Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලොවටම ආදර්ශයක් දෙන ඇහැළියගොඩ සාම විහාරය

ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන අතරින් සුවිශේෂී විහාරස්ථානයක් ලෙස ඇහැළියගොඩ සාම විහාරය හැඳින්විය හැකි ය. ඊට ප්‍රධාන හේතුව ඕනෑම ජාතිකයෙකුට ඕනෑම ආගමික ලබ්ධිකයෙකුට එහි දොරටු විවෘත කර තිබීමයි. එනම් ඕනෑම ආගමික ලබ්ධිකයෙකුට තම ආගම අදහන්නට එහි පහසුකම් ඇති කර තිබීමයි.

ආගම් මුල් කරගෙන ජාතිය මුල් කරගෙන යුද වදින මිනිසුන් බහුල වත්මන් ලෝකයට මෙම විහාරස්ථානයෙන් දෙන ආදර්ශය, පණිවිඩය අතිවිශිෂ්ටය. අද දවසේ මුළු ලෝකයම ඉල්ලා සිටින සාමයේ පළමු පියවර එය නොවේ ද? ස්වකීය ආගම රිසිසේ අදහන අතර සෙසු අයගේ ආගම් ඇදහීමේ අයිතිය තහවුරු කරන්නට මෙයට වඩා තවත් හොඳ ප්‍රවේශයක් තිබේද? සත්‍ය වශයෙන්ම සාමයට ඇති මාවත කුමක්දැයි ලොවටම පෙන්වා දෙන්නට මෙම විහාරස්ථානයේ ක්‍රියාකාරකම් හේතු නොවන්නේ ද? සාමය ගැන දිගින් දිගට සාකච්ඡා පවත්වන, දේශනා පවත්වන, ඒ සඳහා විවිධ ක්‍රමවේදයන් සොයන, ඊට ජාත්‍යන්තරයෙන් උපදෙස් ලබා ගන්න කෝටි ගණනින් මුදල් වැය කරන කෙළවරක් නැතිව පිටරට සවාරි යමින් වෙහෙසෙන්නන්ට අහස පොළව ගැට ගසන්නට මෙන් තර්ක විතර්ක මතු කරන විද්වතුන්ට මෙම විහාරස්ථානය මගින් සාමය පිළිබඳව ප්‍රායෝගිකවූත්, යථාර්ථවාදීවූත් පාඩමක් උගත හැකි යයි මම සිතමි.

එම විහාරස්ථානය ගොඩ නැගීමේ දී ආරම්භක අවස්ථාවේ සිටම ඊට සම්බන්ධ වී ක්‍රියාකළ පුද්ගලයෙකු වශයෙන් මට එහි ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයක් ඇත. මෙම විහාරස්ථානය ගොඩනැඟීමේ දී උතුරු දකුණු වශයෙන් හෝ සිංහල, මුස්ලිම්, දමිළ වශයෙන් හෝ බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු වශයෙන් හෝ කිසිදු භේදයක් නොමැතිව මෙහි ඉදි කිරීම් කටයුතු සඳහා සියලු ජාතීන්ගේ සියලු ආගමිකයින්ගේ අනුග්‍රහය ලැබුණි. උතුරුකරයේ එනම් යාපනේ අර්ධද්වීපයේ කන්කසන්තුරේ උපත ලද ප්‍රසිද්ධ නීතිඥයෙකු වූ ඇස්. සුන්දරලිංගම් මහතාගෙන් ඊට විශාල අනුග්‍රහයක් ලැබුණි. ශ්‍රී ලංකාවේ වත්මන් කතෝලික අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ වන ආචාර්ය මැල්කම් රංජිත් පියතුමා ද මේ සඳහා විශාල අනුග්‍රහයක් ආරම්භයේ දී ම ලබා දී ඇත. එසේම දිවංගත මුස්ලිම් නායකයෙකු වන නැ‍ෙගනහිර පළාතේ, ඇම්.එච්.ඇම්. අෂ්රොෆ් අමාත්‍යතුමා ද මේ සඳහා ආරම්භක අවස්ථාවේ දී දායක වී ඇත.

