවා.

නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් 1994 දී අරඹන ලද හොරණ දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානය මගින්ද සේවා රැසක් සිදුකැරේ.

1996 සිට පරිගණක ජාලය මගින් බෞද්ධ වැඩසටහන් විසුරුවා හැරීම ඇතුළු ආගමික මෙන්ම ජාතික සේවා රැසක් ද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සිදුකැරේ.

ඒ සියල්ල සිදු කරනු ලබන්නේ මුදල් ඉපයීමේ අරමුණින් නොවන බවත්, ජනාධිපතිතුමා බලාපොරොත්තුවන ප්‍රාර්ථනා කරන වහල් මානසිකත්වයෙන් තොර අපේ කම, අපේ දේ, අගයන දැහැමි සමාජයක් බිහි කිරීමටත්, බුදු දහම පරපුරෙන් පරපුරට ආරක්ෂා කර රැකදීමත් සඳහා යැයි කිරම විමලජෝති හිමියෝ පවසති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.