මහනුවර ප්‍රසිද්ධ මවිලවීවරයෙකු වන ඒ.එස්.එම්. සදකතුල්ලා පූජකතුමා කොළඹ කතෝලික බැතිමතෙකු වන ශිරාන්ටි ගාමන්ට් සමූහ ව්‍යාපාරයේ අධිපති මාර්ක් ප්‍රනාන්දු කොළඹ දමිළ හින්දු බැතිමතුන් වන සින්නදොරේ ධනබාලා සින්නදොරේ රවින්ද්‍ර ආදී මහතුන් ද මෙම විහාරස්ථානය ගොඩනගන්නට දායක වූ අන්‍ය ලබ්ධික බැතිමතුන් ය. ප්‍රදේශයේ සිංහළ, බෞද්ධ ජනතාවගෙන් ද මේ සඳහා ලැබුණේ නොමද සහායකි. ඉහත සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජාතීන්ගේ එකමුතුවෙන් ගොඩනැඟුනු බෞද්ධ විහාරස්ථානයක් ලෙස මෙය හැඳීන්විය හැකි ය.

මෙහි පවත්වාගෙන යනු ලබන ශ්‍රී විපුලඤාණ ජනතා මිත්‍රත්ව ළදරු පාසල සාමය උදෙසා මහඟු සේවාවක් ඉටුකරන ආයතනයකි. බෞද්ධ විහාරස්ථානයක පවත්වාගෙන යන පාසලක් වූවත් මෙම ළදරු පාසලේ ඉගෙනුම ලබන බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු ආදී සෑම ආගමකටම අයත් දරුවන්ට කිසිදු වෙනසක් නොමැතිව තම ආගම් අදහන්නට මෙහි පහසුකම් සලසා දී ඇත. තම ආගම අදහන අතරම අනෙක් ආගම්වලට සලකන්නට එමඟින් කුඩා අවධියේදීම ඔවුන්ට පුහුණුවක් ලැබෙයි. ආගම් ඇදහීමෙන් පසු එක වහලයක් ය. එකට සියලු භේද පසෙකලා අත්වැල් බැඳගෙන සමගියෙන් සහෝදරත්වයෙන් සිප් සතර හදාරන්නට විනෝදයෙන් කෙළි දෙලෙන් පැය තුන හතරක් එකට කල්ගත කරන්නට ඔවුන්ට අවකාශය ලැබෙයි. ඔවුන්ට සිප් කිරිපොවන ගුරු මෑණිවරු ද විවිධ ජාතීන්ට විවිධ ආගම් ලබ්ධීන්ට අයත් වූවෝ වෙති. ඔවුන් අතරින් ද කිසිදු භේදයක් වෙනසක් නොදකින මේ දරුවෝ කුමන ජාතියකට, කුමන ආගමකට තම ගුරු මෑණිවරුන් අයත් වූවද තම එකම ආරක්‍ෂකයින් ලෙස සලකා ඔවුන් වෙත මහත් වූ සෙනෙහසකින් ආදරයකින් වෙලී බැඳී සිටිති. මෙම ළදරු පාසලේ උත්සව අවස්ථා වල ජාතික කොඩිය සමඟ සෑම ආගමකම කොඩි ඔසවා තැබේ. මෙය සෑම ආගමකම දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද තම ආගම ගැන අභිමානයක්, ආඩම්බරයක් ඇති කර ගැනීමට හේතුවන්නකි. එසේම බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු ආදී සෑම ආගමකම වැදගත් උත්සවය සාමූහිකව සැමරීමද මෙම ළදරු පාසලේ තවත් විශේෂත්වයකි.

මෙයද අන්‍ය ආගම් වලට අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන්නට ඒවා ඉවසා සිටින්නට විවිධත්වයේ විචිත්‍රත්වය ආශ්වාදය කරන්නට අත් විඳින්නට කුඩා අවධියේම පුද්ගලයා හැඩ ගස්වන්නකි. ඉහත සඳහන් පරිදි මෙම ළදරු පාසල මඟින් සාමය පිළිබඳ ආකල්ප අපේ බාල පරපුර තුළ රෝපණය කරන්නට ප්‍රායෝගිකවම ඉමහත් වෙහෙසක් ගන්නා මුළු මහත් ලෝකයටම මහඟු ආදර්ශයක් දෙන ළදරු පාසලක් ලෙස හැඳින්විය හැකි ය. මෙම විහාරස්ථානයේ සාමාන්‍යයෙන් අප රටේ බෞද්ධ විහාරස්ථානයක සිදු කරනු ලබන සාම්ප්‍රදායික ආගමික කටයුතු වලට අමතරව සුවිශේෂී උත්සව රැසක් පවත්වනු ලබයි. එනම් ජාතිය, ආගම ගැන නොතකා අප රටට අපගේ මාතෘභූමියට ඉමහත් සේවාවක් කොට වියෝ වූ විශිෂ්ටයින්ගේ ගුණ සැමරීමයි. ඒ අනුව මේ වන විට සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් ඉමහත් සේවාවක් සිදු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, දිවංගත මුස්ලිම් නායකයෙකු වූ අමාත්‍ය ඒ.එච්.එම්. අෂ්රොෆ් මැතිතුමා, උතුරේ යාපනයේ අර්ධද්වීපයේ උපත ලද දමිළ නායකයෙකු වන සාමය උදෙසා කැපවුනු නීතීඥ ඇස්. සුන්දරලිංගම් මැතිතුමා වැනි උතුමන්ලාගේ ගුණ සැමරීමේ උත්සව මෙහි පවත්වා ඇත. එසේම මෑත යුගයේ අප රටට අතිවිශිෂ්ටතම මෙහෙවරක් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වීරෝදාර රණවිරුවන්ට පින් පැමිණවීමේ හා ගුණ සැමරීමේ උත්සව රැසක් ද පවත්වන ලදී.

සාමයට බෙහෙවින්ම හේතු කාරක වන ව්‍යාපෘතියක් වශයෙන් මෙම විහාරස්ථානයේ පවත්වනු ලබන ළමා සාම ගී ප්‍රසංගය හැඳින්විය හැකි ය. සිංහල, මුස්ලිම්, දෙමළ දරුවන් එකම වේදිකාවක සිට සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා තුනෙන් වැඩිහිටියන්ගෙන් අපට සාමයෙන් පිරි ලොවක් ගොඩනඟා දෙන ලෙස ආයාචනා කරන ස්වරූපයෙන් ඉදිරිපත් කරන මෙම වැඩසටහන වැඩිහිටියන්ගේ දෑස් වලට කඳුළු උපද්දවන්නට සමත් වන සාමය පිළිබඳ සැබෑ වුවමනාවක් ඔවුන් තුළ ඇති කරවන්නට හේතු කාරක වන සියල්ලන් තුළ දැඩි සංවේදීතාවයක් ඇති කරවන්නකි. එසේම මෙම විහාරස්ථානයේ ඉහත කී උත්සව සඳහා ගරු කටයුතු ස්වාමීන්වහන්සේලා, ගරු කතෝලික පියතුමන්ලා, ඉස්ලාම් මවිලවීතුමන්ලා සහ හින්දු පූජකතුමන්ලා ආදී සියලු ආගමික උතුමන්ලා බොහෝ විට කැඳවා ගනිති.

මෙලෙස විවිධ ආගම් වල පූජකතුමන්ලා එකට එක වේදිකාවක සුහදත්වයෙන් කටයුතු කරන අයුරු කුඩා දරුවන්ට දකින්නට සැලැස්වීම ජාති, ආගම් ආදී පටුභේද අප සමාජයෙන් පිටු දැක, සහජීවනයෙන් පිරි සාමකාමී සමාජයක් අප රට තුළ ස්ථාපිත කරන්නට බෙහෙවින් හේතු වන්නකි.

සිංහලකම, බෞද්ධකම වෙනුවෙන් හා අපේකම, දේශීයත්වය උදෙසා අති මහත් මෙහෙවරක් අප රටට සිදු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් වැනි නායකයින් ද සමරමින් තම අනන්‍යතාවය, අභිමානය රැකගෙන අන්‍ය ආගමික නායකයින් සමඟ ද මෙවැනි සබැඳියාවකින් කටයුතු කිරීම අප රටේ සමස්ත වැඩිහිටි පරපුර තුළ වූව ද ඇටුවන් බැස ඇති අන්තවාදී ජාතිවාදී ආගම්වාදී සමාජ ප්‍රගමනයට බාධාකාරී ආචීර්ණකල්පික හනමිටි මතවාදයන් ආකල්පයන් සමාජයෙන් මුලිනුපුටා දමන්නට උපස්ථම්භක වන්නකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.